සුවද කැකුළු

Tuesday, November 15, 2011

මං කවුද?


ඔන්න පොඩිත්තනේ 
අද ඔයාලට මං ගැන පුංචි පුංචි 
දේවල් ටිකක් කියලා දෙන්නයි හදන්නේ.
මුලින්ම දන්නවද මං කවුද කියලා, 
ඔයාලා මට බොහෝම ආදරේ 
කරන බව මම දන්නවා.
මගේ නම තමයි 
වතුර.
මට ඔන්න එක එක අය 
එක එක අවස්ථා වලදි කතා කරන 
විදියේ වෙනස්කම් රැසක්ම තියෙනවා. 
ඉතින් අහගන්නකෝ. 

මට මිනිස්සු 
ගෞරවයෙන් කතා කරන
කොට කියන්නේ ජලය කියලා. 
මං ගැන එක එක ලිපිපල කරන කොට ඒ 
අය ගෞරවාන්විතව මට කතා කරනවා.  
අනෙක් අතට අපි පන්සල් ගියහම
පන්සලේදි කවුරුත් මට 
කතා කරන්නේ 
පැන් කියලා. 
මල් වලට ඉහින
කොට පැන් ඉහිනවා කියනවා. 

අත් සෝදන කොට 
අත් දෝවනය කරනවා කියනවා. 
එතකොට බෝධීන් වහන්සේ 
නාවන්න ගන්නේපිරිසිදු 
පැන් කලයක්. 
පොඩිත්තන්ට 
මතකයි නේද?
හැබෑවටම 
කිවුවොත් 
මාව 
නොදන්න 
කෙනෙක් නැති තරම්. 

මම හරිම පිරිසිදුයි. 
ඒ වගේම තමයි සමහර 
අයට මාව කොතරම්තිබුනත් 
එතරම් වටිනාකමක් තේරුම් ගන්නේ 
නැහැ. ඒත් ඇතැම් උදවිය නම්
සල්ලි වලටත් මාව 
ගන්නවා.
සමහරුන්ට 
සල්ලි දීලා වත් ගන්න
නැහැ. ඒ තරමටම මං හිග
වෙන අවස්ථාත් තියෙනවා.

දැන් දැන් මගේ වටිනාකම කාට 
කාටත් තේරෙන්න පටන් 
අරගෙන. මාව ආරක්ෂා 
කරගන්න එක එක
නීති රීතිත් හදලා
තියෙනවා.
ඇත්තම කිවුවොත් 
දරුවනේ මං නැතිව 
ඔයාලට ජීවත් වෙන්නවත්
බැහැ.

ඔන්න බලන්නකෝ, 
මට විවිධ අවස්ථා වලදී 
කියන නම්  මතක් වෙනකොට
ලැජ්ජත් එක්ක.  සමහර අය කරන
වැඩ නිසා මාව අපිරිසිදු වෙනවා. මම යන 
එන පිරිසිදුතැන් වලට අපවිත්‍ර 
දේ ගෙනැත් දාන නිසා 
මිනිසුන්ට මාව 
පාවිච්චියට 
ගන්න
වෙන්නේ 
උණු කරලා.
එතකොට මට 
කියන්නේ උනු වතුර කියලා.
මම ඒ ගැන තරහා වෙන්නෙ නැහැ.
මොකද උණු ජලය බොන තරමට සෞඛ්‍ය
ගැන ප්‍රශ්ණ ඇත්තෙත් නැහැනේ නේද?.  
එතකොට ඕං ඇල් වතුර උණු වතුර වෙනවා.

ඔන්න ඉතිං 
එහෙම වතුර උණු කරලා 
ඒකට තේ කොළ එහෙම දාලා
සීනි ටිකක් එක්ක බොන කොට මට 
කියන්නේ තේ වතුර කියලා. රසයි නේද දරුවනේ...
සමහර උදවිය ඔය කොහේ හරි ගිහින් 
ඇවිත් ගිමන් අරින ගමන් 
අයිස් පෙට්ටියෙන්
මාව පුරවපු 
බෝතලයක් අරගෙන බොනවා.  
අප්පා...එතකොට දැනෙන සනීපේ. 
හැබැයි පුංචි ඈයොත්බොහෝම කැමතියි 
එහෙම මාව බොන්න නම්. ඒත් 
වැඩිපුර ගත්තොත් ලෙඩ
වෙන්න පුළුවන් 
ඕං..බලාගෙනයි.  
එතකොට නම්
මට කියන්නේ
අයිස් වතුර කියලා.

