සුවද කැකුළු

Showing posts with label වන අරණක කුඩා නිවස. Show all posts
Showing posts with label වන අරණක කුඩා නිවස. Show all posts

Sunday, March 11, 2012

6 පරිච්ජේදය


ලොකු වලස්සු දෙදෙනා

වසන්ත කාළය ලංවෙමින් ඇති බව එක් දිනෙක අප්පච්චී කීවේය.  මහ කැලයේ හිම දිය වෙමින් තිබේ.  ගස්වල අතු මත රැදුණු හිම කැට බිමට වැටී දිය වී යන හිම ගොඩැලි මත කුඩා සිදුරු සාදයි. මධ්‍යාහ්නයේදී කුඩා නිවසේ පියසි පුරා ඇති විශාල හිම කූරු සියල්ල හිරු එළිය වැදී ලෙළදෙන්නටත්, කාන්ති විහිදුවන්නටත් වෙයි.  ඒවායේ කෙළවර කුඩා වතුර බිංදු එල්ලෙමින් තිබෙනු පෙනේ.

තමා මුළු සීත කාලය පුරාම උගුල් අටවා අල්ලාගත් කැලෑ සතුන් ගේ සම් විකිණීම සදහා නගරයට යා යුතු බව අප්පච්චී කීවේය.  ඉතින් එක් සැන්දෑවක ඔහු සම් එක්කොට විශාල මිටියක් බැන්දේය.  එහි කොතරම් සම් ප්‍රමාණයක් තිබුණේද යත් ඒවා එක්කොට එක මිටියක් වන්නට කිටි කිටියේ ගැටගැසූ විට එය අප්පච්චී තරමටම විසාල විය.

එක් දවසක හිමිදිඑියේම සම් මිටිය උරහිසේ එල්ලාගත් අප්පච්චී, පයින් ම නගරයට යන්නට පිටත් වූයේය.  ගෙන යන්නට විශාල සම් ප්‍රමාණයක් ඇති බැවින් ඔහු තුවක්කුව ගෙන ගියේ නැත.

අම්මා මේ පිළිබද ව කනස්සල්ලට පත් වූවාය.  එහෙත් ඉර නැගෙන්නට පෙර පිටත්වී මුළු දවස පුරාම හැකි තරම් වේගයෙන් නගරයට ගියොත් අදුර වැටෙන්නට පෙර ආපිට නිවසට ආ හැකි බව අප්පච්චී කිවේය.

ළගම ඇති නගරය පිහිටා තිබෙන්නේ බොහෝ දුරිනි.  ලෝරා හා මේරී කවදාකවත් නගරය දැක නැත.  කවදාකවත් වෙළෙද සැලක් දැක නැත.  නිවෙස් දෙකක් එකට පිහිටා ඇති අයුරුවත් දැක නැත.  එහෙත් නගරයක බොහෝ ගෙවල් ඇති බවත්, රස කැවිලි, රෙදි පිළි හා තවත් අපූරු දේවල් වෙඩි බේත්, මූනිස්සම්, ලුණු හා ගබඩා සීනි ආදී තවත් බොහෝ දේ පිරුණු වෙළෙද සැලක් තිබෙන බවත් ඔවුහු දැන සිටියහ. 

අප්පච්චී වෙළෙන්දාට සම් විකුණා නගරයෙන් ලස්සන ලස්සන දේ ගෙන එන බව දන්නා ඔවුහු, ඔහු ඒ තෑගිත් රැගෙන එන තුරු මුළු දවස පුරාම බලා සිටියහ.  ඉර ගස් මුදුන් අතරින් බැස ගියේය.  හිම කූරු අග රැදුනු වතුර බිදු පොළොවට වැටීම නැවතිණි.  ඔවුහු නො ඉවසිල්ලෙන් අප්පච්චී එන පෙරමග බලා සිටින්නට වූහ.

ඉර දෑමට පෙනන මානයෙන් අතුරුදන්ව ගියේය.  වනය අන්ධකාරයේ ගිලිණි.  ඔහු තවමත් ආවේ නැත.  අම්මා රෑ කෑම පිස මේසය සූදානම් කළාය.  එහෙත් ඔහු තවම නැත.  එය ඉස්තාලයේ වැඩපළ කිරීමට වේලාවයි.  එහෙත් ඔහු තවමත් නැත.

එළදෙන ගෙන් කිරි දෙවීම සදහා ලෝරාට තමා සමග යන්නට එන්නැයි අම්මා කීවාය.  ඈ කිරි දොවන තුරු ලෝරා ලන්තෑරුම අල්ලාගෙන සිටිය යුතුය.

ඉතින් ලෝරා සිය කබාය හැදගත් අතර අම්මා එහි බොත්තම් පියවූවාය.  ඊළගට අම්මා ලන්තෑරුම දන්වන තුරු ලෝරා ඇගේ ගෙල වටා ඇති රතු කැටි නූල් පටියෙන් එල්ලෙන රතු අත් මේස් දමා ගත්තාය.

අම්මාට කිරි දෙවීම සදහා සහාය වන්නට ලැබීම ලෝරා තුළ මහත් ආඩම්බරයක් ඇති කලේය.  ඇය ඉතා පරිස්සමට ලන්තෑරුම අල්ලාගෙන සිටියාය.  බෙලෙක් තහඩුවලින් සාදා ඇති ලන්තෑරුමේ තැන තැන ඉටිපන්දම් එළිය පිටතට විහිදීම සදහා සිදුරු කපා ඇත.

ලෝරා අම්මා පිටුපසින් අඩි පාර දිගේ ගව මඩුවට යන විට ඈ අත ඇති ලන්තෑරුමේ ඉටිපන්දම් එළිය කුඩා තීරු ලෙස හිම තලාව පුරා පැතිරිණි.  තවමත් හොදටම කළුවර වැටී නැත.  කැලෑව පුරා අන්දකාරය පැතිරී තිබුණද හිමෙන් වැසුණු අඩි පාර මත මලානික එළියක් වැටී තිබුණි.  අහසේ පාණ්ඩු පැහැති තාරුකා කිහිපයක් බැබලෙයි.  ඒ තරු ලන්තෑරුමෙන් විහිදෙන සිහින් ආලෝකය තරම් උණුසුම් හා දීප්තිමත් නැත.

සුකී නම් දුඹුරු පැහැති එළදෙන ගේ හැඩයේ අදුරු ජායාවක් ගව මඩුවේ දොරකඩ සිටගෙන සිටිනු දුටු ලෝරා මවිත වූවාය.  අම්මා ද එයින් පුදුම වී සිටියාය.

මේ වසන්ත කාලයේ සුකීට තණකොළ කෑම සදහා මහ කැළයට යාමට තවම කල් වැඩිය.  ඇය ගව මඩුවේ ජීවත් වූවාය.  එහෙත් ඉදහිටෙක උණුසුම් දිනවල අප්පච්චී ඇගේ ගාලේ දොර හැර තබයි.  එවිට ඈට ගව මඩුවේ මිදුලට යා හැකිය.  දැන් ඈ මඩුවේ ඉනි වැට අසලට වී ඔවුන් එන තෙක් බලා සිටිනු අම්මා හා ලෝරා දුටුවාය.

අම්මා ගේට්ටුව අසලට ගොස් එය අරිනු පිණිස පිටුපසට තල්ලු කළාය.  එහෙත් සුකී එය අවුරාගෙන සිටි බැවින් එය සම්පූර්ණයෙන්ම ඇරුණේ නැත.  අම්මා මෙසේ කීවාය.

