සුවද කැකුළු

Wednesday, August 31, 2011

නපුරු කම නිසා

එකමත් එක කාලෙක බොහෝම කරුණාවන්ත ගොවියෙක් වාසය කලා.  මේ
ගොවියා බොහෝම දුප්පත් කෙනෙක්.  ඔන්න දවසක් දා එයා එයාගේ
හේනට ගිය වෙලාවේ දැක්කා තටුවක් කැඩුනු කුරුල්ලෙක් වැටිලා
ඉන්නවා.  ඉතින් ඔහු මේ කුරුල්ලාව අරගෙන එයාගේ ගෙදර ගියා.  බෙහෙත්
කරලා කුරුල්ලව හොදින් බලා ගත්තා. ගොවියා කුරුල්ලාව සුවපත් කලා.  පසුව මේ ගොවියා 
කුරුල්ලාව නිදහස් කොට හැරියා.
කුරුල්ලා ඉගිලී යනවිට ගොවියාගේ හේනට කැකිරි ඇටයක් දැම්මා.
 මේ කැකිරි ඇටය පැලවුණා.  කැකිරි වැලේ විශාල ගෙඩියක් ඵල ගත්තා.
ගොවිරාළ මේ කැකිරි ගෙඩිය ගෙදර ගෙනගොස් කපා බැලුවා. මෙන්න මහාම මහා පුදුමයක්.......!!!!!!!
ඒ කැකිරි ගෙඩිය ඇතුලේ ඇට වෙනුවට තිබුණේ වටිනා මැණික්.
දුප්පත් නමුත් කරුණාවන්ත ගොවිරාළ මේ මැණික් විකුණා රටේ ලොකුම පොහොසත් කෙනා බවට පත්වුණා.

ඉතින් මේ කතාව රටේ හිටපු නපුරු ගොවියෙකුට ආරංචි වුණා.  
එක දවසක් අර කුරුල්ලා මේ නපුරු ගොවියාගේ හේනටත් ආවා.
නපුරු ගොවියා කුරුල්ලාට පහරදී උගේ තටුවක් කඩා දැම්මා. 
ඊට පසු ගෙදර ගෙනිහින් බෙහෙත් දැම්මා.  පසුව කුරුල්ලාව 
නිදහස් කර යැවුවා.

කුරුල්ලා ඉගිලී යනවිට නපුරු ගොවියාගේ හේනටත් කැකිරි
ඇටයක් දාන්නට අමතක කලේ නැහැ.
එයත් පැළවුණා.  
විශාල ගෙඩියක් ඵල ගත්තා.
ඉතින් මේ නපුරු ගොවියාට හරිම සතුටුයි. ඔහු ඒ කැකිරි
ගෙඩිය ගෙදර ගෙනිහින් කපා බැලුවා.
දෙයියනේ.........!!!!!
ගෙඩියේ ඇට වෙනුවට හිටියේ මොක්කුද දන්නවද????
කළු දෙබරු.......
උන් නපුරු ගොවියාට පන්න පන්නා 
අනින්නට වුණා.  පසුව ඔහු දෙබර විසෙන්ම
මිය ගියා.



පේනවා නේද නපුරු කමට වෙන දේ.....!!!!!!

 

බලු රාලේ........

පුංචි බලු රාළේ
මා ගෙදර නැති වේලේ
කවුද මගේ බෝලේ
පෙරල පෙරලා
මිදුලේ හිටියේ......

කඩිසර කූඹි

බිත්තියෙ කළු ඉරක් ඇදලා
බැලුවා
ඒ කවුද කියලා
ඉරක් නොවෙයි
කූඹි රැලක්
ගමනක් යනවා.......//
කඩිසර ගමනින් යන්නට
පේලිය
නොකඩා යන්නට.....
කූඹින් නෑ
කවදාවත්
රංඩු කරන්නේ.......//
මගේ පුංචි දෝණිගෙන් ඉගෙනගත්ත පුංචි ගීයක්

කනාමැදිරියෝ

කලුවර කුමාරි මුලු ලෝකයම වසාගෙන එයාගේ දැවැන්ත සලුවෙන්
ගස් වැල්වල අතු ඉති අතරේ....කලුවර පොදි පිටින්.
බකමුණු ජෝඩුවක් තරගයට වගේ හ්ම්....හ්ම් කියනවා. 

