සුවද කැකුළු

Showing posts with label ජන කවි. Show all posts
Showing posts with label ජන කවි. Show all posts

Thursday, September 10, 2015

බඹර කවි




බැද්ද වටට සුදු මොර මල්                          පිපීලා
සද්ද කර බඹරු ඒ වග                              වයාලා
ඉටිත් පැණිත් ලොව සැමටම                   බෙදාලා
යන්නත් බඔරු දුක් මැසිවිලි                     කියාලා


අහසේ ගොසින්  තරු යට සැගවුනා           දෝ
පොළවේ ගොසින් වැලි යට සැගවුණා       දෝ
මුහුදේ ගොසින් රළ යට සැගවුණා            දෝ
බඹරිදුනේ උඹ කොයි රට ගියා                 දෝ


නව නවා බඹර අතු අග යන                       කලට
නැමී නැමී කදින් බර විය අතු                      අගට
වදේ කඩාලා බැරිවුනි                           බාන්නට
මුලෙන් කද බිදුනි දෙන්නගෙ                කරුමයට


උල්ලා පොළ ගමට එන්නේ වස               බඹරු
වෙනත් ගම්වලට එන්නේ හොද                බඹරු
මලකද බලන්නට එන්නේ රදළ                  වරු
අම්මගෙ හිතේ දුක් නළවන්නේ                කවුරු


කන්දෙන් බසින්නේ ළිය ගෙදර බල          බලා
මන්දෙන් බදින්නේ අසු නොවන වල්        කුලා
දැන් දැන් ලියන්නේ සිත්තම දුරින්              දුරා
යන්නෙමි මල්ලියේ සදගල වැටෙන           තුරා

Tuesday, September 8, 2015

කරත්ත කවි




තණ්ඩලේ දෙන්න දෙපොළේ                              දක්කනවා
කටුකැලේ ගාලෙ නොලිහා වද                                 දෙනවා
හපුතලේ කන්ද දැකලා බඩ                                        දනවා
පව්කළ ගොනෝ ඇදපන් හපුතල්                             යනවා

කළුගල් තළාලයි පාරට                                        දමන්නේ
එම ගල් පෑගිලයි ගොන්කුර                           ගෙවෙන්නේ
ගොනා නොවෙයි හරකයි බර                            අදින්නේ
කිරිගල්පොත්ත කන්දයි අපි                              නගින්නේ

ආරන්නේ පදුර වටකර දළු                                          ලන්ට
පීරන්නේ වරල තෙල් ගා ඔප                                    වෙන්ට
මෝරන්නේ හදේ කළුවර වැඩි                                   වන්ට
තේරෙන්නේ නැද්ද මේ දුක                                දෙවියන්ට

රෝද දෙකට තෙල් දාපිය                                     කැරකෙන්ට
ගොනාගේ අගට කොපු දාපිය                                  බබළන්ට
ගොනුගෙ කරට මිණි බැදපිය                                  නදදෙන්ට
කෝටුව අරන් එළවාපිය ගොනු                                    යන්ට

එගොඩ ගොඩේ සපු කණුවේ බැන්ද                      ගොනා
මෙගොඩ ගොඩේ නා කණුවේ බැන්ද                    ගොනා
දෙගොඩ තලා යන වතුරට පැන්න                         ගොනා
අපොයි මගේ රන් මුතු වල්ලියා                            ගොනා

කුරක්කන් කවි




දුරුතු මහේ දී කැලයට                                 වැදීලා
මසක් පමණ කල් කැලවල්                      කොටාලා
මැදින් දිනේ දී වල් ගිනි                               තබාලා
කුරහන් ඉදිමුද කළුවර                                බලාලා

රන්වන් එරන්වන් කුරහන් පැසෙන                       රගේ
මල්වල් රුවට කිරි කුරහන් පෙනෙන                     රගේ
සෙල්ලම් සිතින් ලොකු ලොකු ගෙඩි කරන            රගේ
සෙල්ලම් නොකර පලයව් ගිරවුනේ                       මගේ

හේනේ පැලේ මා විදිනා                               සුරුක්කන්
ඌරෝ ඇවිත් වට පිට කරති                              සක්මන්
වැටටත් උඩින් උන් අල්ලන                           මලක්කන්
අපොයි මගේ කිරි වදිනා                               කුරක්කන්

කුරක්කන් තුනයි වැපිරුවෙ                            අමාරුවේ
කපන්ටත් බැරුව අතපය                                   රුදාවේ
අරින්ටත් බැරුව ලොව ගම                              සිනාවේ
කපමු නෑනෙ ඉපනැල්ලේ                                සුබාවේ

කරක්කන් කපයි අඔරයි අපේ                               එකී
හැළිය මුවාවට ඉදගෙන බෙදන                             එකී
තලප ටික කන්ට හොදි ටික නොදෙන                   එකී
ඊයේ පලද්දැයි මා ළග උන්න                                එකී

පතල් කවි




දුම්බර කන්ද පාමුල මිනිරන්                     පතලේ
බැසලා බඹ තිහක් කඵගල සිදුරු                  කළේ
බස්නාහිරට දෝනා දෙක ගමන්                   කළේ
විස්තර කියමි දුම්බර මිණිරන්                   පතලේ

මී වදේ ලෙසට ඉල්ලම                     සොයාගෙන
එම වදේ ලෙසට කටු පණ                     තියාගෙන
ආයුදේ ලෙසට ඉල්ලම් කටු                      රැගෙන
මේ සදේ පතල්වල ඉල්ලම්                        කපන

කරවනැල්ල ඉස්ටේසම ටිකට්                    දෙන
රුවන්වැල්ල කන්තෝරුව ලියුම්               දෙන
කොටියා කුඹුර ඉස්ටෝරුව බඩු                කිරන
මා බෝගල පතලයි අපි වැඩ                    කරන

බඹර කරකවා අත්දෙක                   වෙව්ලනවා
නිතර ඇවිත් ලෝඩර දත් මිටි                 කනවා
වතුර ඇදල අත්වල කරගැට                    එනවා
මිතුර පතල් වැඩ ගැන මගෙ බඩ               දනවා

මිනිරන් පතල හරියට අපේ ගෙදර             වගේ
බත් දෙන කෝකියා හරියට මවුන්             වගේ
ලියන අප්පු පවුලට ලොකු අයිය               වගේ
ලොඩර ගොල්ල හරියට අමු සොහොන     වගේ