“සුකී යනවා එහාට!!! ඇය ගේට්ටුවට උඩින් අත දිගු කොට සුකී ගේ උරහිසට පහරක් ගැසුවාය.

ඒ මොහොතේම, ලන්තෑරුමෙන් නැගී ඒ මේ අත නටන සිහින් ආලෝක කිරණක් ගේට්ටුවේ ඉනි අතරින් ඇතුළට විහිදී ගියේය.  එවිට ලෝරා ගේ දෑසට හසු වූයේ දිගු දළ කළු ලොම් හා දිලිසෙන කුඩා ඇස් දෙකකි.

සුකීට ඇත්තේ සිහින්, කෙටි දුඹුරු පැහැ ලොම්ය.  ඇගේ දෑස් විශාලය. කරුණාවන්තය.

අම්මා, “ලෝරා ආපහු ගෙදර යන්න....යි කීවාය.

ඉතින් ආපසු හැරුණු ලෝරා නිවස දෙසට යන්නට වූවාය.  අම්මා ඈ පිටුපසින් ආවාය.  මද දුරක් ඇවිද ගිය පසු අම්මා ලෝරා ඔසවාගෙන ලන්තෑරුමත් අතින් ගෙන දුවන්නට වූවාය.  ඈ සමග ගෙතුළට ගිය අම්මා දොර වැසුවාය.

“අම්මේ ඒ වලහෙක්ද?  යි ලෝරා ඇසුවේ ඉන්පසුවය.
“ඔව් ලෝරා, අම්මා කීවාය.  ඒ වලහෙක් තමයි!!! ලෝරා ඇගේ එල්ලී හඩන්නට වූවාය.  ඇය අම්මා ගේ ඇගේ එල්ලී,  අනේ ඌ සුකීව කයිද?  යි අසමින් ඉකිබින්දාය.

නෑ...අම්මා ඈව වැළදගෙන කීවාය.  සුකී ඉන්නේ මඩුවෙනේ.  ඒ හන්දා ඌට කරදරයක් වෙන්නේ නෑ.  හිතන්න ලෝරා මඩුවේ බිත්ති හදලා තියෙන ලී කොච්චර ලොකුද, හයියද කියලා.  දොරත් හරි බරයි.  හයියයි.  වලස්සුන්ට ඒකෙන් ඇතුළට යන්න බෑ.  ඉතිං මේ වලහට බෑ නෙව ඇතුළට ගිහිං සුකීව කන්න.
ලෝරාට මද සැනසුමක් දැනිනි.  ඒත් ඌට අපිව කන්න තිබුණනේ???ඇය ඇසුවාය.

ඌ අපිව කෑවේ නෑනේ අම්මා පිළිතුරු දුන්නාය.  ඔයා හොද ළමයෙක්නේ ලෝරා.  මං කියන විදියට ම වැඩ කරනවා.  මොනවා හරි කිවුවම ප්‍රශ්ණ අහන්නේ නැතිව ටක් ගාලා ඒක කරනවා......

අම්මා වෙවුලමින් සිටි නමුත් මද සිනා පාන්නට වූවාය.  “හිතන්නකෝ“ ඇය කීවාය.  “මං වලහෙකුට පාරක් ගැහුවා නෙව...!!

අනතුරුව ඇය ලෝරාට හා මේරීට රෑ කෑම බෙදා මේසයෙන් තැබුවාය.  අප්පච්චී තවමත් ඇවිත් තිබුණේ නැත.  ඔහු ආවේ නැත.  නිදන ඇදුම් ඇදගත් ලෝරා හා මේරී යාච්ඤා කොට මිටි ඇදේ උණුසුමට ගුළි ගැසුණහ.

අම්මා ලාම්පු එළියෙන් අප්පච්චී ගේ කමිස එළලන්නට වූවාය.  අප්පච්චී නැති නිවස සීතලෙන් නිහඩ බවින් හා නුහුරු බවකින් පිරී ඇතුවාක් මෙනි.  

ලෝරා මහ කැලෑවෙන් හමා එන සුළගට සවන් දුන්නාය.  අන්ධකාරය හා සීතල මැද අතරමං වූවාක් මෙන් සුළග හඩහඩා මුළු නිවස වටා කැරකැවෙයි.  සුළගේ රාවය බියකරුය. 

අම්මා කමිසය මසා අවසන් කලාය.  ඈ එය ඉතා හෙමිහිට පරිස්සමින් නවනු ලෝරා දුටුවාය.  අම්මා එහි රැලි නැති වන සේ අතින් පිරිමැද්දාය.  අනතුරුව ඇය මින් පෙර නොකළ දෙයක් කළාය.  දොර අසලට ගිය ඇය දොරේ සම් දොර අගුළ දැම්මාය.  දැන් ඈ දොර අගුළ හැරියේ නම් මිසක අන් කිසිවෙකුට ඇතුලට ඒමට නොහැකිය.  අනතුරුව ඇය විශාල ඇදේ මෘදු ලෙස නිදන කේරී ව ඔසවාගත්තාය.
ලෝරා හා මේරී තවමත් ඇහැරී සිටිනු දුටු ඇය ඔවුන්ට මෙසේ කීවාය.  “ නිදාගන්න දරුවනේ බයවෙන්න එපා.  අප්පච්චී උදේ වෙද්දී ගෙදර ඉදියි.

ඉන් පසු යළිත් සිය පැද්දෙන පුටුවට ගිය ඇය, එහි හිදගෙන කුඩා කේරී දෑතේ හොවාගෙන හෙමිහිට පුටුව පද්දන්නට වූවාය. 

ඈ අප්පච්චී එනතුරු එහි වාඩිවී සිටි අතර ඔහු එනතුරු නොනිදා ඉන්නට ලෝරාට හා මේරීට ද ඕනෑ විය.  එහෙත් අන්තිමේදී ඔවුනට නින්ද ගියේය.

උදෑසන අප්පච්චී නිවසේ සිටිනු දක්නා ලදී.  ඔහු ලෝරාට හා මේරීට රස කැවිලි ද ගවුම් මැසීම සදහා ලස්සන කපු රෙදි කැබැලි දෙකක්ද ගෙනැවිත් තිබුණේය.  මේරී ගේ ගවුම් රෙද්ද සුදු පසුබිමක නිල් පැහැති මෝස්තරයක් ඇති එකක් වූ අතර ලෝරා ගේ ගවුම් රෙද්ද රන්වන් පැහැතිත් වැටුනු තද රතු එකක් විය.

අම්මාටද ගවුමක් මැසීමට කපු රෙද්දක් ලැබී තිබුණි.  එය දුඹුරු පසුබිමක විශාල සුදු පැහැ පිහාටු වැනි මෝස්තරයක් විසිරුණු එකක් විය. 

ඔවුන්ට මේ තරම් ලස්සන තෑගි ගෙන එන්නට තරම් අප්පච්චී ට ඔහු ගෙන ගිය සම්වලට හොද වටිනාකමක් ලැබීම ගැන සියලු දෙනාම සතුටු වූහ. 

මුළු ගව මඩුව වටාම විශාල වලසාගේ අඩි සලකුණු තිබූ අතර, උගේ නිය පහරවල් බිත්ති මත ඇදී තිබිණි.  එහෙත් සුකී සහ අශ්වයෝ කිසිදු අනතුරක් නොලබා සුරක්ෂිතව සිටියහ. 

ඒ දවස පුරාම ඉර පායා තිබිණි.  හිම දියවී ගියේය.  මොහොතින් මොහොත සිහින් වන හිම කූරුවලින් කුඩා දිය පාරවල් කඩා හැළුණේය.  ඒ සැන්දෑවේ හිරු බැස යන්නට පෙර වලසාගේ අඩි සලකුණු මෘදු, තෙතැති හිම තලාම මත හැඩයක් නැති සලකුණක් බවට පත්ව තිබෙනු දැක ගත හැකි විය. 

