සුවද කැකුළු

Monday, September 26, 2011

ගොනා වගේ...

අන්දරේ ගැන පුංචි ඈයෝ කවුරුත් අහලා තියෙනවානේ.  ඔන්න ඉතිං එදා අන්දරේගේ ගෙදර බොහෝම වැඩ අධික වුන දවසක්.  මොකද දන්නවද අන්දරේට අක්කා කෙනෙක් ඉන්නවානේ. මේ අක්කව එක්කගෙන යන්න මනමාලයෙක් එනවා.  ඒ හින්දයි මේ තරම් කලබල.
හිරු එළිය වැටෙන්නටත් කලින් අවදිවුන අන්දරේගේ ගෙදර ඈයෝ බොහෝම කලබලයෙන් එහාට දුවනවා. මෙහාට දුවනවා. ඒ තරමටම වැඩ. හැමෝම එක එක වැඩ වල යෙදිලා හිටියේ. සමහරු බඩු මුට්ටු පිහදානවා, තවත් අය ගෙමිදුල පිරිසිදු කරනවා, 

මේ හැම කාරණාවකටම වඩා වැදගත් දේ තමා කුස්සිය පැත්ත. අහල පහල ගෙවල්වල නැන්දලා අක්කලා නංගිලා ඇවිත් උදව්වට. කුස්සිය පිරිලා.  හැමෝම කම්මැලි කමක් නැතිව බොහෝම කඩිසරව වැඩ ටික කරගෙන යනවා.  මේ අයගෙන් සමහරක් රෑ හරි නින්දකුත් නැතිවම වැඩ කරනවා.  

අන්දරේ තාම ඉතිං පුංචි කොලු ගැටයෙක්නේ .  එයාට මේ වෙන දේවල් ගැන හරිම පුදුමයි.  මොකද ඉතිං වෙනදට මේ තරම් කලබලයක් දකින්න ලැබෙන්නේ නැහැනේ. අන්දරේ හෙමින් හෙමින් ගියා කුස්සිය පැත්තට.  අන්දරේව දැකපු ගමන්ම අම්මා පුතා ලගට දුවගෙන ආවා.  

“පේනවා නේද පුතේ? අද ගෙදරට අමුත්තෝ එනවනේ.  ඉතිං වෙනදා වගේ හිතුවක්කාර වැඩ කරන්න හිතන්න වත් එපා හරිද ? අනික තමයි ගෙදරට එන අයට විහිළු කරන්න හෙම යනවා නෙමෙයි.  තේරුණාද???? එහෙම වුනොත් අපටමනේ ලැජ්ජාව.  උඹ උඹේ පාඩුවේ ගොනා වගේ හිටපන් මයේ පුතේ හරිද????
අම්මා එහෙම පුතාට කියලා දුන්නා.

අන්දරෙත් හොදයි අම්මා මම අම්මා කියපු විදියටම ඉන්නම්කෝ.....කියලා ඔහු කිව්වා.  

ටිකක් දහවල් වේගන එනකොට ඔන්න ලස්සන පාට පාට ඇදුම් අදගත්තු නෑදෑයින්ගෙන් ගෙදර පිරිලා.  තවත් ටික වෙලාවක් යනකොට මනමාලයාගේ නෑදෑයිනුත් ආවා.  මගුල් ගෙදරට ආපු හැමදෙනාටම ආයුබෝවන් කියලා එයාලට රස කැවිලි වලින් සංග්‍රහ කරන්න පටන් ගත්තා.  

ටිකක් වෙලා යනකොට මගුල් ගෙදර එක පැත්තකින් මහා කලබලයක් ඇහෙන්න වුනා.  එක පාරටම මේස පුටු පෙරලෙන හඩක් ඇහුනා.  මගුල් මඩුවේ පැත්තක් ගැලවුනා.  

ඕං ඕං අල්ලපල්ලා. ලනුවක් ගෙනෙල්ලා බදින්න ඔන්න ඔය විදියට කියමින් මගුල් ගෙදර අය කෑගහන්න පටන් ගත්තා.  මේ සද්දේ ඇහුන අන්දරේගේ අම්මා දුවගෙන ආවා.

“අපොයි දෙයියනේ මේ මොකද මේ..මේ අපේ අන්දරේ නේ...අම්මාට හයියෙන්ම කියවුනා.

මොකද දන්නවද වෙලා තියෙන්නේ. අන්දරේ ගොනෙක් කුලප්පු වෙලා දගලනවා වගේ තප්පුලන්නයි, මිනිසුන්ට අනින්නයි පටන් ගත්තා.  මනමාලයාගේ පැත්තේ උදවිය හිතුවේ අන්දරේට පිස්සු හැදිලා කියලයි.  

“මොනවද දරුවෝ උඹට වෙලා තියෙන්නේ.  අන්දරේගේ අම්මා බොහෝම කේන්තියෙන් ඇහුවා.  
“අම්මනේ මට ගොනා වගේ ඉන්න කිවුවේ.  ඉතිං මං මේ ඒ විදියට තමා ඉන්නේ. අන්දරේ කාරණාව පැහැදිලි කරලා දුන්නා.  

මොනවයින් මොනවා වුනත් කාරණාව දැනගත් කවුරුත් හිනාව නවත්ත ගත්තේ නම් බොහෝම අමාරුවෙන්. 
 

No comments:

Post a Comment