සුවද කැකුළු

Tuesday, July 31, 2012

කඩිසර යාළුවෝ


 කූඹි කැලේ යාළුවෝ දවසක් පේළියට ගමනක් යන්න පිටත් වුනා.  එයාලට ඇහෙන්න ගත්තා වෙනදා වගේම මී මැස්සන් ගැන මිනිසුන් කරන වර්ණනා.  එයාලගේ කඩිසර කම, එකමුතු කම, වගේම දක්ෂකම් ගැනත් මිනිසුන් කතා වෙනවා ඇහුනා.  මේක එයාලට අමුතු දෙයක් වුනේ නැහැ.  නමුත් කූඹි ටික කල්පනා කලා මිනිසුන් ඇයි හැම වෙලාවෙම මී මැස්සන් ගැන මේ විදියට වර්ණනා කරන්නේ කියලා.

ඉතින් එයාලා හිතුවා අපිත් මී මැස්සෝ වගේම දක්ෂයි.  ඒවගේම එකමුතුයි.  කඩිසරයි.  ඒ වුනාට මිනිස්සු ඇයි අපි ගැන මොනවත් නොකියන්නේ.  මේ ගැන කරුණු ටිකක් හොයලා බලන්න ඕනේ.  මෙතන මොකක් නමුත් රහසක් තියෙනවා මයි.  කූඹින් කල්පනා කලා.  ඉතින් එයාලා තීරණය කලා මී මැස්සෝ මුණගැහිලා මේ ගැන අහලා බලන්න.  කවුද අකමැති තමන් ගැනත් අනිත් අය හොද කතා වෙනවා අහන්න නේද?

ඉතින් එයාලා මී මැස්සෝ ඉන්න තැනක් හොයාගෙන ගියා.

“අපි ආවේ ඔයාලත් එක්ක ටිකක් කතා කරන්නයි.  කියලා ඔන්න කූඹි යාළුවෝ ටික මී මැසි යාළුවන්ට කිවුවා......ඒත් මී මැසි යාළුවන්ට කතා කර කර ඉන්නත් වෙලාවක් නැති තරම්.  ඒ තරම්ම එයාලා කඩිසරයි.  එහාට යනවා.  මෙහාට යනවා.  වැඩ ගොඩයි. 

ඒත් තමන්ව හොයාගෙන ආව කෙනෙක්ව නිකම්ම ආපහු යවන එක හොද නැහැනේ.  ඉතින් මී මැසි යාළුවෝ මේ කූඹි යාළුවන්ගෙන් ඇහුවා මොකක්ද ප්‍රශ්නේ කියලා..

“ඔයාලගේ එකතුමු කම ගැන, කඩිසර කම ගැන, මිනිස්සු නිතර නිතර කතා වෙනවා.  ඒ වගේම ඔයාලා නිෂ්පාදනය කරන මී පැණි ගැනත් කතා වෙනවා.  ඒවා මිනිස්සු බොහෝම අගේ කරනවා.  නමුත් ඇත්තම කිවුවොත්, අපිත් ඔයාලා වගේම දක්ෂයි.  ඒවගේම කඩිසරයි.   අපිත් පුංචි වුනාට පොඩ්ඩක් වත් කම්මැලි නැහැ.  ඒවගේම එකමුතුවෙන් තමයි වැඩ කරන්නේ.  අපි ගමනක් ගියත් යන්නේ පේළියට.  අපේ වැඩ වලත් පිළිවෙලක් තියෙනවා.  කියලා කූඹි යාළුවෝ කිවුවා.

“ඉතින් ‍්ඕකද ප්‍රශ්ණය? කවුද යාළුවේ කියන්නේ ඔයාලා දක්ෂයෝ නෙමෙයි කියලා.  එකතුමු නැහැයි කියලා.  ඔයාලත් අපි වගේම තමයි.  කම්මැලි නැහැ.  කඩිසරයි.  මී මැස්සෝ කිවුවා.

“ ඒත් ඉතිං අපි ගැන කවුරුත් කතා වෙන්නේ නැහැනේ.  අපිව මිනිස්සු වර්ණනා කරන්නේ නැහැනේ.  ඇයි එහෙම වෙන්නේ.  කූඹි මී මැස්සන් ගෙන් ඇහුවා.

“ඒක තමයි යාළුවේ....අපෙයි ඔයාලගෙයි තියෙන වෙනස?  ටිකක් හිතලා බලන්න.  ඔයාලා වැඩ කරන්නේ ඔයාලගේ යහපත වෙනුවෙන්මයි.  ඒත් අපි වැඩ කරන්නේ අනුන් වෙනුවෙන්.  අපේ මී පැණි බෙහෙත් වලටත් වෙනත් ප්‍රෙයා්ජනවත් දේ සදහාත් යොදාගන්නවා.  ඒත් නුඹලා නිෂ්පාදනය කරන්නේ නැහැනේ.  දැන් කූඹි යාළුවන්ට තේරුනාද කියලා මී මැසි යාළුවෝ ඇහුවා.  ඉතින් කරුණ හොදින් තේරුම් ගත් කූඹි යාළුවෝ යන්න ගියා.