සුවද කැකුළු

Tuesday, October 25, 2011

අබරා සිල් ගත්තා වගෙයි

ඔන්න දුවේ පුතේ, ඉස්සර කාලේ අබරා කියලා
මිනිසෙක් හිටියා.මේ අබරාගේ හාමිනේ පෝය
දවස්වලට අටසිල් සමාදන් වෙන්න පුරුදු වෙලා හිටියා.
  ඉතිං එක දවසක් මේ අබරාටත් සිල්ගන්න උවමනා වුනා. 
ඒත් එයා කලින් සිල් අරන් නොතිබුන නිසා ඒ ගැන මොනවත්
දැනගෙන හිටියේ නැහැ.  ඉතිං එයාට ඕන උනා සිල්ගන්න විදිය
දැනගන්න.එයා ඒ ගැන එයාගේ හාමිනේගෙන් ඇහුවා.
“ආ....හාමුදුරුවෝ කියන කියන වචනේ 
තමනුත් කියන්න ඕනෙ...අබරාගේ
හාමිනේ කිවුවා.

ඉතිං ඔන්න දවස් ගත වෙලා ගිහින් පෝය දිනයත් ආවා.  අබරා සුදු රෙද්දක් හැදගෙන සුදු 
සළුවක් පොරවගෙන පන්සලට ගියා. ගිහින් හාමුදුරුවෝ ඉස්සරහා හිටගත්තා.  හැබැයි හාමුදුරුවන්ට
වැන්දේ නැහැ. ඉතිං අබරා දිහා ටික වෙලාවක් බලාගෙන හිටිය හාමුදුරුවෝ “ආවේ මොකටදැයි..
අබරාගෙන් ඇහුවා. එතකොටම අබරාගේ කටිනුත් පිටවුනේ මොනවද දන්නවද?
“ආවේ මොකටද? කියලා.  ඔන්න ආයෙත් සැරයක් හාමුදුරුවෝ ඇහුවා
“මොකද? උඹට පිස්සුද? එතකොට අබරා කියනවා “මොකද? උඹට පිස්සුද? කියලා.
“ගනු කඹයක් මූ බැදලා දාන්න.... කියලා හාමුදුරුවෝ තරහෙන් කිවුවා. ඉන්පස්සේ අබරාත්
 කෝපයෙන් වගේ අර හාමුදුරුවන් කියපු වචන ටිකම කිවුවා. ඒත් ඒ වෙලාවෙම හාමුදුරුවන්ගේ අණ
පරිදි ඇබිත්තයා ඇවිල්ලා අබරාට ගුටි බැට දීලා එලවා දැම්මා.  වරක් හිස අත ගාමිනුත්, තවත් වරක්
පිට අත ගාමිනුත්, තවත් විටෙක පපුව අත ගාමිනුත් ගාටමින් නිවස දෙසට එන තම ස්වාමියා
දැකපු අබරාගේ හාමිනේ පුදුමයට පත්වුනා.  “ඇයි බාන් බොලා හැමදාම කොහොම
සිල් ගන්නවාද? අද එක දවසේ සිල් ගන්ට ගිහින් මගේ ඇට ඔක්කොම පොඩි වුනා
සිල් ගැනිල්ලත් මහාම මහා බයානක වැඩක් නොවැ බැලින්නම්. .. අබරා
කිවුවා.  ඉන්පස්සේ තමන්ට වෙච්ච ඇබැද්දිය හාමිනේ එක්ක
මුල ඉදන් අගටම කිවුවා. තම ස්වාමියාගේ අනුවන කම
ගැන කවදත් දැනගෙන හිටි අබරාගේ හාමිනේ
තෙල් බෙහෙත් ගල්වා ඔහුට සාත්තු කලා.

ටිකක් දවස් යනකොට මේ කතාව ගම
පුරාම පැතිරිලා ගියා. අබරාගේ හාමිනේගේ
යෙහෙලියන්ගේ සරදම් වචන කොතෙකුත් ඉවසා
ඉන්ට බැරි වුනත් තම සැමියාගේ අනුවණ කම ගැන සිතා
ඔහුට අනුකම්පා කලා.ඒ විතරක් නෙමෙයි හාමුදුරුවන්
ගැන ඇය බොහෝම කල කිරුනා. එතැන් පටන්
ඇය සිල්සමාදන්වීමට යන ගමනත් නතර
කලා.තමන්ට
නුහුරු නුපුරුදු දෙයක්
කරන්න ගිහින් අමාරුවේ
වැටෙන අය දැක්කම මේ පිරුළ
අපේ මතකයට එන්නේ නිරායාසයෙන්මයි.

Friday, October 21, 2011

අහුරු කුක්කා

අන්දරේ ගැන පුංචි ඔයාලට මම කලිනුත් කියලා තියෙනවානේ. අන්දරේ කියන්නේ රජ වාසල කවටයාටනේ. ඔන්න එක දවසක් රජතුමා තමන්ගේ ඇමතිවරුත් පිරිවරාගෙන ටිකක් විනෝද වෙන්නත් කියලා හිතාගෙන ඇවිදින්න ගියා.  ඒ යන එන අතරතුරේදි තමන්ගේ රටවැසියන්ගේ සුව දුක් සොයා බලන්නත් රජතුමා අමතක කලේ නැහැ.  මෙහෙම යන ගමන් බිමන් වලදි අන්දරේවත් එකතු කර ගන්න රජතුමා හැම වෙලාවෙම උනන්දු වුනා. මොකද දන්නවද අන්දරේ ඉන්න තැන කිසිම පාලුවක් දැනෙන්නේ නැහැනේ. හිනාවෙන් විහිලුවෙන්ම කාලය ගත වෙනවා තේරෙන්නෙ නැහැ .


ඔන්න එදාත් වෙනදා වගේම බොහෝම විනෝදයෙන් ගමන් කරන කොට රජතුමා දැක්කා තමන් ගමන් කරන පාර හරහා කුඩා සතෙක් යනවා. ඌ හරියට සර්පයෙක් වගේ.  හැබැයි රජතුමා ඉක්මනින්ම මේ සතා කවුද කියල හදුනගත්තා. ඌ හරිම අහිංසක සතෙක්.  මේ සතාව ඒ කාලේ කවුරුත් හැදින්වුයේ “මං බල්ලා... කියන නමින්.


සතාව දැක්ක රජතුමාට ඒ එක්කම ඔළුවට අදහසක් ආවා. රජතුමාට හිතනා අන්දරේට පුංචි විහිළුවක් කරන්න.  රජතුමා ඇමතිවරු එක්ක හෙමිහිට සාකච්ජා කරලා මෙහෙම ඇහුවා.
“අන්දරේ කියමුකෝ බලන්න මේ සතා මොකාද කියලා.


“සතාව දුටු අන්දරේ මේ යන්නේ මං බල්ලා බව අදුන ගත්තා. ඒත් රජුට උවමනා කරන්නේ තමන්ගේ කටින් “මං බල්ලා කියන වචනය කියවා ගන්න බව  අන්දරේ තේරුම් ගත්තා.


සතාව හොදින් පරික්ෂා කර බැලූ අන්දරේ


“දේවයන් වහන්ස, මේ සතාට අපි නම් කියන්නේ අහුරුකුක්කා කියලයි....කිව්වා.


එදා ඉදන් තමයි “මං බල්ලා.... කියන සතාට අහුරු කුක්කා කියන නම ලැබුනේ. හොදයි නේද අන්දරේ තැනට ඔබින විදියට තමන්ගේ නුවණ පාවිච්චි කල විදිය.