රාත්‍රි ආහාරයෙන් පසු ලෝරාව හා මේරීව සිය දණහිස මත හිදුවාගත් අප්පච්චී ඔවුන්ට අලුත් කතාන්දරයක් කීමට ඇති බව කීවේය.

අප්පච්චීට හමුවූ වලසාගේ කතාන්දරය

ඊයේ මං හම් අරගෙන නගරෙට යද්දී ඇවිදින්න බැරි තරමට හිම දියවෙලා.  ඒ හන්දා මට නගරෙට යන්න හුගක් පරක්කු වුනා.  අනෙක් මිනිස්සු ඒගොල්ලන් ගේ හම් විකුණාගන්න වේලපහින් ඇවිල්ලා තිබුණා.  එදා කඩේ මුදලාලිට හරියට වැඩ.  ඉතින් එයා මගේ හම් බලනකම් පැත්තකට වෙලා ඉන්න මට සිද්ද වුනා.

ඊළගට අපි එක එක හමට ගෙවන වටිනාකම කතා කරලා එහෙම ඉවර වෙලා මං ගෙදර ගේන්න ඕන බඩු තෝරන්න ගත්තා.  ඉතින් ගෙදර එන්න පාරට බහිද්දී ඉර බහින්නත් ළගයි.

“මං පය ඉක්මන් කරලා ගෙදර එන්න පටන්ගත්තා.  ඒත් ඉතින් හිමේ ඇවිදින්න හරිම අමාරුයි.  මට හොදටම මහන්සිත් එක්ක.  ඉතින් රෑ වෙන්න කලියෙන් හුගක් දුර ඇවිදින්න මට බැරි වුනා.  මගේ අතේ තුවක්කුවක් නෑ.  මං විතරක් මහ කැලෑවේ තනියෙන්.

තව හැතැම්ම හයක් විතර ඇවිදින්න තියෙනවා.  ඉතින් මං පුළුවන් තරම් ඉක්මනින් ඇවිද්දා. ටිකෙන් ටික කළුවර වැටුණා.  සීත කාලේ ගෙවිලා ගිහින් හින්දා සමහර වලස්සු උන් ගෙ ගුහාවලින් එළියට එනවා නෙව.  ඉතින් මගේ අතේ තුවක්කුව නැති එක ගැන මං හරියට දුක් වුණා.  උදේ නගරෙට යද්දී මං දැක්කා උන් ගේ අඩි පාරවල්.

මේ කාලේ වලස්සු ඉන්නේ හරිම බඩගින්නෙන්.  ඒ වගේම උන්ට හරියට තරහා යනවා.  ඔයගොල්ලො දන්නවනේ උන් මුළු සීත කාලේම කන්න කිසි දෙයක් නැතුව ගුහාවලට වෙලා නිදාගෙන ඉන්නවා කියලා.  ඉතින් උන් ඇහැරුණාට පස්සේ උන්ට හොදටම බඩගිනියි.  ඒ වගේම උන් කෙට්ටුත් වෙලයි ඉන්නේ.  ඉතින් උන්ට ඇහැ ගැහෙන්නේ නැතිව එන්නයි මට ඕන වුනේ.

මං කළුවරේම පුළුවන් තරම් ඉක්මනට ඇවිද්දා.  ටික වෙලාවකින් පුංචි තරු එළියක් වැටුණා.  ඒත් ගන සැරේට කැලෑව වැවුණු තැන් තාර වගේ කළුයි.  ඒ වුනාට එළිමහන් තැන් යාන්තමට පෙනුනා.  ටිකක් ඈතින් තියෙන හිමෙන් වැහුණු පාර මට යාන්තමට පෙනුනා.  අන්ධකාර කැලෑව මාව හැම පැත්තෙන්ම වට කරගෙන ඉන්නවා මට පෙනුනා.  මට පොඩි එළියක් දෙන තරු තියෙන එළිමහන් තැනකට එන්න ලැබුණම මං හරියට සංතෝස වුණා.

හැම තිස්සෙම මං මට පුළුවන් තරමින් වලස්සු ගැන හෝදිසියෙනුයි හිටියේ.  උන් පදුරු අස්සෙන් ගානක් නැතිව එහා මෙහා යන කොට සද්දේ ඇහෙයිද කියලා මං ඇහුම් කන් දුන්නා. 

ඊළගට මං ආයෙත් එළිමහන් තැනකට ආවා.  එතන මං යන පාර මැද්දේ මං දැක්කා ලොකු කළු පාට වලහෙක් ඉන්නවා.

ඌ පස්සා කකුල් වලින් හිටගෙන මා දිහා බලාගෙන ඉන්නවා.  මං දැක්කා උගේ ඇස් දිළිසෙනවා.  මට උගේ ඌරු හොම්බ පෙනුනා.  තරු එළියෙන් උගේ නියපොතුත් මට පෙනුනා.  මගේ හිසේ කෙස් කෙලින් වුනා.  මං පාරේ එහෙමම නැවතිලා සද්දයක් බද්දයක් නැතුව හිටියා.  වලහා හෙල්ලුණේවත් නෑ.  ඌ එතැන ම හිටගෙන මගේ දිහා බලාගෙන ඉන්නවා.

ඌ වටෙන් යන එක හොද වැඩක් නෙවෙයි කියලා මට හිතුනා.  එතකොට ඌට මට වඩා හොදට පේනවා.  සීත කාලේ හාමතින් හිටිය වලහෙක් එක්ක සටන් කරන්න මට බෑ.  අපොයි! මට මගේ තුවක්කුව මතක් වුනා.
ගෙදර එන්න නම් මං වලහව පහුකරන්නම ඕන.  මං හිතුවා ඌව බය කෙරුවොත් ඌ පාරෙන් අයින් වෙලා මට යන්න ඉඩ දෙයි කියාලා.  ඉතින් මං දිග හුස්මක් අරන් එක පාරටම මට පුළුවන් හයියෙන් කෑ ගාගෙන අත් වන වනා ඌ ඉස්සරහට ගියා. 
මේ සතා හෙලවුනේවත් නැහැ.

හැබැයි මං‘ ඌ ළගටම දුවලා තිබුනේ නැහැ.  හරිද???? මං නැවතිලා ඌ දිහා බැලුවා.  ඌත් මා දිහා බලා ඉන්නවා.  ඊළගට මං ආයෙමත් කෑගෑවා.  මෙන්න මු තාමත් එතන.  මං දිගටම අත් වනවනා කෑගෑවා.  ඒත් ඌ අගලක්වත් හෙල්ලුනේ නැහැ.

දැන් ඉතින් දුවන එකත් නුවණක්කාර වැඩක් නෙවෙයි.  කැලෑවේ තවත් වලස්සු ඉන්නවා.  ආයේ කොයි වෙලාවේ හරි මට තව එකෙක් හම්බ වෙයි.  මේ වලහට වගේ ඌටත් බය වෙලා ඉන්න වෙයි.  අනෙක මං ඔයගොල්ලොයි අම්මයි ළගට එන්න ඕන නෙව.

කැලේ මාව බය කරන හැම දේකින්සම ගැලවුනේ නැත්නම් මට කවදාවත් ගෙදර එන්න වෙන්නේ නැහැ.
ඉතින් මං අන්තිමේදී වටපිට බැලුවා.  මං දැක්කා හොද ලොකු දණ්ඩක්.  ඒක සීත කාලේ හිම වල බරට ගහකින් කඩා වැටුණු හොද හයිය එකක්.  



