සුවද කැකුළු

Showing posts with label අන්දරේගේ කතා. Show all posts
Showing posts with label අන්දරේගේ කතා. Show all posts

Saturday, November 10, 2012

රබන් පලපු හැටි


අදත් මට හිතුනා අන්දරේ ගැන කතාවක් ලිවුවොත් හොදයි කියලා කාලෙකට පස්සේ නොලියපු නිසා.  මේ සැරේ කියන්නේ රබන් පලපු කතාවක්. 

ඉස්සර අන්දරේ මහනුවරට පදිංචියට එන්න කලින් හිටියේ මාතර පැත්තේ.  ඒ කාලේ වගේම අදත් මාතර පැත්ත මන්තර ගුරුකම් වලට ප්‍රසිද්ධියක් උසුලනවානේ.  ඉතිං ඒ දවස්වල අන්දරේගේ ගුරුකම් ගැනත් නොදැන හිටපු කෙනෙක් නැති තරම්.  එහෙම කියන්නත් හේතුවක් තියෙනවා  ඇයි දන්නවද? අන්දරේගේ කටින් පිටවෙන වස් කවියක් පවා බොහෝම බලගතු බවට මිනිසුන්ගේ විශ්වාසයක් තිබුණා. 

මේ විදියට කාලය ගතවෙලා යනකොට එක දවසක් අන්දරේව හොයාගෙන මනුස්සයෙක් ආවා.  එයා ආවේ අන්දරේගෙන් මන්තරයක් ගැන දැනගන්න.  දැන් කාලේ වගේ තාක්ෂණික මෙවලම් නොතිබුණ යුගයකනේ අන්දරේ ජීවත් වුනේ.  ඉතින් ඕනෑම මගුලකට තුලාවකට හෝ වෙනත් උත්සව අවස්ථාවකට ගම්වල විවිධ වාදන භාණ්ඩ වෙනුවට ගත්තේ රබාන තමයි.  ඒ නිසාම ගොඩක් ගෙවල්වල රබන් තිබුණා.  මොනයම්ම හෝ උත්සවයක් තියෙනවා නම් ගමේ තියෙන සේරම රබන් ටික එතනට එකතු වෙනවා.  හැමෝම රබන් ගහන්න සහභාගී නොවුනට ඒ දිහා බලන් ඉදලා සතුටක් ලබන්නත් ගම්බද ජනතාව පුරුදු වෙලා හිටියා.  මොකද කියනවා නම් රබන් ගහන්නෙත් තරගයට වගේ නිසා.  හැබැයි මේ වැඩේට අකමැති උදවිය හිතුවේ මේකත් එක්තරා විදියක කන්දොස්කිරියාවක් කියලයි.  ඉතින් අද කාලේ වගේම තමයි එදත් මේ වැඩේට අකමැති අය දොස් කිවුවා.  ඇද පලුදු හෙව්වා.

 ඔන්න එදත් අන්දරේව හොයාගෙන ආවේ ඒ විදියේ කෙනෙක් තමයි.  ඇත්තටම එයාට වුවමනා වෙලා තිබුනේ  මොන ක්‍රමේකින් හරි ගමේ සිද්ධවෙන මේ රබන් ගැහිල්ල නවත්වන්නයි.  සමහර යකැදුරු මහත්තුරු ගාව ඔය රබන් පලන මන්තර එහෙමත් තිබුණයි කියනවනේ.  ඒ කාරණාව මේ කෙනාත් දැනගෙන හිටියා.

ආගිය තොරතුරු කතා කරමින් හිටිය මේ පුද්ගලයා අන්දරේට තමන් ආපු කාරණාව කිවුවා. 

“උන්නැහේ මම ඔබව හොයාගෙන ආවේ ලොකු උපකාරයක් බලාපොරොත්තුවෙනුයි.  මේ අපේ ගමේ හැම ඕනෑ එපාකමකටම රබන් ගැහිලක් පටන් ගෙන තියනවානේ.  මේක මේ කාලයක් තිස්සේ තියෙන කරදරයක්.  මට දැන් මේ වැඩේ තිත්ත වෙලයි තියෙන්නේ.  උන්නැහේට කියන්න මේ කාරණාව හින්දම මට දැන් ගමත් එපා වෙලා.  කොහෙද අපේ ගෙදර උන්දැත් මෙව්වට ඈදෙන්න යනවනේ.  ඒකනේ වැඩේ කියන්නේ.  හැබෑටම අන්දරේ ඔය රබන් පලන මන්තර එහෙමත් තියෙනවා නේද?  මුන්නැහේට පුළුවන් නේද මට රබන් පලන මන්තරයක් කියා දෙන්න.  අනේ පිං සිද්ද වෙනවා අප්පුහාමි....

