සුවද කැකුළු

Thursday, April 11, 2013

ඔන්චිලි චිලි චිල්ල මලේ



ජන ජීවියේදී ඔන්චිලි වාරම් සිංහල ජන ක්‍රීඩාවක් ලෙස ප්‍රචලිතයි.  එය වඩාත් කළ එළි බසින්සේ සිංහල අවුරුදු කාලයටයි.  කාන්තාවන් පුරුෂයන් වශයෙන් භේදයක් නොමැතිව කෙරෙන මේ ක්‍රීඩාවේදී වැඩිපුරම ඔන්චිල්ලාව දෙසට නැඹුරු වන්නේ තරුණ ගැහැණු ළමයින්ගේ අවධානයයි.  වාරම් කවි කියමින් අවුරුදු කාලයේදී සෑම නිවෙසකට පාහේ ඔන්චිල්ලාවක් බැද පදින තරුණියන් දැක ගන්නට පුළුවන. 

ඔන්චිලි චිලි චිල්ල මලේ - වැල්ල දිගට නෙල්ලි කැලේ
කඩන්ට බැරි කටු අකුලේ- කඩා දියන් මගේ මලේ

උඩ යන රවුමට පපුවයි                දන්නේ
පහළට එනකොට නිවිලයි            එන්නේ
පොල්ලක් පැන්නට බය    නොසිතෙන්නේ
පත්තිනි දෙවිදුට පිං                     දීපන්නේ

පදිනා කල විත් වැල්       ඔන්චිල්ලා
අදිනා වත තදකර           ඇදගල්ලා
පදිනා වැල් දෙක බුරුල් නොදෙල්ලා
සොදිනා ගී කියමින්        පැදපල්ලා

සතර දෙනයි අපි ආවේ       ඔක්කොම
සතර වටට සොඳ කැරකෙන ගෙත්තම
සතර අතට අල්ලා            මාලක්කම
කතර ගමට බාරයි අපි        ඔක්කොම

ඉඳ ගත්තෙමි උස පුටුවක             ගුවනා
බැඳ ගත්තෙමි ජය කොන්ඩය       මුදුනා
ඇඳ ගත්තෙමි වතකුත්              ආබරණා
වැඳ ගත්තෙමි නාරායණ              සරණා

පදිනා කල විත් වැල්       ඔංචිල්ලා
අඳිනා වත තද කර          ඇදගල්ලා
පදිනා වැල් දෙක බුරුල්   නොදෙල්ලා
සොඳිනා ගී කියමින්        පැදපල්ලා

මිතුර මෙනුඹ අපි එක්ව    සියල්ලා
කතුර ලෙසට බැඳි රන්     ඔංචිල්ලා
නතර වෙවී ගුවනේ         ඔංචිල්ලා
මෙවර පදිමු අපි රන්        ඔංචිල්ලා

විසි තුරු කර බැඳි රන්      ඔංචිල්ලා
රිසි රිසි අය අරගෙන        පැදපල්ලා
ඇසි පිය නො හෙළා බලා   සිටිල්ලා
කිසි තැන නැත මේ ලෙස ඔංචිල්ලා

පුර වර මැද බැඳි රන්       ඔංචිල්ලා
දුර යන තරමට පුදුම නො   වෙල්ලා
වවුලන් ලෙෂ කැරකෙයි  ඔංචිල්ලා
අපිත් පදිමු දැන් රන්        ඔංචිල්ලා

රනේ රුව සේ ඇති බාල ළදුන්     නේ
කණේ තොඩු දෙක දෙපිට වැනෙන්නේ
ඉනේ සළුව තද කර ඇද ගන්        නේ
අනේ ළදුනි ඔංචිලි පැදපන්          නේ

අත්ත උසං උසං      උසං
ජම්බු පොකුරු සිලිං බිලිං
ලොකු අක්කේ පදිං  පදිං
ජම්බු කඩං බෙදං   බෙදං

වවුල් දහයි දහයි         දහයි
කොක්කු දහයි දහයි   දහයි
අහසේ උඩ නගියි      නගියි
පදිමු අපිත් එහෙයි මෙහෙයි