මං ඒක අතට අරගෙන වලහා දිහාට දිවුවා.  ඊළගට පුළුවන් තරම් දහිරිය දාලා දණ්ඩ උස්සලා ඩෝං ගාලා උගේ ඔළුවට දුන්නා පාරක්.

ඒත් ඌ එහෙමම ඉන්නවා.  බැලින්නම් ඌ වලහෙක් නෙවෙයි ලොකු කළු පාට පිච්චුණු කොටයක්!!!!

උදේ නගරෙට යද්දී මං ඒක පහුකරලයි ගියේ.  ඌ වලහෙක් නෙවෙයි.  මං හිතුවෙහ ඌ වලහෙක් කියලයි.  ඇයි මං හිත හිතා ගියේ වලහෙක් කඩා පැන්නොත් මොකද කරන්නේ කියලනේ. 

ඇත්තටම ඒ වලහෙක් නෙවෙයිද?  මේරි ඇසුවාය.

නෑ මේරී ඒ වලහෙක් නෙවෙයි.  මං මහ කැලෑවේ ඉදගෙන කෑගගා, අත වනවන නටනටා බය කරන්න හදලා තියෙන්නේ කොටයක්නේ.
ලෝරා මෙසේ කීවාය.  අපි නම් දැක්කේ ඇත්ත වලහෙක්.  ඒත් අපි බය වුනේ නෑ.  අපි හිතුවේ ඌ සුකී කියලා.  අප්පච්චී කිසිවක් නොකියා ඈව තදින් සිප ගත්තා.

ඕ...ඕ....ඒ වලහා තව චුට්ටෙන් අපි දෙන්නව කනවා.  ලෝරා ඔහුට තවත් තුරුලු වෙමින් කීවාය.  ඒත් අම්මා ඌ ලගට ගිහින් ඌට පාරක් ගැහුවා.  ඒත් ඌ මුකුත් කෙරුවේ නැහැනේ.  ඇයි ඌ අපිට මුකුත් කෙරුවේ නැත්තේ?

මං හිතන්නේ ලෝරා ඌට කරන්නේ මොනවද කියලා හිතාගන්න බැරි වෙන්න ඇති.  අප්පච්චී කීවේය.  ලන්තෑරුම් එළිය දැක්කම ඌ බය වෙන්න ඇති මගේ හිතේ .  ඒත් අම්මා ඌ ළගට ගිහින් ඌට පාරක් ගැහුවා නෙව.  එතකොට ඌ දැනගන්න ඇති අම්මා බය නෑ කියලා....

“ඉතිං අප්පච්චිත් බය නෑ.  ලෝරා කීවාය.  ඒක කොටයක් වුණත් අප්පච්චි හිතුවේ වලහෙක් කියලනේ.  ඌ වලහෙක් වුනත් ඔයා ඌට ගහනවා නේද අප්පච්චී?

“නැතුව....අප්පච්චී කීවේය....මං ගහනවා තමයි.  ඔයා දන්නවා නෙව.  මට ගහන්නම වෙනවා. 
දැන් නිදාගන්න වෙලාව බව අම්මා කීවාය.  ලෝරාට හා මේරීට ඇදුම් මාරු කිරීමට උදවු කළ ඇය, ඔවුන් ගේ රතු ෆ්ලැනල් නිදන ඇදුම්වල බොත්තම් දැමුවාය.  මිටි ඇද අසල දණ ගසාගත් ඔවුහු යාච්ඤා කරන්නට වූහ.

“දැන් මම නින්දට යන්නෙමි.
මාරැක දෙන ලෙස සමිදු යදින්නෙමි
පිබිදෙන්නට පෙර මා මියගියහොත්
මගේ ආත්මය සමිදුට පුද දෙමි

අම්මා ඔවුන් දෙදෙනා සිඹ, රෙදි පෙරවූවාය.  ඔවුහු මද වේලාවක් අම්මාගේ බෙදා පීරන ලද කොණ්ඩය දෙසත්, ලාම්පු එළියෙන් කඩිසර ව ඇදුම් මසන ඇගේ ඇගිලි දෙසත් බලා සිටියහ.  ඉදිකටුව ඇගේ දිදාලයේ වැදී සිහින් ටික් ටික් හඩක් නංවයි.  ඊළගට නූල, අප්පච්චී සම් විකුණා ගෙනැවිත් දුන් ශෝභන කපු රෙද්ද විදගෙන මෘදු ලෙස ඇතුළට ඇදී යයි.
ලෝරා බූට් සපත්තු ඔප දමන අප්පච්චී දෙස බැලුවාය.  ඔහුගේ උඩු රැවුළ හිසකේ හා දුඹුරුවන් දිග යටි රැවුළ ලාම්පු එළියෙන් සේද මෙන් දිළිසෙයි.  ඔහුගේ ජැකට්ටුවේ පැහැයෙන් දීප්තිමත්ය.  සපත්තු ඔප දමන අතරේ ප‍්‍රිතිමත් ලෙස සිවුරුහන් කරන්නට වූ ඔහු මෙසේ ගැයීය.

සියොත් කැල උදෑසන ගී ගයයි
මට්ල් හා අයිවී මල් පිපෙයි
හිමිදිරියේ කදු මතින් හිරු එබෙයි
ඒ මොහොතේ මම ඈව සොහොන් ගෙයි වැළලුවෙමි

ඒ රාත්‍රිය ඉතා උණුසුම් විය.  උදුනේ අගුරු ඉතිරිව ඇති නමුත් අප්පච්චී එය දැල්වූයේ නැත.  මහ වනයේ පිහිටි කුඩා නිවසේ හැම පැත්තකින්ම හිම වැටෙන සිහින් හඩ ඇසිණි.  පියසි මත රැදුනු හිම කූරු දිය වෙවී බිදින් බිද පොළවට වැටෙයි.

තව දින කිහිපයකින් ගස්වල ළපටි දළුලනු ඇත.  එවිට ඒවා ළා රතු පැහැයෙන්, කහ පැහැයෙන් හා ළා කොළ පැහැයෙන් වර්ණවත් වනු ඇත.  කැලෑවේ මල් පිපෙනු ඇත.  කුරුල්ලන් ගී ගයනු ඇත.

එවිට රාත්‍රිෙය් ගිනිමැළය අසල හිදගෙන කතාන්දර අසන්නට ලෝරාට හා මේරීට ඉඩ ලැබෙන්නේ නැත.  එහෙත් මුළු දවස පුරාම ගස් අතර දුව පනිමින් සෙල්ලම් කරන්නට ඔවුනට හැකිය.  මේ උදාවන්නේ වසන්ත කාලයයි.





Monday, February 13, 2012

5 පරිච්ජේදය


ඉරිදා

දැන් සීත සෘතුව දීර්ඝ වූවාක්. මෙනි. නිතරම නිවස තුළට වී කල් ගෙවන්නට වීමෙන් ලෝරා හා මේරී විඩාවට පත් වන්නට වූහ.  විශේෂයෙන්ම ඉරිදා දවසේ දී කාලය ගෙවුණේ ඉතා සෙමිනි.

සෑම ඉරිදාවකම ලෝරා හා මේරී ඔවුන්ගේ හොද ම ඇදුම්වලින් සැරසෙති.  ඔවුන් ගේ හිසකෙස් අලුත් පීත්ත පටි වලින් ගැටගසනු ලැබේ.  සෙනසුරාදා රාත්‍රියේ ස්නානය කරන ලද බැවින් ඔවුන් ඉතාමත් පිරිසිදු ය.