ඔන්න ඉතිං 
සමහර දවස් වලට
විදුලි කොටලා හෙන පුපුරලා 
අහස අඩන්න පටන් ගන්නවා.
ඒ වෙලාවට අහසින් වැටෙන්නේ 
වැහි වතුරනේ නේද?  
ඒ වැහි වතුර ටිකක් 
වේගවත් වෙලා 
ගං බිම්
සෝදා ගෙන
ගහගෙන ගෙවල් යට කරගෙන
යනකොට කියනවා ගං වතුර කියලා.
එහෙම වෙන්නේ ඔන්න මට ටිකක් තරහා ගියාම තමයි. 
පුංචි පැටවු මතක තියාගන්ට ඕනෑ හොදද?

ඉන් පස්සේ 
මේ අහසින් වැටෙන වතුර
එකතු වෙලා ඔයාලගේ ගෙදර තියෙන 
ලිද පිරෙනවා. ඒ වතුරට මොනවද දන්නවද 
කියන්නේ ලිං වතුර.එතකොට ඔයාලගේ අම්මා අප්පච්චි 
එහෙම සල්ලි ගෙවලා පයිප්ප දිගේ එන වතුර 
මොනවද?ඒකට කියන්නේ පයිප්ප
වතුර කියලා.  ඒවාට ක්ලෝරීන් 
කියලා ජාතියකුත් දානවා 
පිරිසිදු වෙන්න කියලා. 
මේ වතුර දැන් බෝතල් 
වල දාලත් විකුණන්න 
තිබෙනවානේ.
ඒවාට කියනවා 
බෝතල් වතුර කියලා.  
අපි තව ටිකක් එහාට ගියොත්
ඒ කියන්නේ මුහුද පැත්තට....
එතකොට මුහුදේ තියෙන්නේ
මුහුදු වතුර
ඇයි ලුණු වතුර 
කියලත් කියනවා.

වැස්ස වැහැලා වැහැලා 
හැම තැනම හෝදාගෙන යනකොට
ගගේ තියෙන්නේ බොර වතුර.
ඒ වැස්සට මිදුල මඩ වෙලා
පුංචි ඔයාලා ඔරු හදලා 
දාන්නේ මඩ වතුරෙ 
නේද?
සමහර වෙලාවට 
අම්මාගෙන් ගුටිත් කනවා නේද? 

හූ....හූ....මම දන්නවා.

ඔන්න බලන්න 
ඉර මුඵ ලෝකෙටම 
එළිය දෙනවනේ.  ඒත්
සමහර තැන් වල ඉර එළිය 
වැටෙන්නේ නැහැ. එහෙම තැන්වල 
එකතු වෙලා තියෙන්නේ පල් වතුර. ඒවායේ 
මදුරුවෝ වගේ විස සත්තු ඉන්නවා නේද?
ගෙදර අම්මා එළවළු එහෙම හෝදලා එළියට 
විසි කරන්නේ කුණු වතුර. එතකොට 
අම්මා රෙදි සෝදලා විසි කරන්නේ 
සබන් වතුර. බලන්නකො ඉතිං 
ඒකෙත් හැටි නේද?
කවුරු කොහොම කතා කලත්
මං නැතිව ඉන්න නම් අමාරුයි. 
මගේ වටිනාකම හැමෝම දන්නවා. 
ඒකනේහැම වෙලාවෙම ඔය ටී වී, රේඩියෝ වලින් 
කියන්නේ මාව අර පරිස්සමෙන් පාවිච්චි 
කරන්න කියලා. හැබෑවටම මාව 
පරිස්සම් කරගත්තොත් 
ප්‍රයෝජනේ 
තියෙන්නේ ඔයාලටමයි. 
මතකනේ එහෙනම්......
ගිහින් එන්නම්..........!!!!!

