සුවද කැකුළු

Friday, September 4, 2015

ජන කවි ගැන



පාසැල් යන දුවා දරුවන්ටත් ප්‍රයෝජනවත් කියලා හිතෙන නිසා ජනකවිය ගැන පුංචි තොරතුරු ටිකක් එක්ක වරින් වර ජනකවි ටිකක් ලියන්න හිතුවා එතකොට මගේ මතකයත් අළුත් වෙනවානේ.

ඉස්සර කාලේ මිනිස්සු තම තමන්ගේ එදිනෙදා වැඩකටයුතු කර ගන්නා අතරතුරේ දී තමන්ගේ පාලුව කාන්සිය මකා ගන්නට කවියක් ගොතන්නට පුරුදු වෙලා හිටියා.  ඒවා ඔවුන් කරපු විවිධ කාර්යයන් එක්කම බැදී තිබුන නිසා වර්ග කිරීමකට ලක්වු බවයි පෙනෙන්නේ.  

අපේ සිංහල ජන කවි අතර සමහර කවි පුස්කොල වල ලියැවී තිබුණා.  ඒවා ඉතින් පැදි රාශියකින් සමන්විත වෙනවා.  වෙස්සන්තර ජාතක කවි පොත, කිදුරු නැටුමේ කවි, සොකරි කවි පොත , යශෝදරා වත ඉන් කිහිපයක්.  තවත්  සමහර ජනකවි මුඛ පරම්පරාවෙන් පැවත එනවා.  අපි දන්නා පරිදි පතල් කවි. පාරු කවි, පැල් කවි, කරත්ත කවි, නෙළුම් කවි ආදී වශයෙන් ඒවා නම් කරලා තියෙනවා.  මේවා පුස්කොළ පොත් වල ලියැවී ඇති පද්‍ය නොවේ.   

සමහර ජනකවි හුදකලා ස්වරූපයක් ගන්නා බවත් සදහන් වෙනවා.  ඒවා හුගක් වෙලාවට තනි පද්‍යයක් ලෙස හෝ පැදි දෙකක් වශයෙන් පැවතෙනවා.  එහෙමත් නැත්නම් ප්‍රශ්ණ කිරීමක් හා පිළිතුරු දීමක් ලෙසත් පෙනෙනවා.  ඒවාට උදාහරන විදියට  නෙළුම් කවි, කුරක්කන් කවි, පතල් කවි, පාරු කවි  සදහන් කරන්නට පුළුවන්.  තවත් තියෙනවා ඇහැලේ පොළ හටන, පුරාණ තුන් සරණය, හිමගත වර්ණනාව වගේ පොත්පත්.  ඒවා සිංහල ගැමි ජනතාව අතර දැනට වඩා අපේ වැඩිහිටියන් අතර පරිශීලනය වුන බවක් පෙනෙන්නට තියෙනවා. 

ඒ වගේම තේරවිලි කවි, යන්ත්‍ර මන්ත්‍ර වගේ මිනිසුන් විශ්වාස කළ දේවල්, වන්දනා මාන කිරීම සදහා යොදා ගත් කවි, ඔන්චිලි වාරම්, ඔළිද කෙළිය, මේවර කෙළිය රබන් පද, කමත් කවි, කෝලම් කවි, කෙළි සෙල්ලම් , නයි නැටවීම්, සවුදම් වන්නම්, මේ වාගේ තවත් අපි දන්න නොදන්න බොහෝ සංකීර්ණ විවිධ ජන කවි වර්ග ගැමියන් අතර තියෙනවා.  මේ විවිධ කවි රැගෙන බලන කොට අපිට පේන්න තියෙන්නේ ගැමියන්ගේ සිතුම් පැතුම් ජනකවි අතර සිට නිරන්තරයෙන්ම අපට බලපෑම් කරන බවයි. 

පාරු කවි

මාතර ගගේ ඉන්නා කිඹුලිගේ                  පැටියා
තල්ල සුදුයි බෙල්ලේ ගෝමර                  කැටියා
යන එන ඔරු පාරු නවතා ගෙන               සිටියා
මිනී නොකයි මාතර කිඹුලිගේ                  පැටියා

කන්දේ කකා ලන්දේ යන                        බෝසත්තු
අතමිනි බැද පය මිනි බැද ජය                          ගත්තු
රාජ සබෙන් හොද කරුණා ලැබ                      ගත්තු
වලවේ ගගට බැස්සයි ගෝමර                         ඇත්තු

සූරිය උදාවන තුරු පිනි                                බෑවිල්ල
පාරුව පදින තුරු සයුරේ                          සෙලවිල්ල
මාරුව බල බලා හිත යට                           කැරකිල්ල
කාරිය කෙරෙන තුරු කාගෙත්                    රැවටිල්ල

මොටද උපන්නේ මේ වේලිච්ච                     රටේ
බැදපු ගල් බැම්ම මයියංගනේ                       වටේ
ඔරුවට නැගීලා සුරතට රැගෙන                     රිටේ
පාරු පදින හැටි බල වේර ගං                    තොටේ

සීරුවේ ගමන් ඇවිදින්                             පාරුවට
මාරුවේ හබල් අදිමින් විටින්                           විට
පූරුවේ කරපු අකුසල්                          ගෙවන්නට
පාරුවේ ඇවිත් දුක් විදිනව                           දැනට

No comments:

Post a Comment