ග්‍රීස්ම සෘතුවේදී ඔවුහු උල්පතෙන් එන ජලයෙන් ස්නානය කළහ.  එහෙත් සීත සෘතුවේදී නාන බේසම පිරිසිදු හිමවලින් පුරවන අප්පච්චී, හිම දිය වී ජලය බවට පත් වනු පිණිස එය උදුන මත තබයි.  ඊළගට උණුසුම් උදුන සමීපයේ තබන ලද පුටු දෙකක් මත බ්ලැන්කෙට්ටුවක් දමා ආවරණය කරල ලද ස්ථානයේ අම්මා ලෝරාව නාවයි.  ඉන් පසු මේරී ව නාවයි. 
මේරීට වඩා කුඩා බැවින් ලෝරා පළමුව නාවනු ලැබුවාය.  නෑවීමෙන් පසු පිරිසිදු නිදන ගවුම අදින බැවින් ලෝරා, චාලට් සමග සෙනසුරාදා රාත්‍රිෙය් කලින් ම නින්දට යා යුතුය. 

නාන බේසම කිලිටි වතුර ඉවත් කරන අප්පච්චී මේරී නාවනු පිණිස නැවත වතාවක් එය හිම වලින් පුරවයි.  මේරී නින්දට ගිය පසු අම්මාත් බ්ලැන්කෙට්ටුවෙන් ආවරණය කර ඇති ස්ථානයට වී ස්නානය කරන්නීය.  ඉන් පසු අප්පච්චී ස්නානය කරයි.  ඉතින් ඉරිදා දිනය සදහා ඔවුහු සියලු දෙනාම හොදින් පිරිසිදු වී සිටිති.

ඉරිදා දවසේ දී ලෝරා හා මේරී සෙල්ලම් කරන විට ඔවුන්ට දිවීම තහනම්ය.  කෑගෑම හෝ ශබ්ද කිරීම තහනම්ය.  මේරීට ඇගේ රෙදි කැබැලි ඇතිරිල්ල මැසිය නොහැකිය.  ඔවුන්ට නිශ්ශබ්ද ව කරදාසි බෝනික්කන් සමග සෙල්ලම් කල හැකිය.  ලෝරාට සිගිති කේරී සදහා අත්මේස් ගෙතිය නොහැකිය.  නමුත් බෝනික්කන් සදහා අලුතින් කිසිවක් සෑදිය නොහැකිය.  රෙදිවලින් බෝනික්කන්ට ඇදුම් මැසීම ඔවුන්ට තහනම් විය.  ඇල්පෙනෙතිවලින් පවා එය කිරීම තහනම් විය. 

අම්මා ඔවුන්ට බයිබල් කතාන්දර හෝ අප්පච්චී ගේ සත්ත්ව ලෝකයේ අසිරිය නම් කොළ පැහැති විශාල පොතෙන් සිංහයන්, කොටින් හා සුදු වලසුන් ගැන කතාන්දර කියා දෙන විට ඔවුන් නිහඩව ඒවාට සවන් දිය යුතුය.  ඔවුන්ට එහි පින්තූර බැලිය හැකිය.  ඔවුන් ගේ රෙදි බෝනික්කන් හෙමිහිට අල්ලාගෙන ඔවුන් සමග කතා කළ හැකිය.  එහෙත් ඒ හැරෙන්නට ඔවුනට කළ හැකි කිසිවක් නොවීය.
ලෝරා කරදාසි කවර සහිත විශාල බයිබලයේ පින්තූර බැලීමට වැඩිපුර ආසා කළාය.  ඒ පින්තූර අතරින් ඇගේ සිත තදින් ඇද බැදගත්තේ, ආදම් සතුන්ට නම් තබන චිත්‍රයයි.

ආදම් ගලක් උඩ වාඩිවී සිටියි.  සියලු ම සිවුපා සත්තු හා කුරුල්ලෝ, ලොකු පොඩි හැම දෙනාම තමා මොන සත්ත්ව වර්ගයාට අයත් දැයි දැනගන්නා තුරු උනන්දුවෙන් ඔහු දෙස බලා සිටිති.  ආදම් වෙතින් ඉතා සුවපහසු පෙනුමක් දිස්වෙයි.  සිය ඇදුම් පිරිසිදුව තබා ගැනීම සදහා කරදර වීමට ඔහුට ඕනෑ නැත.  මන්ද යත් ඔහුට ඇදුම් තිබුනේ නැත.  ඔහු ඇද සිටියේ යටි කය වැසෙන සේ සම් කඩක් පමණි.

“ආදම්ට ඉරිදට අදින්න හොදම ඇදුම් තිබුණද? ලෝරා අම්මාගෙන් ඇසුවාය.

“නෑ නෙව.  අම්මා කීවාය. “අසරණ ආදම්, එයාට අදින්න තිබුණෙ සතෙකුගේ හමක් විතරයි.

ලෝරාට ආදම් ගැන දුක හිතුනේ නැත.  තමාටත් අදින්නට සම් පමණක් තිබුණා නම් යැයි ඇය සිතුවාය.

එක් ඉරිදාවක සන්ධ්‍යා ආහාරයෙන් පසු ඈට තවදුරටත් නිසොල්මන් බලා සිටීමට නො හැකි විය.  ඇය ජැක් සමග සෙල්ලම් කිරීමට පටන් ගත්තාය.  මිනිත්තු කිහිපයකින් ඇය දුවන්නටත්, කෑගාන්නටත් වූවාය.  ඇගේ පුටුවේ වාඩිවී නිහඩව සිටින ලෙස අප්පච්චී ඈට කීවේය.   සිය පුටුවේ වාඩිගත් ලෝරා හඩන්නටත්, පුටුවට පයින් ගසන්නටත් වූවාය.

“මට ඉරිදා පෙන්නන්න බෑ...ඇය කීවාය
අප්පච්චී කියවමින් සිටි පොත පහත දැමුවේය.  “ලෝරා....ඔහු දැඩි හඩකින් කතා කලේය.  “මෙහාට එන්න....

ඇය අසීරුවෙන් මෙන් ඇදි ඇදී ඔහු වෙත ගියාය.  අප්පච්චී තමාගේ පස්සා පැත්තට පහරක් ගසනු ඇතැයි ඇය සිතුවාය.  එහෙත් ඈ අප්පච්චී වෙත ගිය විට අනුකම්පා සහගත ලෙස මොහොතක් ඈ දෙස බලා සිටි අප්පච්චී, ඊළගට ඈව සිය දණහිස මත හිදුවාගෙන තුරුලු කරගත්තේය.  අනෙක් අතින් මේරීව අල්ලාගත් ඔහු මෙසේ කීවේය.

“ඔන්න මං ඔය දෙන්නට සීයගේ පුංචි කාලේ කතන්දරයක් කියන්නයි හදන්නේ....

සීයාගේ හිම යානය හා
ඌරාගේ කතාන්දරය

“ඔයගොල්ලන්ගේ සීයා පුංචි කාලෙදි, ඉරිදා දවස පටන්ගන්තේ දැන් වගේ ඉරිදා උදේට නෙවෙයි.  ඒ කාලේ ඉරිදා උදා වුණේ සෙනසුරාදා හැන්දෑවේ ඉර බැහැගෙන යනවත් එක්කමයි.  එතකොට හැම දෙනාම හැම වැඩක්ම නවත්තන්න ඕන.  සෙල්ලමුත් නවත්තන්න ඕන.