Saturday, October 29, 2011

නරියාගේ නඩු තීන්දුව


 ඔන්න ඉතිං දවසක් ගමරාළට ඕන උනා අං තට්ටුවක්.   ඒක ඉතිං ඉහේ පළදවන්න එහෙම නෙමෙයි. ගෙදර බිත්තියේ සවිකර   තියන්ට. එතකොට ඉතිං අලංකාරයිනේ. අනෙක තමයි ඉස්සර කාලේ මිනිස්සුන්ගෙ   විශ්වාසයක් තිබුණා මෙහෙම අං තට්ටුවක් ගෙදර බිත්තියේ  තිබුණොත් ඒක සෞභාග්‍යයට හේතුවක් කියලා. 
ඉතිං මේකට යොදා   ගත්තේ ගෝන අං හරි එහෙම නැත්නම් මුව අං හරි තමයි.  නමුත් කාලයක් ගතවෙන කොට ගෝනුන්ගේ අං වැටෙන බවත් එහෙමත් නැත්නම් මිය ගියාට පස්සේ අං තට්ටුව ගන්න පුළුවන් බවත් 
ගැමියන් කියන්නට වුනා. මුවන්ගේ අං තට්ටුව නම් ගන්න පුළුවන් වෙන්නේ  මිය ගියහම තමයි.

ගමරාළ අං තට්ටුවක් හොයාගෙන කැලෑවට ගියා. ඉතිං ඔහොම අං තට්ටුවක් හොයාගෙන හොයාගෙන කැලයේ ඈතටම ගිය ගමරාළට බලාපොරොත්තු වෙච්ච විදියට  අං තට්ටුවක් හොයාගන්න බැරිවුනා.  පස්සේ ගමරාළ හිතුවා මම තවත් කැලේ ඈතට ඇවිදිනවද? එහෙම නැත්නම් ආපසු ගමට යනවද කියලා.  ඔන්න ඔහේ එක්කෝ මේ ආපු එකේ තවටික දුරක් ගිහින් බලලා  ආපහු ගමට යනවා කියලා කල්පනා කලා.  ඉතිං ඔහොම ඉදිරියට යන ගමරාළට ටික දුරක් යද්දි කොටියෙකුගේ කෙදිරිලි හඩක් ඇහුනා.  කරදරයට පත් වෙලා ඉන්න කොටියෙකුගේ හඩක් කියලා ගමරාළට තේරුනා. එයා ඉතිං වටපිට සොයා බැලුවා.     
                                 
“ආහ්...!! මේ වළ ඇතුලේ ඉන්නේ. මොකද කොටිරාළ වලේ බැහැලා?  ගමරාළ කොටියාගෙන් ඇහුවා.
“හරි වැඩේනේ ගම මාමේ උනේ.  මං මේ වලට වැටුණා නොවැ. දැන් දවස් තුනක් ගතවුනා.  ගොඩ එන්න බැරි වුනා.  අනේ මාමේ මට පිහිට වෙන්න මාමේ. කොටියා ගමරාළට පිංසෙන්ඩු වුනා.

“කොහාමද බොල උඹට පිහිට වෙන්නේ උඹ නපුරු සතා නොවැ? මට මයි කරදරයට වැටෙන්ට වෙන්නේ නුඹව ගොඩ ගත්තොත් එහෙම...ගමරාල කිවුවා.

“අනේ මා ගැන ඔහොම හිතන්න එපා මාමේ. මං ගොඩ ගත්තොත් කියන ඕනම උදව්වක්  කරන්නම්.  මා ගොඩ නොගත්තොත් මෙතැනම මැරිලා යාවි.....

ඉතිං ගමරාළට බොහොම අනුකම්පා හිතුනා.

“හොදයි එහෙනම් මං උඹව ගොඩගන්නම්කෝ. ටිකක් කලබල නොවි ඉදින්කෝ. ...කියු ගමරාළ කැලයෙන් හයිය වැල් පොටක් කඩාගෙන ආවා.  ඉන්පස්සේ ඒ වැල්පොට වල ඇතුලට දැම්මා.  කොටියා ඒ වැල් පොට ඇග වටේ පටලවා ගෙන කටින් අල්ලා ගත්තා.  ගමරාළ වලට නැමී තිබුනු ගහක ආධාරයෙන් කොටියා ගොඩට ඇදලා අරගත්තා.  ගොඩට ආවට පස්සේ කොටියා මෙහෙම කිවුවා.