මේ කතාව අහලා අන්රේට හරිම හිනා!!!!!

“මං ළග නම් එහෙම මන්තරයක් නැහැ උන්නැහේ.....අන්දරේ කිවුවා.

ඒත් මේ මනුස්සයා ඒක පිළිගන්න කැමති වුනේම නැහැ.  කොතරම් කිවුවත් තව තවත් පෙරැත්ත කරන්න පටන් ගත්තා.

“නැහැ ඒක වෙන්න පුළුවන් වෙදයක් නෙවෙයි.  මෙච්චර දක්ෂ කෙනෙක් වෙලත් තමුන් ගාව එහෙම මන්තරයක් නැතෙයි කියන එක මං කොහොම පිළිගන්නද?  අනේ මට අනුකම්පා කරන්න!!! මං ඔබට හොදට සලකන්නම්.

ඔන්න ඉතිං ටික වෙලාවක් අන්දරේ කල්පනා කලා.  දැන් මේ මනුස්සයාගෙන් ගැලවීමකුත් නැහැනේ.  රබන් පලන්න මන්තරයක් කියා දෙනකන් යන්නෙත් නැහැනේ.  දැන් අන්දරේටත් මේ මනුස්සයා කරදරයක් වෙලා.  ඇත්තටම අන්දරේ මෙහෙම දෙයක් දැනගෙන හිටියෙත් නැහැ.  අන්තිමේදි කල්පනා කරලා මෙහෙම කිවුවා.

“ඔය තරම්ම කන්නලව් කරන නිසා මන්තරයක් කියා නොදි යවන එකත් හරි මදිනේ.  මුලින්ම ගිහින් හොදට මුවහත තියෙන උල් පිහියක් අරගෙන එන්නකෝ.....

අන්දරේගෙ කටින් ඒ වචන පිටවෙනවාත් එක්කම බොහෝම සතුටට පත්වුන මේ පුද්ගලයා පිහියක් ගෙනැවිත් අන්දරේට දුන්නා.  ඉතිං මන්තරේ මතුරන්න අවශ්‍ය කළමනාත් එකතු කරගෙන දුං එහෙම අල්ලලා පිහිය හදුන් වතුරෙනුත් හෝදලා පිහිය ගෙට ගෙනිහින් ටික වෙලාවක් ඉදලා මන්තරේ මතුරපු විදියට එළියට ආවා.  ඉන්පස්සේ පිහියත් ගෙනිහින් කල යුතු දේ විස්තර කලා.

“තමුන්නැහේ මේ තරම්ම පෙරැත්ත කළ නිසයි මම මේ වැඩේ කරලා දෙන්නේ.  නැත්නම් කීයක් දෙනවා කිවුවත් කරන්නේ නැහැයි කියලා හිතාගෙන තමයි හිටියේ. දැන් ඉතින් ඔක්කොම හරි.  මේ පිහිය අරන් ගිහින් ගෑණු එකතු වෙලා රබන් ගහන කොට ඔය පිහියෙන් රබාන මැදට දෑත බදලා අනින්න......

අනේ ඉතිං බොහෝම සතුටට පත්වුන අර මනුස්සයා අන්දරේට තෑගි බෝගත් දීලා බොහෝ සෙයින් ස්තුති කරලා පිටවෙලා ගියා.  තමන්ගේ ගමට ගිය මේ මිනිහා උත්සව අවස්ථාවක ගැහැණු රබන් ගහන තැනට ගිහින් අන්දරේ මතුරපු පිහියෙන් රබන් පලන්නට උත්සාහ කලා.  අන්තිමේදී ඔහු ගුටි නොකා බේරුනේ අනූනවයෙන් බව අන්දරේට ටික කලකට පසුව දැනගන්නට ලැබුනා.