“රෑ කෑම කන වෙලාවට කවුරුත් කතා කලේ නෑ.  කෑමෙන් පස්සේ සීය ගේ තාත්තා බයිබලයෙන් කොටසක් හයියෙන් කියවනවා.  එතකොට හැම දෙනාම තම තමන්ගේ පුටුවල වාඩිවෙලා සද්ද නැතිව අහගෙන ඉන්නවා.  ඊළගට හැම දෙනාම දණ ගහනවා.  සීයගේ තාත්තා දිග යාඥාවක් කියනවා.  එයා “ආමෙන් කිවුවට පස්සේ හැම දෙනාම නැගිටලා ඉටිපන්දමක් අරගෙන නින්දට යනවා.  සෙල්ලම් නොකර, හිනාවක් කතාවක් නැතිව ඒ ගොල්ලන් කෙළින්ම නින්දට යන්න ඕන.

“ඉරිදා උදේට ඒගොල්ල කෑම කෑවේ හීතල වෙච්ච කෑම, මොකද ඉරිදාට ගෙදර මොකවත් උයන්නේ නැති හින්දා.  ඊළගට හැම දෙනාම හොද ඇදුම් ඇදලා පල්ලි යනවා.  ඉරිදට අස්සයෝ බදින්නේ නැහැ.  ඒකත් වැඩක්.  ඉරිදට කිසිම වැඩක් කරන්නේ නෑ නෙව.  ඉතින් ඒගොල්ලෝ පයින් ම තමයි පල්ලියට ගියේ.

“ඒගොල්ලෝ කෙලින්ම ඉස්සරහ බලාගෙන කිසිම සද්දයක් නැතුව හෙමින් හෙමින් ඇවිදින්න ඕන.  විහිළු කරන්න බෑ හිනා වෙන්න බෑ, සීයායි එයාගේ සහෝදරයො දෙන්නයි ඉස්සරහින් යනවා.  ඒ ගොල්ලන්ගේ තාත්තයි, අම්මයි පිටිපස්සෙන් එනවා.

පල්ලියේදී සීයායි සහෝදරයෝ දෙන්නයි පැය දෙකක් තිස්සේ හරියට වාඩිවෙලා පූජාව අහන්න ඕන.  බංකුවල දගලන්න බෑ.  කකුල් පද්දන්න බෑ.  ඔළුව හරව හරව පල්ලියේ ජනේල දිහා, බිත්ති දිහා සිවිලිම දිහා බලන්න තහනම්.

ඒගොල්ල සද්ද බද්ද නැතුව, අතක් පයක් හොලවන්නේ නැතුව වාඩිවෙලා ඉන්න ඕන.  එක තප්පරේකටවත් දේශකතුමාගෙන් ඇස් අහක් කරන්න තහනම්.

“පූජාව ඉවර වුණාට පස්සේ ඒ ගොල්ලෝ හෙමිහිට ගෙදර ආවා.  ඒගොල්ලන්ට පාරෙ එන ගමන් කතා කරන්න පුළුවන්.  හැබැයි හෙමින්, නිකමටවත් හිනා වෙන්න බෑ.  ගෙදර ගිහින් ඒගොල්ලෝ කලින් දා උයපු සීතල දවල් කෑම කෑවා.  ඊළගට මුළු හැන්දෑ වරුවම එක පෙළට බංකුවක වාඩිවෙලා කැතීකීස්මේ (ආගම පාඩම්) පාඩම් කරන්න ඕන.  අන්තිමේදී ඉර බැහැගෙන ගිහින් ඉරිදා දවස ඉවර වෙනකම්ම එහෙම තමයි.

“ඔන්න ඉතිං සීයගේ ගේ තියෙන්නේ උස කන්දක් බැහැගෙන බාගයක් දුර ගියපු තැන.  කන්ද මුදුනේ ඉදන් පල්ලෙහාට වැටුණු පාර ලෙසර ඉස්සරහ දොර ළගින් යනවා.  සීත කාලෙට පල්ලෙහාට ලෙස්සලා යන්න කියාපු තැන එතැන.  ඊයගොල්ලන්ට හිතාගත්තැකි නෙව.

“එක සතියක සීයයි එයාගේ සහෝදරයො දෙන්න ජේම්සුයි, ජෝර්ජුයි එකතු වෙලා අලුත් හිම යානයක් හැදුවා.  සෙල්ලම් කරන වෙලාවට ඒගොල්ලෝ කෙරුවේ ඒක හදපු එක තමයි.  ඒක ඒගොල්ලෝ හදපු හොදම හිම යානේ.  ඒක කොච්චර දිගද කිවුවොත් එක්කෙනා පිටිපස්සේ එක්කෙනා ගානේ තුන්දෙනාටම වාඩිවෙන්න පුළුවන්.  ඒක හදලා ඉවර කරලා සෙනසුරාදා හවස කන්ද පමහළට පදින්න තමයි ඒගොල්ලෝ හිතාගෙන හිටියේ.  හැම සෙනසුරාදා දවසකම ඒ ගොල්ලන්ට සෙල්ලම් කරන්න පැය දෙක තුනක් තිබුණා.

“ඒත් ඒ සතියේ ඒ ගොල්ලන් ගේ තාත්තා ගස් කපන්න මහ කැලේට ගියා.  එයා හුගක් මහන්සි වෙලා වැඩ කෙරුවා.  ඉතින් පුතාලවත් ඒ වැඩේට එකතු කරගත්තා.  ඒ ගොල්ලෝ උදේට කරන්න තියෙන ඉස්තාලේ වැඩපළ සේරම ලාම්පු එළියෙන් කරලා උදේම කැලේටය ගියා.  ඉර පායනකොටත් ඒගොල්ලෝ කැලේට ගිහින් බරටම වැඩ කෙරුවා.  මේ විදියට රෑ වෙනකම්ම වැඩ කෙරුවා.  ඊළගට ඉස්තාලේ වැඩපළ කරන්න තිබුණා.  රෑ කෑමෙන් පස්සේ ඒ ගොල්ලෝ නිදාගන්න යන්න ඕන.  මොකෝ පහුවෙනි දා උදෙන්ම නැගිටින්න ඕන නොවැ.

 සෙනසුරාදා හවස් වෙනකම්ම හිම යානෙ වැඩ කරගන්න ඒගොල්ලන්ට බැරි වුණා.  ඒගොල්ලෝ පුළුවන් තරම් දහිරිය දාලා යානේ හැදුවා.  ඒත් සෙනසුරාදා ඉර බහින්න කලින් ඒක ඉවර කරගන්න බැරි වුනා. 

ඉර බැස්සට පස්සේ කන්දේ හිම යානේ පදින්න ඒගොල්ලන්ට බැහැ.  එකපාරක්වත් බැහැ.  එතකොට සබත ( ඉරිදා දිනයේ කතෝලිකයන්ගේ ආගමික චාරිත්‍ර) කඩ කලා වෙනවා.  ඉතින් ඒගොල්ලෝ හිම යානේ ගේ පිටිපස්සේ මඩුවේ දැම්මා.  ඉරිදා පහුවෙලා එළියට ගන්න හිතාගෙන.

පහුවෙනිදා පල්ලියේ පූජාවට ගිහින් ඒගොල්ලෝ කකුල් පද්දන්නේ නැතුව දේශකතුමා දිහා ම බලාගෙන හිතුවේ මොකක් ගැන ද කියලා දන්නවද, හිම යානේ ගැන.  ගෙදරදී දවල් කෑම කන වෙලාවෙදි ඒගොල්ලන්ට වෙන දෙයක් කල්පනා වුනේ නැහැ.  කෑමෙන් පස්සේ ඒගොල්ලන් ගේ තාත්තා බයිබලේ කියවන්න වාඩිවුනා.  සීයයි, ජේම්සුයි, ජෝර්ජුයි, මීයෝ වගේ නිස්සද්ද ව තමන් ගේ බංකුවේ වාඩිවෙලා කැතිකීස්මේ කියෙවුවා.  හැබැයි ඒගොල්ලන් ගේ හිතේ තිබුණේ හිම යානේ ගැන.

