සුවද කැකුළු

Monday, October 10, 2011

පුහුල් හොරා කරෙන් දැනේ

ඔන්න එක ගමක ගමරාළ කෙනෙකුයි ගම හාමිනේ කෙනෙකුයි හිටියා. මේ දෙන්නා බොහෝම සමගියෙන්, ගොවිතැන් කරගෙන දැහැමෙන් ජීවත් වුනා.  ගමරාළ තමන්ගේ ගෙදර ප්‍රයෝජනයට ගන්න එළවළු කොටුවක් වගා කලා.  ඒ එළවළු කොටුවේ එළවළු වර්ග බොහෝමයක් තිබුනා.  වට්ටක්කා, අල, බතල, මයියොක්කා, පුහුල්, වම්බටු, මිරිස් වගේ ජාති ගොඩාක් තිබුණා.  කෘෂි නාෂක, කෘතිම පොහොර වගේ දේවල් ඒ කාලේ ගම්වැසියන් පාවිච්චි කරන්නේ නැහැනේ.  ඔය කොළ පොහොර ගොම පොහොර වගේ දේවල් තමයි වගාවන් සරු කරගන්න දැම්මේ.  ඊට අමතරව නිතර වතුර දමලා පොළව තෙත් කලා.  වේළුනු කොල ඉවත් කලා.  මේ විදියට ගමරාළ බොහෝම ආදරෙන් තමන්ගේ එළවළු කොටුවට සාත්තු සප්පායම් කලා.  ගම හාමිනේගෙන් ගමරාළට හොද සහයෝගයක් ලැබුනා. ඒ නිසාම එළවළු කොටුවේ ගස් වැල් පලින් බර වුනා.  පළදාව වැඩිවුනා. 

දවසක් ගමරාළ ගමහාමිනේට කිවුවා.  “මෙදා පාර අපේ කොරටුවේ වෙනදාටත් වඩා බොහෝම සරුවට අස්වැන්න තියෙනවා.  ගෙදරටත් ගෙනැත් වැඩිපුර හරිය පොළට ගෙනියන්නයි මගේ කල්පනාව.  අළු පුහුල් වැලේ ගෙඩි පිරිලා.  මම අද උදේ දැක්කා එක ගෙඩියක් බොහෝම සරුවට හැදිලා තියෙනවා.  ඒක අපට සතියකට විතර ඇති මයේ හිතේ.

“අපි එහෙනම් ඒ පුහුලෙන් කන්නත් ඇරන් ඉතිරියෙන් පුහුල් දෝසි ටිකක් හදලා දෝනියන්දෑට ගෙනියමු. දෝණිත් හරි කැමතියි නෙව පුහුල් දෝසි කන්න....ගම හාමිනේ කිවුවා.

“මෙදා පාර පුහුල් ගෙඩි ටික හොද ගානකට දී ගත්තොත් වැඩි පුර කීයක් හරි අතට ගන්නත් ඇහැකි.  මං හාමිනේට චීත්තෙකුයි හැට්ටෙකුයි මහගන්න හොද ලස්සන රෙදිත් ඇරන් දෙන්නම්කෝ....එහෙම කිවුවම ගම හාමිනේට ගොඩක් සතුටුයි. 

ඔන්න ඉතිං පහුවෙනිදා ගමරාළ ලොකුවට හැදිලා තිබුන පුහුල් ගෙඩිය නෙලාගෙන එන්න කියලා හිතාගෙන කොරටුව පැත්තේ ගියා.  අනේ දෙයියනේ....ගමරාළට ඉබේම කියැවුනා.. ඔහුට හරිම පුදුමයි.  හොදට හැදිලා තිබුණ පුහුල් ගෙඩිය ඊයෙත් තමුන් එනකොට තිබුණනේ.  ඒත් දැන් ඒක නැහැ නොවැ.  ගමරාළට හරිම දුකයි.  ඒ වගේම බොහෝම තරහයි.

“කවුරුද දෙයියනේ එතකොට මගේ පුහුල් ගෙඩිය හොරකම් කලේ??  ඔහු හෙමින් හොද හෝදිසියෙන් වටපිට බැලුවා.  අවට ගස් කොලං පොඩිවෙලා තියෙන හැටි දැක්කා.

ගමරාළ ගෙදර ගියේ මේකට මොකද කරන්නේ කියලා කල්පනා කරමිනුයි.  ඉතිං පුහුල් නෙලාගෙන එන්න ගිය ගමරාළ හිස් අතින්ම එනවා ඈත තියාම ගම හාමිනේ දැක්කා.  ඇයට පුදුම හිතුනා.  මොකද ගමරාළට අසනීපයක්වත්ද?  ඇය කල්පනා කලා.