ඉරු දෙවියෝ යන්නේ උඩින්
සඳ දෙවියෝ යන්නේ උඩින්
තරු බැබළෙන අහස  උඩින්
නඩා ගහමු අපිත්        උඩින්

Friday, April 5, 2013

සොකරි කතාව



අද මම කියන්න යන්නේ සොකරි ගැන පුංචි විස්තරයක්.  ලංකාවේ බොහෝ ප්‍රදේශවල මේ සොකරි කථාව රගදැක්වෙලා තියෙනවා.  මුළු රාත්‍රිය පුරාම රගදැක්වෙන මේ සොකරි කථාව සමහර තැන්වල පත්තිනි දෙවියන්ට කරන පූජාවක් විදියටත් හදුන්වලා දීලා තියෙනවා.  ඒ වුනාට පොත් පත්වල සදහන්වෙලා තියෙන විදියට නම් ලංකාව පුරාම පෙන්වපු සොකරි නාට්‍යයට එකම නිර්වචනය එය නොවෙයි.

මේ සොකරි නාට්‍යය දකුණු ඉන්දියාවේ ගැමි නාට්‍ය  ක්‍රමයෙන් අපේ රටේ තහවුරු වූ බවක් පෙනෙන්නට තියෙනවා.  සොකරි කතාව ඉන්දියාවට සම්බන්ධකම් තියෙනවා.  ලංකාවේ සොකරි කණ්ඩායමෙන් කණ්ඩායමට කතාව වෙනස් වෙනවා.  නමුත් මූලික සිද්දිවල සමානකමකුත් දකින්නට ලැබෙනවා.  එක් සොකරි කතාවක අන්තර්ගතය මෙයයි.  එක්තරා කාන්තාවක් තමන්ගේ ස්වාමියා නැතිව තනියම දරුවාත් එක්ක ජීවත් වෙනවා.  දවසක් මහ මග යනකොට දකින දකින දේ ඉල්ලමින් දරුවා මවට කරදර කරනවා.  ඒ අවස්තාවේදී දරුවන් නැති ධනවත් පුරුෂයෙක් ඒ දරුවා මවගෙන් ඉල්ලා සිටිනවා.  තමන් දන්නා දැනුමත්, වස්තුවත් දරුවාට දෙ බවට මේ මිනිසා මවට පොරොන්දු වෙනවා.  කෙසේ හෝ මේ දරුවා උස්මහත් වෙලා තමන් හදාගත් පියාගේ ශිල්පී ය දැනුමත් වස්තුවත් ලබාගෙන පියාගෙන් වෙන්වෙනවා.  ඔහු හදුන්වන්නේ ගුරුහාමි නමින්.  

ඔහු ගමන්ගන්නා අතරමග අම්බලමකදී රජගෙදරින් නෙරපන ලද කුමරියක් හා ඇගේ බැලමෙහෙ කරන දාසියක් මොහුට මුණ ගැහෙනවා.  තමන් දන්නා මන්ත්‍ර ශාස්ත්‍රය උපයෝගී කරගෙන මේ කුමාරියව වසගයට ගන්නා ගුරුහාමි කාලි කියන දාසිය හා පරයා නම් ද්‍රවිඩ මෙහෙකාරයකුද සමග යනවා.  මේ කුමරිය සමග විවාහ වුනාට කාලයක් ගතවන තුරුම දරුවන් නොමැති නිසා ඔවුන් ලංකාවට ඇවිත් කතරගම දෙවියන්ට භාරයක් වෙන්නට තීරණය කරනවා.  නැවක් හදාගෙන එන අතරතුර විවිධ හිනා උපදවන සිදුවීම්ද සිදුවන මුත් ඔවුන් ලංකාවට එනවා.  මෙහෙම ආපු ගුරුහාමි ඇතුළු පිරිස තඹරාපිට වෙදරාල කියන පුද්ගලයාගේ බල්ලෙක් සපා කනවා.  පස්සේ ඒ වෙදරාළ සොකරි අම්මාවත් රවටාගන්නවා.  නැවතත් ගුරුහාමි සොකරි අම්මාව තමා වෙත ලබාගන්නවා.  පස්සේ මේ වෙදරාළ හා ගුරුහාමි කුළුපග වෙනවා.  සොකරි අම්මා ගැබිනියක් වෙනවා.  කතාව අවසන් වෙන්නේ සොකරි හා ගුරුහාමි යන දෙදෙනා විසින් ලැබෙන දරුවා නළවන දර්ශනයකිනුයි.
මේ කතාව ගෙතී ඇති කවි පංතියට ලැබෙන්නේ ලොකු ප්‍රසිද්ධියක්.  අතරින් පතර දෙබස් සුළු වශයෙන් තිබුණත් මුළු කතාවම කියවෙන්නේ කවියෙනුයි.  පිරිමි ගායකයෝ හඩ උස්කොට කවි ගායනා කරනවා.  මේ කතාවට සම්බන්ධ කවිවල ගැමි කවියාගේ දක්ෂකම්, වගේම නිර්මාණ ශක්තියත් ඉතාමත් හොදින් පෙන්නුම් කරනවා.  