Friday, October 21, 2011

අහුරු කුක්කා

අන්දරේ ගැන පුංචි ඔයාලට මම කලිනුත් කියලා තියෙනවානේ. අන්දරේ කියන්නේ රජ වාසල කවටයාටනේ. ඔන්න එක දවසක් රජතුමා තමන්ගේ ඇමතිවරුත් පිරිවරාගෙන ටිකක් විනෝද වෙන්නත් කියලා හිතාගෙන ඇවිදින්න ගියා.  ඒ යන එන අතරතුරේදි තමන්ගේ රටවැසියන්ගේ සුව දුක් සොයා බලන්නත් රජතුමා අමතක කලේ නැහැ.  මෙහෙම යන ගමන් බිමන් වලදි අන්දරේවත් එකතු කර ගන්න රජතුමා හැම වෙලාවෙම උනන්දු වුනා. මොකද දන්නවද අන්දරේ ඉන්න තැන කිසිම පාලුවක් දැනෙන්නේ නැහැනේ. හිනාවෙන් විහිලුවෙන්ම කාලය ගත වෙනවා තේරෙන්නෙ නැහැ .


ඔන්න එදාත් වෙනදා වගේම බොහෝම විනෝදයෙන් ගමන් කරන කොට රජතුමා දැක්කා තමන් ගමන් කරන පාර හරහා කුඩා සතෙක් යනවා. ඌ හරියට සර්පයෙක් වගේ.  හැබැයි රජතුමා ඉක්මනින්ම මේ සතා කවුද කියල හදුනගත්තා. ඌ හරිම අහිංසක සතෙක්.  මේ සතාව ඒ කාලේ කවුරුත් හැදින්වුයේ “මං බල්ලා... කියන නමින්.


සතාව දැක්ක රජතුමාට ඒ එක්කම ඔළුවට අදහසක් ආවා. රජතුමාට හිතනා අන්දරේට පුංචි විහිළුවක් කරන්න.  රජතුමා ඇමතිවරු එක්ක හෙමිහිට සාකච්ජා කරලා මෙහෙම ඇහුවා.
“අන්දරේ කියමුකෝ බලන්න මේ සතා මොකාද කියලා.


“සතාව දුටු අන්දරේ මේ යන්නේ මං බල්ලා බව අදුන ගත්තා. ඒත් රජුට උවමනා කරන්නේ තමන්ගේ කටින් “මං බල්ලා කියන වචනය කියවා ගන්න බව  අන්දරේ තේරුම් ගත්තා.


සතාව හොදින් පරික්ෂා කර බැලූ අන්දරේ


“දේවයන් වහන්ස, මේ සතාට අපි නම් කියන්නේ අහුරුකුක්කා කියලයි....කිව්වා.


එදා ඉදන් තමයි “මං බල්ලා.... කියන සතාට අහුරු කුක්කා කියන නම ලැබුනේ. හොදයි නේද අන්දරේ තැනට ඔබින විදියට තමන්ගේ නුවණ පාවිච්චි කල විදිය.

Tuesday, September 27, 2011

තිත්තයන් මැල්ලුමයි - කුරක්කන් පිට්ටුයි

අන්දරේ ඉතිං මුඵ දවස පුරාම ඉන්නේ රජ වාසලේනේ. ඒ හින්දාම රජවාසල අන්දරේට අමුතු තැනක් නෙමෙයි.  අනෙක් අතට බලනකොට රජ වාසලේ ඇත්තන්ට අන්දරේ කියන්නේ අමුතු පුද්ගලයෙකුත් නෙමෙයි. නිතර දකින කෙනා නේ.  අන්දරේ එක්ක කතා බහ කරන්න විහිළුවක් කියන්න, ඒ විතරක් නෙමෙයි ඕනෑම රහසක් කියන්නත් රජ වාසලේ කිසිම කෙනෙක් බය උනේම නැහැ.

ඔන්න ඉතිං එක දවසක් රජ බිසව අන්දරේට කතා කලා.  හොදට වටපිට බලලා කවුරුත් නැති බව තහවුරු කරගත්තා.

“අන්දරේ....මම උඹට එන්න කිවුවේ රහසක් කියන්නයි...හැබැයි මේ වගක් කාටවත් කියන්නෙ එහෙම නැහැ.  මේ කතාව රජතුමාවත් දන්නේ නැහැ. දන්නේ අපි දෙන්නා විතරමයි... බිසව එහෙම කිවුවා.