“මං දවස් තුනක් තිස්සේ මස් කැදැල්ලක් ලේ බිංදුවක් නැතුවයි හිටියේ. මට දැන් හොදටම බඩගිනියි. මං දැන් උඹව මරාගෙන කනවා....  ඔන්න එතකොට තමයි ගමරාළට දවල් තරු පෙනුනේ. ඒක වදින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටුනා වගේ වැඩක් නේ. ගමරාළට දැන් උතුර දකුණ මාරු වෙලා. හීන් දාඩිය දාලා. ගමරාළ වෙව්ලන හඩින් මෙසේ   කිවුවා.

“වලේ ඉදිද්දි නුඹ මට පොරොන්දු වුනා කිසිම කරදරයක් නොකරන බවට ඒ වගේම ඕන උදව්වක් කරන්නම් කියලත් කිවුවා. දැන් මා මරන්න හදන එක  යුතුකමක්ද?

“බඩගින්නේ ඉන්න කොට දෙන පොරොන්දු වලින් වැඩක් නැහැ. අනෙක කොටියෙක් දෙන පොරොන්දු මොලේ ඇති මිනිහෙක් පිළිගන්නවාද? මට දැන් ඕන උඹව මරාගෙන කන්නයි.....


ඔන්න ඉතිං ගමරාළත් කොටියාත් මේ විදියට තර්ක කරමින් ඉන්න කොට එතනින් ගමනක් යන්න නරියෙක් ආවා.  මද වෙලාවක් මේ රංඩුව දිහා බලාගෙන හිටි නරියා ටිකක් ලං වුනා.  නරියා දුටු ගමරාළ නරියාට නඩුව කිවුවා.  මේ කතාව අහගෙන හිටපු නරියා ටිකක් කල්පනා කලා.  “ඉක්මනින් මේ නඩුව විසදලා දුන්නොත්  ඔන්න නරිහාමිටත් වාසියක් වෙනවා.  කොටියා පගාවක් දෙන බවට ඉගියක් කලා. නමුත් කරුණු කාරණා හොදින් අවබෝධ කරගත් නරියා ඒ කතාවට රැවටුනේ නැහැ.

“හොදයි හොදයි...මම සාධාරණව නඩුව  විසදන්නම්කෝ.  හැබැයි ඉතිං මට  බලාගන්න ඕන මුල ඉදලම සිදුවුන දේවල්.  ඒ නිසා මුලින්ම දෙදෙනා හිටපු ආකාරයට ඉන්න ඕන. ගමරාළ මුලින් හිටපු තැන ඉන්න බලන්න. කොටිරාළ වලේ හිටපු විදියටම ඉන්න.  නරියාගේ නියමයෙන් කොටියා  ආපහු වලට පැන්නා.


“මං මුලින් හිටියේ මෙන්න මෙහෙමයි.  කොටියා කිවුවා.
“ඔන්න ඔහොමම කොටිරාළ දිගටම ඉන්න.  මං කතා කරනකම් ගොඩට එන්න බලන්න එපා. එහෙම කියපු ගමරාළ  නරියාත් එක්ක යන්න ගියා.
“ කිසිම දවසක කොටියෙකුට උදව් කරන්න එපා. කොටියාගේ පුරුද්ද තමයි තමාට උදව් කරපු එක්කෙනාව විනාශ කරන එක.  අනෙක  කොටියෙකු දෙන පොරොන්දු කාටද පිළිගන්න පුළුවන්.  කොටියෙක් විශ්වාස කරනවා නම් ඒ ඉතිං මැරුණු කොටියෙකු තමයි.  එහෙමත් නැත්නම් ඉපදුනේ නැති එකෙක් ගැන.  මෙහෙම කියපු නරියා ගමරාළට කරුණු පැහැදිලි කරදීලා යන්න ගියා.