පුංචිම පුංචි රැහැයියෙක් ක්‍රීස්...ක්‍රීස්...ස්ස්ස්....කියනවා. කන් දෙක බිහිරි කරවන හඩක්...
කනාමැදිරි රෑනක් පුරුදු විදිහටම තමන්ගේ ගමන පටන් ගත්තා.
අදුරත් එක්ක පොර බදන්න වගේ පියාඹනවා.....පියාඹනවා....කෙලවරක් නෑ.
ලයිට් නිමනවා...පත්තු කරනවා....ආයේ නිමනවා....පත්තු කරනවා.

මේ අතර හදිසියෙම වගේ එක කනාමැදිරියෙක් දැක්කා
එයාලගේ යාළුවෙක් කූඩුවක ඉන්නවා. ඒ මොකද ඒ......
පුංචි වටු කිරිල්ලී එයාගේ පැටවුන්ට එළියක් ඕනෙ කියලා එක දවසක්
තමන්ගේ යාළුවෙක්ම බලෙන්ම වගේ අරගෙන ගියා කියලා එයාට මතක් වුණා.
ඉතින්.......,
ඔවුන් මේ වටු කුරුළු කූඩුව ලගින් 
ලයිට් නිවාගෙන වේගයෙන් පියාඹගෙන ගියා.
කෙලින් උඩට...පහලට පියෑඹුවා.....

එදා ඉතින් පුංචි ආකර්ෂාගේ උපන් දිනේ.
ඒ ගෙදර එකම මගුල් ගෙයක් වගේ
හැම තැනම කල එලි වෙලා.
කනා මැදිරි රෑණ ලං වුණා ඒ පැත්තට
හරිම පුදුමයි. 
“ඒයි අන්න සදවතී.....කවුරුත් එක්ක ඒ පැත්ත බැලුවා.
ආනේ......ඇත්තමයි......
හැබෑමයි, ඇත්ත තමයි............
සේරම දෙනා එහෙම කිවුවා.ඒත් කෝමද සදවතී ළගට යන්නේ.
කවුරුත් ලයිට් නිමල කල්පනා කලා. අපි එළියට එන දවස්වලට සදවතී කොහේ යනවද කියලා.
එයා අපට කියන්නේ නැහැ කවදාවත්ම නේද..........
“හ්ම්.....ඔව්..ඔව්.... තවත් කෙනෙක් ඒ කතාවට හවුල් වුණා.
අද නම් සදවතීගේ හොරේ අහුවුණා.  හූ..........හූ.........අපට හොරේ අහුවුණා.
ලයිට් දාලා ආයෙත් රවුමට කැරකිලා නැටුවා. ෂ්.........ෂ්......
සද්ද කරන්න එපා. තවත් කෙනෙක් කිවුවා.


හදිසියෙම ආකර්ෂලාගේ ගෙදර දොරක් ඇරුණා.
හැමෝම ඒ හඩ ආපු දිහාව බැලුවා.  යමු යමු අන්න සදවතී ලගට යමු.
අර තියෙන්නේ පාර ........කණාමැදිරියෝ රොත්ත පිටින්ම 
ඇතුළට පියෑඹුවා කාමරය ඇතුළට.  වටපිට බැලුවා නැහැ කවුරුත්ම පේන්න.
හිමින් සැරේ සදවතී ලගට ලංවුණා. සමච්චල් හිනාවකුත් එක්කම.
පුංචි පැටව් බාල්කවල එල්ලිලා හිටියා අදුරේම.


“චික්......මෙන්න මේ කණාමැදිරියෝ එනවා ලයිට් එක ලගටම. අයියෝ අනේ....
උන් ඒකේ වහල ඉදලා මැරිලා. ඔන්න ඔය දොර වහල දාන්න.......
ආකර්ෂා දුවගේ තාත්තා කිව්වා.  බාල්කවල එල්ලිලා ඉන්න පුංචි පැටවුන්ට
සදවතීගේ පාමුල වැටිලා  ඉන්න තමන්ගේ යාලුවන්ව පෙනුනා.  ඔවුන් ආයෙත් නැගිටින පාටක් නැහැ.
පුංචි හිත් වලට හරියට දුක හිතුනා.  පුංචි පැටව් ටික වෙලාවකින් පන බේරාගෙන 
අදුරේම පියාඹලා ගියා බොහෝම හිත් වේදනාවෙන්.