“හොදයි බිසවුන් වහන්ස, මම සියලුම රහස් රකින්නම්.  මා හට පවසනු මැනවි.  කියලා අන්දරේ රජ බිසවට කිවුවා.

“මට ආසයි අන්දරේ කුරක්කන් පිට්ටුත් එක්ක තිත්තයන් මැල්ලුමක් කන්න.  උඹට පුළුවන්නේ ඇඹේනියට කියලා මට ටිකක් හදවලා දෙන්න.  අග බිසව ඇහුවා.

“අපොයි ඕක සුළු දෙයක්නේ.  මම හදවලා ගෙනැත් දෙන්නම්....අන්දරේ කිව්වා.

රජවාසලින් එළියට ආපු අන්දරේ ගමේ තිබුණ හැම ගෙදරකටම ගියා.  

“අපේ රජ්ජුරුවන් වහන්සේගේ බිසවුන් වහන්සේට කුරක්කන් පිට්ටුයි, තිත්තයන් මැල්ලුමකුයි කන්න ආස හිතිලා.  තම තමන්ට හැකි ආකාරයට කුරක්කන් පිට්ටුයි, තිත්තයන් මැල්ලුමකුයි හදාගෙන කද බැදගෙන හෙට දවල්ට ආවොත් හොදයි.....අන්දරේ හැමෝටම පණිවුඩේ කිවුවා.  ආයේ ඉතිං රජ නියෝගයක් කිසිම කෙනෙක් කඩන්නේ නැහැනේ.  ඇයි ඉතිං රාජ උදහසට ලක්වෙනවා නොවැ.  කොයිතරම්ම වැඩ තිබුනත් පහුවදා ඒ හැමදේම පැත්තකට දාලා කුරක්කන් පිට්ටුයි, තිත්තයන් මැල්ලුමයි හදන්න ගත්තා.

ඉතිං ඔන්න එදා රජ තුමායි දේවියයි සදලු තලේ කතා බහ කරමින් ඉන්නකොට රජමාලිගාවේ ප්‍රධාන දොරටුව පැත්තෙන් ලොකු ගාලගෝට්ටියක හඩක් ඇහුනා.  බැලින්නම් විශාල පිරිසක් දොරටුව ලග රැස් වෙලා ඉන්නවා.  හැම කෙනාගෙම කරේ බරට බරේ දන් කදක්.  දන් කදවල් තියාගත්තු මිනිස්සු වැල නොකැඩි රජවාසල පැත්තට එනවා.  

රජ්ජුරුවන්ට හරිම පුදුමයි මේ වැඩේට. මේ තරම් පුද පඩුරු අරන් එන්න තරම් කාරණාවක් ගැන රජතුමා කල්පනා කලා. එහෙම හේතුවක් එතුමාට නිකමටවත් මතක් වෙන්නේම නැහැ.  රජතුමා සේවකයෙකු යැවුවා විස්තර දැනගෙන එන්න කියලා.  ටික වෙලාවකින් රජු ලගට පැමිණි සේවකයා නමස්කාර කරලා මේ විදියට කිවුවා.

“අවසර දේවයන් වහන්ස, බිසවුන් වහන්සේට කන්න ආසයි කී කුරක්කන්  පිට්ටුයි, තිත්තයන් මැල්ලුමයි කද බැදගෙනයි මිනිස්සු ඇවිත් තියෙන්නේ.....

රජු ලග හිටපු බිසව ලැජ්ජාවෙන් මුහුණ රතු කරගත්තා.  බිසවගෙන් විස්තර දැනගත් රජතුමා මේකත් මේ අන්දරේගේ විහිළුවක්ම බව තේරුම් ගත්තා. එතුමාටත් හොදටම හිනා වෙච්ච වැඩේට.

Monday, September 26, 2011

ගොනා වගේ...