ඉර අහසේ බොහොම දීප්තිමත්ව බැබළෙනවා.  සිනිදු හිම දිළිසෙනවා. ඒගොල්ලන්ට ඒවා ජනේලෙන් පේනවා.  ඒක හිම යානෙ පදින්න කියාපු දවස.  ඒගොල්ලෝ කැතිකීස්මේ දිහා බලාගෙන, අලුත් හිම යානේ ගැන කල්පනා කෙරුවා.  මේ ඉරිදා නං ඉවර වෙන ඉරිදාවක් නෙවෙයි.

හුග වෙලාවකට පස්සේ ඒගොල්ලන්ට ගොරවන සද්දයක් ඇහුණා.  බලනකොට තාත්තා හොදටම නිදි.  එයාගේ ඔළුව පුටු ඇන්දට බර කරගෙන එයා ගොරව ගොරව නිදි.

ජේම්ස්, ජෝර්ජ්, දිහා බලලා බංකුවෙන් නැගිටලා ඇගිලිවලින් රහසින් ඇවිදගෙන කාමරේ පිටිපස්සේ දොරෙන් එළියට ගියා.  සීයා දිහා බලලා ජෝර්ජුත් හෙමිහිට අඩි තිය තියා ජේම්ස් පස්සේ ගියා.  අන්තිමේදී සීයත් බයෙන් බයෙන් තාත්තා දිහා බලබලා අර දෙන්නා පස්සෙන් මිදුලට ගියා.

ඒගොල්ලෝ ඉක්මනට අලුත් හිම යානේ එළියට අරගෙන කන්ද මුදුනට ගියා.  එක පාරක්වත් හිම යානේ පදින්නයි ඒගොල්ලන්ට ඕන වුනේ.  එහෙම කරලා, තාත්තා ඇහැරෙන්න කලියෙන් හිම යානෙ පැත්තකට දාලා ආයෙමත් බංකුවෙ වාඩිවෙලා කැතිකීස්මෙ පාඩම් කරන්න පුළුවන් කියලා ඒගොල්ලො හිතුවා.

ජේම්ස් හිම යානෙ ඉස්සරහින් වාඩිවුනා.  ඊළගට ජෝර්ජ්, ඊළගට සීයා.  මොකෝ එයා නෙව පුංචි ම පුංචි ළමයා.  ඔන්න හිම යානේ යන්න පටන්ගත්තා.  මුලින්ම හෙමින්, ඊළගට හයියෙන්, තවත් හයියෙන් දැන් ඒක කන්ද බෑවුමේ පල්ලෙහාට දුවනවා.  ඉගිල්ලෙනවා.  ඒත් ළමයි කෑගැහුවේ නෑ.  ඒගොල්ලෝ තාත්ත ව ඇහැරවන්නේ නැතුව නිස්සද්දව ගේ පහු කරගෙන යන්න ඕනෙනේ.

හිම තලාවේ ළිස්සන ධාවකවල පුංචි ගුරු ගුරු සද්දෙයි.  වේගෙන් පහුවෙන හුළගේ සද්දෙයි ඇරෙන්න වෙන කිසිම සද්දයක් නෑ.

හිම යානේ ගේ පහු කරගෙන යන්න ඔන්න මෙන්න තියෙද්දි ලොකු කළු පාට ඌරෙක් කැලෑවෙන් එළියට දුවගෙන ආවා.  ඌ පාර මැද නැවතිලා බලා ඉන්නවා.
  
හිම යානේ යන වේගෙ තරම කොච්චරද කිවුවොත් ඒක නවත්තගන්න බෑ.  ආපහු හරවන්න වෙලාවකුත් නෑ.  ඉතිං මොකෝ වුනේ යානේ ඌරු තඩියා ළගට ගිහිං ඌවත් ඒකට නග්ගගත්තා.  මහ හයියෙන් කෑගාගෙන ඌ ජේම්ස් ගේ කකුල් උඩ ලැග්ගේ නැතැයි.  කොච්චර හරි උගේ කෑගෑම නතර වුනේ නෑ.  ඌ දගින් දිගටම  මහා අමිහිරි සද්දෙකින් කෑගෑවා.  ර්.....රී...රී.....ඊ ...ඊ.....ඊ......ඊ.....ඊ.........ඊ.....ඊ.......!!!!!!!!!

ඒගොල්ලෝ වේගෙන් ගේ පහුකරගෙන ගියා.  ඌරා ඉස්සරහා වාඩිවෙලා ඉන්නවා.  ඊළගට ජේම්ස්, ඊළගට ජෝර්ජ්, ඊළගට සීයා.  එතකොට ඒගොල්ලෝ දැක්කා තාත්තා දොර ලග හිටගෙන බලා ඉන්නවා.  ඒගොල්ලන්ට හිම යානේ නවත්තන්න බෑ.  හැංගෙන්නත් බෑ.  මොකවත් කියන්න වෙලාවකුත් නැහැ.  දිගටම බෙරිහන් දෙන ඌරත් එක්ක ම ඒගොල්ලෝ කන්ද පල්ලමට රූටනවා.

කන්ද පල්ලමේ හිම යානේ නැවතුනා.  ඌරා ජේම්ස් ගේ කකුල්  උඩින් නැගිටලා කෑගගා  කැලේ බිදගෙන දිවුවා. 

පිරිමි ළමයි තුන්දෙනා හිමිහිට කතාවක් නැතුව කන්ද නැගලා හිම යානේ පැත්තක දාලා හොරු වගේ ගේ ඇතුළට ගිහින් බංකුවේ වාඩිවුනා.  තාත්තා එයාගේ බයිබලේ කියවනවා.  එයා වචනයක්වත් කතා නොකර ඒගොල්ල දිහා බැලුවා.

ඊළගට එයා ආයෙමත් බයිබලේ කියවන්න පටන්ගත්තා.  අර තුන්දෙනා කැතිකීස්මේ පාඩම් කෙරුවා.

ඒත් ඉර බැහැගෙන ගිහින් සබත් දවස ඉවර වුනාට පස්සේ තාත්තා ඒගොල්ලන්ව දර මඩුවට එක්කගෙන ගිහින් පස්ස පැත්තට හොදටම තැළුවා.  ඉස්සෙල්ම ජේම්ස්ට, ඊළගට ජෝර්ජ්ට, අන්තිමේදී සීයට.

ඉතින් දැක්කා නේද ලෝරයි, මේරියි අප්පච්චී කීවේය.  හොද ළමයි වෙන එක අමාරු වැඩක් කියලා ඔයගොල්ලට හිතේවි.  ඒත් සීයගේ පොඩි කාලෙට වඩා දැන් කාලෙ හොද ළමයි වෙන එක එච්චර අමාරු නැති එක ගැන ඔයගොල්න් සන්තෝස වෙන්න ඕන.  තේරුනාද?

පුංචි ගෑණු ළමයිනුත් ඒ තරමටම හොද වෙන්න ඕනද? යි ලෝරා ඇසුවාය.  එවිට අම්මා මෙසේ කීවාය.
පුංචි ගෑණු ළමයින්ට ඒක හුගක් අමාරුයි.  මොකෝ ඒගොල්ලෝ ඉරිදා විතරක් නෙවෙයි. අනෙක් හැම දවසෙමත් හොද නෝනලා වගේ හැසිරෙන්න ඕන. පුංචි ගෑණු ළමයින්ට පිරිමි ළමයින්ට වගේ හිම යානේ ළිස්සලා යන්න බෑ.  ගෑණු ළමයි ගෙදර ඉදගෙන මහන්න ගොතන්න ඕන.