පහුවෙනිදාත් රෑ කුමාරිගේ සලුවෙන් ලෝකය වසා ගත්තට පස්සේ අර කණාමැදිරියෝ
ධෛර්යයමත්වෙලා තමන්ගේ යාලුවන්ව හොයන්න වුණා.
ඒ ගොල්ලන් එක එක පැති වලට පියාඹලා ගියා.  සදවතී හරිම නරකයි
එයා හරිම නපුරුයි. සැරයි. ඔවුන් කතාවෙවී පියෑඹුවා.
දුර ඈත පලාත්වලට බොහෝම අමාරුවෙන් තෙහෙට්ටුවෙන් පියෑඹුවා.
ඒත් තාමත් එයාලට එයාලගේ යාලුවෝ මුණ ගැහුණේ නැහැ.  මාස පෝය දවස් වලට
අහස පුරාම විසිරිලා තරු අහුරු පිටින් තියෙනවා දැකලා තියෙනවා නේද?
අන්න ඒ තමයි.........අර නැතිවුණු කණාමැදිරියෝ...........!!!!!

Tuesday, August 30, 2011

පුංචි කිරිල්ලකි......

අත්තෙන් අත්තට පනින කුරුල්ලා
අල්ලා ගන්නට හනික වරෙල්ලා
කිචි බිචි ගාමින් 
පියඹා යනවා....
හවස කැදැල්ලට පෙරළා එනවා

අන්න බලන් සකි
පුංචි කිරිල්ලකි
ඇත්තෙන් ඈ හරි ලස්සන කෙල්ලකි

කිලිටි වෙතැයි කියලයි කනගාටු
කවුද කුරුල්ලට 
දුන්නෙ පිහාටු......//



මේ ගීතය මම හෝඩියේ පංතියේදී ඉගෙන ගත්ත එකක් 

කූඹි පොඩිත්තා

එක දවසක් දා - කූඹි පොඩිත්තා
කොස් කොළ ඇද උඩ 
දොයියා ගත්තා
අහස කළු උණා
වහින්න ගත්තා
කූඹි පොඩිත්තා 
අඩන්න ගත්තා

අම්මට ඇහුණා - දුවගෙන ආවා
කූඹි පොඩිත්තා - තුරුලට ගත්තා
තාත්තා ආවා
මොකදැයි ඇහුවා
කූඹි පොඩිත්තා නලවා ගත්තා......

Thursday, August 25, 2011

ගොරකා මුලේ කතාව




රජ ගෙදර මුළුතැන්ගෙයි එදා ගොරකා ඉවර වෙලා. ඉතින් ගොරකා ඉවර වුනාම
හැමදාම රජ බිසව කරන්නේ ගමේ කවුරු හෝ ගෙන්නගෙන ගොරකා
මුලක් ගෙන්වා ගැනීමයි. ඔන්න ඉතිං බිසව ඒ වැඩේ පවරන්න කෙනෙක්
ගැන සිතමින් ඉන්න කොට අන්දරේ මාලිගාවේ මුළුතැන්ගේ
පැත්තට ආවා. ඉතිං අන්දරේට කතා කරපු බිසව
“අන්දරේ මට උදව්වක් ඕනෑ....කියලා කිව්වා.
“කියන්න බිසවුන් වහන්ස, ඕනෑ දෙයක් කියන්ට....අපි නිතරම බැදී සිටින්නේ
ඔබතුමියට හා රජතුමාට සේවය කිරීමටයි....අන්දරේ කිවුවා.
“එහෙනම් අන්දරේ මට ගොරකා මුලක් ගෙනැත් දෙන්න...බිසව කිව්වා.