අන්දරේ ගැන පුංචි ඈයෝ කවුරුත් අහලා තියෙනවානේ.  ඔන්න ඉතිං එදා අන්දරේගේ ගෙදර බොහෝම වැඩ අධික වුන දවසක්.  මොකද දන්නවද අන්දරේට අක්කා කෙනෙක් ඉන්නවානේ. මේ අක්කව එක්කගෙන යන්න මනමාලයෙක් එනවා.  ඒ හින්දයි මේ තරම් කලබල.
හිරු එළිය වැටෙන්නටත් කලින් අවදිවුන අන්දරේගේ ගෙදර ඈයෝ බොහෝම කලබලයෙන් එහාට දුවනවා. මෙහාට දුවනවා. ඒ තරමටම වැඩ. හැමෝම එක එක වැඩ වල යෙදිලා හිටියේ. සමහරු බඩු මුට්ටු පිහදානවා, තවත් අය ගෙමිදුල පිරිසිදු කරනවා, 

මේ හැම කාරණාවකටම වඩා වැදගත් දේ තමා කුස්සිය පැත්ත. අහල පහල ගෙවල්වල නැන්දලා අක්කලා නංගිලා ඇවිත් උදව්වට. කුස්සිය පිරිලා.  හැමෝම කම්මැලි කමක් නැතිව බොහෝම කඩිසරව වැඩ ටික කරගෙන යනවා.  මේ අයගෙන් සමහරක් රෑ හරි නින්දකුත් නැතිවම වැඩ කරනවා.  

අන්දරේ තාම ඉතිං පුංචි කොලු ගැටයෙක්නේ .  එයාට මේ වෙන දේවල් ගැන හරිම පුදුමයි.  මොකද ඉතිං වෙනදට මේ තරම් කලබලයක් දකින්න ලැබෙන්නේ නැහැනේ. අන්දරේ හෙමින් හෙමින් ගියා කුස්සිය පැත්තට.  අන්දරේව දැකපු ගමන්ම අම්මා පුතා ලගට දුවගෙන ආවා.  

“පේනවා නේද පුතේ? අද ගෙදරට අමුත්තෝ එනවනේ.  ඉතිං වෙනදා වගේ හිතුවක්කාර වැඩ කරන්න හිතන්න වත් එපා හරිද ? අනික තමයි ගෙදරට එන අයට විහිළු කරන්න හෙම යනවා නෙමෙයි.  තේරුණාද???? එහෙම වුනොත් අපටමනේ ලැජ්ජාව.  උඹ උඹේ පාඩුවේ ගොනා වගේ හිටපන් මයේ පුතේ හරිද????
අම්මා එහෙම පුතාට කියලා දුන්නා.

අන්දරෙත් හොදයි අම්මා මම අම්මා කියපු විදියටම ඉන්නම්කෝ.....කියලා ඔහු කිව්වා.  

ටිකක් දහවල් වේගන එනකොට ඔන්න ලස්සන පාට පාට ඇදුම් අදගත්තු නෑදෑයින්ගෙන් ගෙදර පිරිලා.  තවත් ටික වෙලාවක් යනකොට මනමාලයාගේ නෑදෑයිනුත් ආවා.  මගුල් ගෙදරට ආපු හැමදෙනාටම ආයුබෝවන් කියලා එයාලට රස කැවිලි වලින් සංග්‍රහ කරන්න පටන් ගත්තා.  

ටිකක් වෙලා යනකොට මගුල් ගෙදර එක පැත්තකින් මහා කලබලයක් ඇහෙන්න වුනා.  එක පාරටම මේස පුටු පෙරලෙන හඩක් ඇහුනා.  මගුල් මඩුවේ පැත්තක් ගැලවුනා.  

ඕං ඕං අල්ලපල්ලා. ලනුවක් ගෙනෙල්ලා බදින්න ඔන්න ඔය විදියට කියමින් මගුල් ගෙදර අය කෑගහන්න පටන් ගත්තා.  මේ සද්දේ ඇහුන අන්දරේගේ අම්මා දුවගෙන ආවා.

“අපොයි දෙයියනේ මේ මොකද මේ..මේ අපේ අන්දරේ නේ...අම්මාට හයියෙන්ම කියවුනා.

මොකද දන්නවද වෙලා තියෙන්නේ. අන්දරේ ගොනෙක් කුලප්පු වෙලා දගලනවා වගේ තප්පුලන්නයි, මිනිසුන්ට අනින්නයි පටන් ගත්තා.  මනමාලයාගේ පැත්තේ උදවිය හිතුවේ අන්දරේට පිස්සු හැදිලා කියලයි.  