“හාමිනේ...හාමිනේ.....බලන්නකො හාමිනේ අර හොදට හැදිලා තිබුන පුහුල් ගෙඩිය ඊයේ රාත්තිරියේ කවුද හොරකම් කරලා නොවැ?...

“මොනවා? හොරකම් කරලා? ඇයටත් ඉබේටම කියැවුනා.
“අපි කොහොමද මේ හොරා කවුද කියා හොයාගන්නේ? ගමරාළ දුකෙන් වගේම තරහෙන් ඇසුවා.
“පොඩියක් හිටින්කෝ. මම ඕකට පිළියමක් කල්පනා කොරලා කියනකල්.  ගම හාමිනේ එහෙම කිවුවා.  ගමරාළ දන්නවා තමන්ගේ හාමිනේ බොහොම නුවනක්කාරි කියලා.  ගමහාමිනේ කලබල නොවී හිමින් සීරුවේ මේ ගැන කල්පනා කලා.  ඇයට හොද අදහසක් පහල වුනා. 
“හරි...මං කියන්නම්කෝ යස උපායක්...අපේ අර පොඩි සීනුවක් තිබුනා නොවැ.  අපි ඒ සීනුවත් ගගහා ගම මැද්දට යමු. එතකොට ගමේ මිනිස්සු මොකදෑ බලන්න රැස්වේවි නොවැ.  ඒ වෙලාවට “පුහුල් හොරා කරෙන් දැනේ..කිය කිය  හොද සෝදිසියෙන් බලමු.  ගම හාමිනේ තමන්ගේ අදහස ගමරාළට ඉදිරිපත් කලා.

ඔන්න ඉතිං ගමරාළ රතු ලේන්සුවක් ඇරන් ජටාවක් බැදගත්තා. අර කියාපු සීනුවත් අතට ගත්තා.  දැන් ඔන්න ගමරාළ සීනුව නාද කර කර ගම මැද්දට යනවා.  ගමේ මිනිස්සු එකා දෙන්නා මේ මොකද්ද බලන්න ගම මැද්දට ආවා. 

“ඩෙන්න ඩෙනෝ ඩෙනෝ
ඩෙන්න ඩෙනෝ ඩෙනෝ
මෙන්න මෙහේ වරෝ
පුහුල් හොරා කරෙන් දැනේ
පුහුල් හොරා කරෙන් දැනේ

ඔන්න ඔය විදියට කිය කියා ගමරාළ බොහෝම විපරමෙන් වටේ රැස් වෙලා උන්න උදවිය දිහා බැලුවා. එතකොටම එක මිනිහෙක් තමන්ගේ කර අත ගෑවා.  ආයිත් පාරක් කර අත ගෑවා.  නැවත නැවතත් තමන්ගේ කර දිහා හොරැහින් බලමින්ම කර අතගානවා ගමරාළ දැක්කා.  ඉන්පස්සේ මේ කෙනා හිමීට තමන්ගේ අමුඩ ලේන්සුවෙන් කර පිහදැම්මා.  ඔන්න එතකොටම ගමරාළ පැනපු ගමන්ම ඒ මිනිහාව අල්ලා ගත්තා. 
“උඹ තමයි හොරා....???උඹ මගේ පුහුල් ගෙඩිය හොරකම් කර කරේ තියාගෙන ආවා.  ඒක නොවැ හොරැහින් බල බල කර පිහදැම්මේ. 

ඉන්පස්සේ ගමරාළ මේ මිනිහාව ගම්මුලාදෑනියාට බාර දුන්නා.  ඔහු නඩුව විභාග කරන වෙලාවේ අර මනුස්සයා පිළිගත්තා තමන් පුහුල් ගෙඩිය හොරකම් කල බවට.  පසුව හොරාට කැඩූ පුහුල් ගෙඩිය ඔළුව උඩ තියාගෙන  “මං මීට පස්සේ හොරකම් කරන්නේ නැහැ.  කියමින් ගම වටේ යන්නට නියම කලා.  එසේ ගම වටේම ගොස් ගමරාළගේ ගෙදරට එම පුහුල් ගෙඩිය හොරා විසින්ම බාර දෙන්නට නියම කලා. 