අන්දරේ ඒ එක්කම රජවාසලින් පිටත් වුණේ බිසවුන් වහන්සේගේ ඉල්ලීම ගැන සිතමින්.  
අන්දරේගේ ඉඩමට කිට්ටුව ඉඩමේ ලොකු ගොරකා ගහක් තිබුණා.
හැබැයි මේ ගොරකා ගහ අන්දරේට පුදුම කරදරයක් වෙලයි තිබුණේ.
ඇයි ඉතින් ගහේ අතු ඔක්කෝම අන්දරේගේ වත්තට පාත්වෙලා.
මේ ගහේ කොළ සේරම අන්දරේගේ වත්තේ.
ඒත් අනුන්ගේ ඉඩමක ගහ තිබුණ නිසා
ගහේ අතු කපන්නත් බැහැනේ.
ඉතින්....මේ අවස්ථාව අන්දරේගේ අදහස ඉටු කරගන්න 
හොදම වෙලාව.  අන්දරේ කෙලින්ම ගියේ 
ගහේ අයිතිකාරයාගේ ගෙදරට.
“ගෙදර කවුරුත් නැද්දෝ......??????
ආ....ලොකු උන්නැහේ මම ආවේ රජ ගෙදර ඉදන් රාජ ආඥාවක් අරගෙන.
වහාම මේ ගොරකා ගහ කපලා ඒකේ මුල රජ ගෙදරට අරගෙන එන්න කියලා රාජ ආඥාවක්
නිකුත් කරලා තියෙනවා.....අන්දරේ කිව්වා.
රාජ ආඥාවකට පිටුපෑම මරණය පවා අත්වන්නට පුළුවන් කාරණාවක්.  ඒ හින්දම ගොරකා ගහේ අයිතිකාරයා තවත් දහපහලොස් දෙනෙක් එකතු කරගෙන ගොරකා ගහ කපලා ගැලෙව්වා.  
එයින් මුල වෙන්කරගන්ත කට්ටිය  මුලත් කරතියාගෙන රජ ගෙදරට ගියා.  
අන්දරේ තමයි ඉස්සරහින්ම ගියේ.
විශාල ගොරකා මුලක් මිදුලේ තබනු දුටු රජතුමා..
“මොකද අන්දරේ මේ.......??කියාලා පුදුම වුණා.
“කුමන කාරණාවකට ගේන්න කිව්වද කියලා මම නම් දන්නේ නැහැ දේවයන් වහන්ස.
ඔබ වහන්සේගේ අග බිසවුන් වහන්සේ තමයි මට ගොරකා මුලක් 
ගේන්න කියලා කිව්වේ. අන්දරේ කිව්වා.  
බිසවුන් වහන්සේගෙන් කාරණාව විමසූ රජතුමාට හොදටම හිනා.
බිසවට මේකට ටිකක් කේන්ති ගියත් ඇය අන්දරේගේ තරම
දන්නා නිසා මොනවත් කියන්නට ගියේ නැහැ. 

දැන් නිවාඩු කාලේ

දැන් නිවාඩු කාලේ හිංදා
නෑ ඉස්කෝලේ
ආයි ආයි ආපි ඔන්න
සෙල්ලම් කාලේ.......//

මං පළවෙනි ආව කියලා
අම්මට සන්තෝස හිතිලා...//
දෙනවා කිව්වා තෑගි ගෙනැල්ලා

තාත්තා මට ආදරේලු
ආච්චි මට හාදු දේලු
නැන්ච දේවි ඇදුම් මසාලා
හායි....හායි.....

දැන් නිවාඩු.........

කෝච්චියෙන් ගමට යනවා
කිරියි පැණියි කාල එනවා
පදින්න පුඵවනි ඔංචිල්ලා
අක්කලා නංගිලා එක්කලා
කජු කඩලා අරන් කෙක්ක
නානව ගගේ ගිලීලා
හායි......හායි.........

අකුරු මැකී නෑ


අකුරු මැකී නෑ
කොළ ගැලවී නෑ
බොද වී නෑ සිතුවම්
ඉස්සර වාගේ තාමත් මතකයි
හෝඩි පොතේ පාඩම්.....//

මේ ඊරි බිම සීරී
කුණ්ඩුමනී හිස පීරී
දීසිය පුරවා දෝසි දමා
කුමුදුමනී හිනැහේවී

අකුරු මැකී නෑ ........
අපි දුවමූ - අපි පනිමු
ගී කියමු - අපි නටමූ
ඇත් පොරයට අපි ඇහැ යවමූ
බාල වියට පා තබමූ
අකුරු මැකී නෑ........



ගායනය : එඩ්වඩ් ජයකොඩි