“මොනවද දරුවෝ උඹට වෙලා තියෙන්නේ.  අන්දරේගේ අම්මා බොහෝම කේන්තියෙන් ඇහුවා.  
“අම්මනේ මට ගොනා වගේ ඉන්න කිවුවේ.  ඉතිං මං මේ ඒ විදියට තමා ඉන්නේ. අන්දරේ කාරණාව පැහැදිලි කරලා දුන්නා.  

මොනවයින් මොනවා වුනත් කාරණාව දැනගත් කවුරුත් හිනාව නවත්ත ගත්තේ නම් බොහෝම අමාරුවෙන්. 
 

Sunday, September 18, 2011

අන්දරේ සීනි කෑ වගයි

ඔන්න ඉතිං ඉස්සර කාලේ හිටපු කවටයෙක්නේ අන්දරේ කියන්නේ.  එයා තමයි රජ වාසල කවටයා. රජතුමාගේ හිතට කරදර වුන වෙලාවට ඒ දුක දුරුවෙන්න කියලා විහිළුවක් කරලා කවියක් කියන එක අන්දරේගේ රාජකාරියේ කොටසක්.  

ඉතිං ඔන්න දවසක් අන්දරේ  රජවාසලට ගිහින් රජතුමාට වැදලා පසෙකට වෙලා හිටියා.  රජතුමා වෙනදා වගේ අන්දරේ එක්ක සතුටු සාමීචියේ යෙදෙන්න පටන් ගත්තා.  රජගෙදර මිදුලේ මුරුසි රටෙන් ගෙනාපු සීනි ගොඩක් තිබුණා.  ඒක දැකපු අන්දරේ “දේවයන් වහන්ස, අර සුදු පාට මොනවාදැයි ඇසුවා.  රජතුමා කිවුවා “ආාාා ඒ රට පස් නොවැ.....කියලා...

ඉතිං අන්දරේ පහුවෙනිදා රාජ සභාවට එනකොට පුතාට කිව්වා “ මම රජසභාවට ගිහින් රජ්ජුරුවෝ එක්ක කතා කර කර ඉන්නකොට උඹ අඩාගෙන වරෙන්. ඇවිත් ආච්චි මැරුණයි කියලා මට කියාපන්.  ඉන්පස්සේ කරන්න ඕනෑ දේ මම කියන්නම්. පුතා ඉතිං ඔන්න පියා කියපු දේ ඒ විදියටම පිළිගත්තා.

පහුවෙනිදා අන්දරේ පුරුදු විදියට රජතුමා එක්ක සතුටු සාමීචි කතා බහක යෙදුනා.  ඈත ඉදන්ම පුතා අන්දරේ හිටි තැනට ආවේ අඩාගෙන.  මේ දර්ශනයෙන් රජතුමාගෙ හිතෙත් කුතුහලයක් ඇති වුනා.  
“මොකද පුතා අඩන්නේ? 
“අනේ තාත්තේ...තාත්තේ...ආච්චි මළා
“අනේ පුතේ , ඉතිං අපි ඉදලා ඕන්නෑ...උන්දෑ නැතිව. වරෙන් පුතේ වරෙන්. මේ රටපස් වත් කාලා මැරෙන්න. කියලා අන්දරේ පුතා එක්ක සීනි ගොඩ තිබූ තැනට ගිහින් පෙරළි පෙරළි සීනි කන්න වුණා.
රටපස් කා මිය යන බව කියමින් සීනි කන පිය පුතු දෙදෙනාගේ ප්‍රයෝගය තේරුම් ගත් රජතුමාටද සිනා පහළ වුනා. අන්දරේ ඇසූ පැනයට තමා දුන් පිළිතුරෙන් ඔහු ප්‍රයෝජන ගන්නා ආකාරය රජතුමාට පෙනී ගියා.  ඒත් රජතුමාට දැන් කරන්න දෙයක් නැහැ. අන්දරේගේ ප්‍රයෝගයට රජතුමා අසුවුනා. ඉතිං කාලයත් එක්ක මේ කතාව පදනම් කරගෙන අන්දරේ සීනි කෑවා වගෙයි කියලා පිරුළකුත් එකතු වුනා.