දැන් දෙන්නම දුවලා ගිහින් අම්මට කියලා ඇදුම් මාරු කරගෙන නිදාගන්න.  යි කී අප්පච්චී සිය රවුකිඤ්ඤය එහි පෙට්ටියෙන් ඉවතට ගත්තේය.

ලෝරා හා මේරී රෝද සහිත මිටි ඇදේ වැතිරී ඉරිදා ගීතිකාවන්ට සවන් දුන්හ.  රවුකිඤ්ඤය පවා සතියේ දිනවල වයන ගීත ඉරිදා දිනවල වාදනය නොකළ යුතුය.

අප්පච්චී රවුකිඤ්ඤය වයමින් සමිදානෝ මා පවු බරින් මුදවාගත් සේක.  නම් ගීතිකාව ගැයුවේය.  ඊළගට ඔහු මෙසේ ගයන්නට විය.
තෑගි දිනන්නට සටනේ යෙදෙමින්
අන් අය ලේ ගංගජ මැද පිහිනන අතරේ
සමිදානෝ මා අහසට ඔසවාගෙන
සහනය පිරි මල් යහනක සතපාවිද?

සංගිතයේ තාලයට අනුව ලෝරා ගේ සිත පාවෙන්නට විය.  ඊළගට සට සට හඩක් ඇයට ඇසිණි.  අම්මා උදුන අසල උදේ ආහාර පිළියෙල කරමින් සිටියාය.  ඒ සදුදා උදෑසනයි.  ආයෙත් සතියක් යනතුරු ඉරිදා උදා වන්නේ නැත.

ඒ උදෑසන උදේ ආහාරයට පැමිණි අප්පච්චී ලෝරා අල්ලාගෙන තමාට ඇගේ පස්සා පැත්තට හොද පාරක් දිය යුතු බව කීවේය.

පළමුව අද ඇගේ උපන් දිනය බව විස්තර කළ ඔහු, මේ අවුරුද්දේ දී ඈට හොද පාරක් ලැබුණේ නැති නම් ලබන අවුරුද්දේදී ඈට හොදට හැදෙන්නේ නැති බව කීවේය.  ඉන් පසු ඔහු ඈට යන්තම්වත් නොරිදෙන පරිදි ඉතා සෙමින් හා මෘදු ව ඇගේ පස්සා පැත්තට තලන්නට වූයේය. 

එකයි, දෙකයි, තුනයි, හතරයි, පහයි, හයයි  ඔහු ගණන් කරමින් හෙමිහිට ඈට තැලුවේය. එක් එක් වසර වෙනුවෙන් එක පහරක් ගණනේ ලැබිනි.  අන්තිමේදී ඇගේ ඉදිරි වැඩීම සදහා ඔහු ඈට ලොකු පහරක් දුන්නේය.

අනතුරුව ඔහු ලීයකින් ඉතා ශෝභන ලෙස කපා සකස් කළ කුඩා ලී මිනිමෙකු ඈට තෑගි කලේය.  ඔහු චාලට් ගේ මිතුරා වනු ඇත.  අම්මා කුඩා කේක් ගෙඩි පහක් ඈට දුන්නාය.  එක් එක් කේක් ගෙඩිය ලෝරා ඈ හා අප්පච්චී සමග සිටි එක් එක් වසර වෙනුවෙනි.  මේරී චාලට්ට ඇන්දවීම සදහා අලුත් ගවුමක් ඈට තෑගි කළාය.  මේරි එය මසන කල ලෝරා සිතුවේ ඈ ඒ මසන්නේ ඇගේ රෙදි කැබලි ඇතිරිල්ල කියායි.

ඒ රාත්‍රියේ විශේෂ උපන්දින තෑග්ගක් වශයෙන් අප්පච්චී, පොප් ඔන්න වීසල් පැනලා ගියා යන ගීතය ඈ වෙනුවෙන් වාදනය කලේය.

ඔහු වාදනය කරන අතරේ ලෝරා හා මේරී ඔහුගේ දෙදණ මත හිදගෙන සිටියහ.  ඔන්න බලන්න.....ඔහු කීවේය.  බලන්න බාගදා ඔයගොල්ලන්ට පෙනේවි වීසල් එකපාරටම පැනලා යන හැටි නඅතුරුව ඔහු මෙසේ ගයන්නට විය.

නූල් පන්දුවට පැන්සයයි
ඉදිකටුවට පැන්සයයි
සල්ලි ඉවර වුනේ එහෙම තමයි.......

දැන් වෙලාව හරි බැවින් ලෝරා හා මේරී වඩාත් ඉදිරියට නැමී බලන්නට වූහ.
පොප් (රවුකිඤ්ඤයේ තතක් මත වූ අප්පච්චිගේ ඇගිල්ලෙන් හඩක් නැගිණි)
ඔන්න වීසල් පැනලා ගියා....!!!!!(ඉතා පැහැදිලි ලෙස රවුකිඤ්ඤය නාද නැගුවේය.)
එහෙත් අප්පච්චී සිය ඇගිල්ලෙන් තත පිරිමැද පොප් යන හඩ නංවනු ලෝරා හා මේරී දුටුවේ නැත.

අනේ ආයෙමත් කරන්න, ආයෙමත් කරන්න!!!!යි ඔවුහු බැගෑපත් වන්නට වූහ.  අප්පච්චී නිල් පැහැති දැස්වලින් සිනාසුණු අතර ඔහු ගයන අතරේ රවුකිඤ්ඤය දිගටම නාද නැගුවේය.

සපතේරුව ගේ මෙසේ වටේ
වීසල් පස්සේ වදුරා යයි එළවා
දේශකයා සපතේරුව ගේ බිරිදට පිඔලා
පොප් ඔන්න වීසල් පැනලා ගියා

ඒ වතාවේත් අප්පච්චී ගේ ඇගිල්ල තත පිරිමදිනු ඔවුන් දුටුවේ නැත.  ඔවුනට සොයා ගැනීමට බැරි තරම් ඉක්මනින් ඔහු එය කලේය. 

ඉතින් සිනාසෙමින් නිදන්නට ගිය ඔවුහු ඇදේ වැතිරී අප්පච්චිගේ ගායනයටත් රවුකඤ්ඤයේ වාදනයටත් සවන් දුන්නේය. 
එක් මහලු කල්ලෙක් හිටියා
ඔහුගේ නම නෙඩ් මාමා
ඈත ඈත කාලයකට ඉස්සර ඔහු මිය ඇදුනා
ගන සැරේට කෙස් වැවෙනා තැන නම් හිස වේ
ඒත් ඔහුගේ හිස් මුදුනේ කෙස් ගසක්වත් නැත්තේ
ඔහුගේ ඇගිලිත් හරියට
අකුලේ ඇති කෝටු වාගේ හරිම දිගයි
පිටට පෙනෙන්නේ ඔහුට ඇස් දෙකක් නෑ වාගෙයි
හෝ....කේක්....කන්නට දත් නැති හින්දා
ඔහු කේක් ගෙඩියත් පැත්තට තැබුවයි

ඉස්කෝප්ප නගුල් පෝරු අතට අරන්
රවුකිඤ්ඤය වීණා පතයි බිම තියපල්ලා
නෙඩ් මාමට තව කරන්න කිසිම වැඩක් නෑ
හොද කල්ලන් ගිය තැනටම ඔහුත් ගිහිල්ලා.....