ඔන්න ඉතිං ඉස්සර කාලේ හිටපු කවටයෙක්නේ අන්දරේ කියන්නේ. එයා තමයි රජ වාසල කවටයා. රජතුමාගේ හිතට කරදර වුන වෙලාවට ඒ දුක දුරුවෙන්න කියලා විහිළුවක් කරලා කවියක් කියන එක අන්දරේගේ රාජකාරියේ කොටසක්.
ඉතිං ඔන්න දවසක් අන්දරේ රජවාසලට ගිහින් රජතුමාට වැදලා පසෙකට වෙලා හිටියා. රජතුමා වෙනදා වගේ අන්දරේ එක්ක සතුටු සාමීචියේ යෙදෙන්න පටන් ගත්තා. රජගෙදර මිදුලේ මුරුසි රටෙන් ගෙනාපු සීනි ගොඩක් තිබුණා. ඒක දැකපු අන්දරේ “දේවයන් වහන්ස, අර සුදු පාට මොනවාදැයි ඇසුවා. රජතුමා කිවුවා “ආාාා ඒ රට පස් නොවැ.....කියලා...
ඉතිං අන්දරේ පහුවෙනිදා රාජ සභාවට එනකොට පුතාට කිව්වා “ මම රජසභාවට ගිහින් රජ්ජුරුවෝ එක්ක කතා කර කර ඉන්නකොට උඹ අඩාගෙන වරෙන්. ඇවිත් ආච්චි මැරුණයි කියලා මට කියාපන්. ඉන්පස්සේ කරන්න ඕනෑ දේ මම කියන්නම්. පුතා ඉතිං ඔන්න පියා කියපු දේ ඒ විදියටම පිළිගත්තා.
පහුවෙනිදා අන්දරේ පුරුදු විදියට රජතුමා එක්ක සතුටු සාමීචි කතා බහක යෙදුනා. ඈත ඉදන්ම පුතා අන්දරේ හිටි තැනට ආවේ අඩාගෙන. මේ දර්ශනයෙන් රජතුමාගෙ හිතෙත් කුතුහලයක් ඇති වුනා.
“මොකද පුතා අඩන්නේ?
“අනේ තාත්තේ...තාත්තේ...ආච්චි මළා
“අනේ පුතේ , ඉතිං අපි ඉදලා ඕන්නෑ...උන්දෑ නැතිව. වරෙන් පුතේ වරෙන්. මේ රටපස් වත් කාලා මැරෙන්න. කියලා අන්දරේ පුතා එක්ක සීනි ගොඩ තිබූ තැනට ගිහින් පෙරළි පෙරළි සීනි කන්න වුණා.
රටපස් කා මිය යන බව කියමින් සීනි කන පිය පුතු දෙදෙනාගේ ප්‍රයෝගය තේරුම් ගත් රජතුමාටද සිනා පහළ වුනා. අන්දරේ ඇසූ පැනයට තමා දුන් පිළිතුරෙන් ඔහු ප්‍රයෝජන ගන්නා ආකාරය රජතුමාට පෙනී ගියා. ඒත් රජතුමාට දැන් කරන්න දෙයක් නැහැ. අන්දරේගේ ප්‍රයෝගයට රජතුමා අසුවුනා. ඉතිං කාලයත් එක්ක මේ කතාව පදනම් කරගෙන අන්දරේ සීනි කෑවා වගෙයි කියලා පිරුළකුත් එකතු වුනා.
👍
ReplyDeleteGood
ReplyDelete