Thursday, August 25, 2011

ගොරකා මුලේ කතාව




රජ ගෙදර මුළුතැන්ගෙයි එදා ගොරකා ඉවර වෙලා. ඉතින් ගොරකා ඉවර වුනාම
හැමදාම රජ බිසව කරන්නේ ගමේ කවුරු හෝ ගෙන්නගෙන ගොරකා
මුලක් ගෙන්වා ගැනීමයි. ඔන්න ඉතිං බිසව ඒ වැඩේ පවරන්න කෙනෙක්
ගැන සිතමින් ඉන්න කොට අන්දරේ මාලිගාවේ මුළුතැන්ගේ
පැත්තට ආවා. ඉතිං අන්දරේට කතා කරපු බිසව
“අන්දරේ මට උදව්වක් ඕනෑ....කියලා කිව්වා.
“කියන්න බිසවුන් වහන්ස, ඕනෑ දෙයක් කියන්ට....අපි නිතරම බැදී සිටින්නේ
ඔබතුමියට හා රජතුමාට සේවය කිරීමටයි....අන්දරේ කිවුවා.
“එහෙනම් අන්දරේ මට ගොරකා මුලක් ගෙනැත් දෙන්න...බිසව කිව්වා.

අන්දරේ ඒ එක්කම රජවාසලින් පිටත් වුණේ බිසවුන් වහන්සේගේ ඉල්ලීම ගැන සිතමින්.  
අන්දරේගේ ඉඩමට කිට්ටුව ඉඩමේ ලොකු ගොරකා ගහක් තිබුණා.
හැබැයි මේ ගොරකා ගහ අන්දරේට පුදුම කරදරයක් වෙලයි තිබුණේ.
ඇයි ඉතින් ගහේ අතු ඔක්කෝම අන්දරේගේ වත්තට පාත්වෙලා.
මේ ගහේ කොළ සේරම අන්දරේගේ වත්තේ.
ඒත් අනුන්ගේ ඉඩමක ගහ තිබුණ නිසා
ගහේ අතු කපන්නත් බැහැනේ.
ඉතින්....මේ අවස්ථාව අන්දරේගේ අදහස ඉටු කරගන්න 
හොදම වෙලාව.  අන්දරේ කෙලින්ම ගියේ 
ගහේ අයිතිකාරයාගේ ගෙදරට.
“ගෙදර කවුරුත් නැද්දෝ......??????
ආ....ලොකු උන්නැහේ මම ආවේ රජ ගෙදර ඉදන් රාජ ආඥාවක් අරගෙන.
වහාම මේ ගොරකා ගහ කපලා ඒකේ මුල රජ ගෙදරට අරගෙන එන්න කියලා රාජ ආඥාවක්
නිකුත් කරලා තියෙනවා.....අන්දරේ කිව්වා.
රාජ ආඥාවකට පිටුපෑම මරණය පවා අත්වන්නට පුළුවන් කාරණාවක්.  ඒ හින්දම ගොරකා ගහේ අයිතිකාරයා තවත් දහපහලොස් දෙනෙක් එකතු කරගෙන ගොරකා ගහ කපලා ගැලෙව්වා.  
එයින් මුල වෙන්කරගන්ත කට්ටිය  මුලත් කරතියාගෙන රජ ගෙදරට ගියා.  
අන්දරේ තමයි ඉස්සරහින්ම ගියේ.
විශාල ගොරකා මුලක් මිදුලේ තබනු දුටු රජතුමා..
“මොකද අන්දරේ මේ.......??කියාලා පුදුම වුණා.
“කුමන කාරණාවකට ගේන්න කිව්වද කියලා මම නම් දන්නේ නැහැ දේවයන් වහන්ස.
ඔබ වහන්සේගේ අග බිසවුන් වහන්සේ තමයි මට ගොරකා මුලක් 
ගේන්න කියලා කිව්වේ. අන්දරේ කිව්වා.  
බිසවුන් වහන්සේගෙන් කාරණාව විමසූ රජතුමාට හොදටම හිනා.
බිසවට මේකට ටිකක් කේන්ති ගියත් ඇය අන්දරේගේ තරම
දන්නා නිසා මොනවත් කියන්නට ගියේ නැහැ.