සොකරි කතාවේදී ඇය විසින් කරන ක්‍රියාවන් දහසයක් මේ පද්‍යවල ඇතුලත් වෙනවා.  ඇය සබයට ඇවිත් මොහොතක් යන විට ඒ ක්‍රියාවන් සියල්ල කර අවසාන වෙනවා.  ඇය විසින් කරන ක්‍රියාවන් අතර අව්වේ වී වේලන, කොටන, පොලන අවස්ථා ඇතුලත් වෙනවා.  මේවා අපේ සිංහල ගැමි සංස්කෘතියේ දැකිය හැකි ලක්ෂන නේ.  පහතින් සදහන් වෙන්නේ ඒ පැදි පෙලකි.

යාලක් විතර වී අව්වේ වනා          ලා
දොළසක් විතර ඇග ගෝමර ඉසී  ලා
අතක් දිගට නිල් වරලස මිදී          ලා
සොකරි සිටිති වී අව්වේ වනා        ලා

සොකරි කොටන්නේ කාගේ වීයක්            දෝ
නෙකෙටි තියෙන්නේ මේරූ ගලක්            දෝ
නොපිපි තියෙන්නේ මානෙල් මලක්          දෝ
ගුරුව නේන්නේ කාගේ බසක්                  දෝ

කොකටා මෙ වී මොකෙන් ද අපි පොළ     න්නේ
ජටාව ගෙන ඉස් මුදුනට බදි                      න්නේ
රටා කුල්ල ගෙන සුරතට පොළ                න්නේ
සටන් පටන් කුලු හරඹේ වදි                     න්නේ

වටස් සදිසි බටකොළ වියපු කු                  ල්ලේ
මටත් බලන්නට සව්දන් ගැසි                    ල්ලේ
මෙරට ගෑනු කුලු හරඹෙට ලවු                  ල්ලේ
රන් මුදු ලන්ට නරක ද නුඹ ඇගි               ල්ලේ

සොකරි එන්නී සබයෙන් අවසර ග          න්නී
නැටුම් නටන්නී තාලෙට රාග කිය             න්නී
පද අල්ලන්නී සියයුරු ලැම හොල්ල         න්නී
කැඩපත ගන්නී සුරතින් මූණ බල              න්නී

අදුන් ගාන්නී නෙත් දෙක ඔමරි කරන්       නී
මල් ගවසන්නී කොණ්ඩේ ගොතා හෙළන් නී
තොඩු දමන්නී පවලන් මාල බදින්             නී
සේල අදින්නී පටකින් ඔමරි දමන්             නී
නමුත් මේ සොකරි කතාව ගැන ලියූ කෙනෙක් ගැන සදහනක් නැත.


(කවි උපුටා ගත්තේමහාචාර්ය ආරිය රාජකරුණා විසින් රචිත සිංහල කාව්‍ය සංග්‍රහය නම් පොතෙනි)