ඔන්න ඉතිං පේනවනේ හොරකම් කරලා ඒක කවදාවත් හංගාගෙන ඉන්න ලැබෙන්නේ නැහැ. තමන් හොරකම් කලා කියලා තමන්ගේ හිත දන්නවනේ නේද? මේ අලු පුහුල් කතාව නිසාම පසු කාලෙක “පුහුල් හොරා කරෙන් දැනේ...කියලා පිරුලකුත් ගැමියන්ගේ බස් වහරට එකතු වුනා.

Tuesday, October 4, 2011

පිනෝ කියෝ

එකෝමත් එක ගමක හිටියා බොහෝම හොද ටිකක් වයසක සීයා කෙනෙක්.  මේ සීයාට හොදට රූකඩ හදන්න පුළුවන්.  එයාගේ ගෙදර හිටියේ එයා තනියම. ඉතින් මේ සීයා මුළු දවස තිස්සෙම කලේ රූකඩ හදන එක.  එක එක විදියේ රූකඩ හදලා ඒවා තීන්ත ගාලා ලස්සනට පාට කලා.  තමන්ගේ අතින් නිර්මාණය වුනු මේ රූකඩ දිහා බලලා සීයා බොහෝම සතුටු වුනා.

ඔන්න ඉතිං දවසක් සීයාගේ ගෙදර කාමරයක මුල්ලේ තිබිලා බොහොම අපූරු ලී කෑල්ලක් හම්බ වුනා.  සීයා ඉතින් මේ ලී කෑල්ලෙන් බොහෝම අපූරු රූකඩ ළමයෙක් කැපුවා.  සීයා මේ රූකඩ ළමයාට නිකමට වගේ පිනෝ කියෝ කියලා නමකුත් දැම්මා.
“අනේ ඉතිං මටත් මේ වාගේ පුතෙක් හිටියා නම් කොතරම් අපූරුද? සීයා අර රූකඩ ළමයා දිහා බලාගෙන හිතුවා.  සීයා කියපු මේ කතාව පුංචි සුරංගනාවියෙක් හොරෙන් අහගෙන හිටියා. මේ පුංචි සුරංගනාවිට සීයා ගැන හරිම දුකයි. ඇයි ඉතිං සීයා තනියෙන්මනේ ඉන්නේ.

“මම මේ සීයට කොහොම හරි උදව් කරන්න ඕනේ.   සුරංගනාවි සිතුවා.  ඔන්න ඉතිං පහුවෙනිදාට එළිවුණා. සීයා වෙනදා වගේම උදේ නැගිට්ටා.  එතකොටම සීයා බොහෝම පුදුමයට පත්වුනා.  ඒ මොකද දන්නවද?  අර සීයා කලින් දවසේ ලී කෑල්ලකින් හදපු රූකඩේ පිනෝ කියෝ.. එයා සීයගේ ඇද ලගට වෙලා හිනාවෙවී ඉන්නවා.  ඉතිං කාටද පුදුම නොහිතෙන්නේ නේද?
කොහොමද රූකඩ පැංචා මෙතැනට ආවේ? සීයා පුදුම වෙලා නැගිට්ටා.
                                                 
සීයේ මේ බලන්නකෝ මට කතාකරන්න, නටන්න, දුවන්න, පනින්න, ඕනෑ එකක් කරන්න පුළුවන්.....පිනෝ කියෝ කිවුවා.  “මාව මේ විදියට ළමයෙක් කලාට සීයාට ගොඩාක් ස්තුතියි.     පිනෝ කියෝ සීයාගේ අතේ එල්ලීගෙනම හරිම සතුටින් කෑගැහුවා.  ඒ විතරක් යෑ.  පිනෝකියෝ ළමයෙක් වුන එකට සීයාටත් හරිම සතුටුයි.

ඉතින් සීයා හිතුවා පිනෝ කියෝව ඉස්කෝලේ ඇරලා හොදට අකුරු සාස්තරේ උගන්නලා එහෙම හොද ළමයෙක් කරන්න. 

                                                                                                                                                   

දැන් ඔන්න පිනෝ කියෝ ඉස්කෝලේ යනවා. එයා එයාගේ අලුත් ඉස්කෝලෙටයි යාළුවන්ටයි හරිම කැමතියි. සීයාත් හරිම  ආසාවෙන් තමයි පිනෝ කියෝව ඉස්කෝලෙ ඇරියේ.  ඔන්න ටික දවසක් යනකොට පිනෝ කියෝට අලුත් යාලුවෝ දෙන්නෙක් හම්බවුනා.  හැබැයි ඒ දෙන්නා නම් හොද යාලුවෝ නෙමෙයි.  බොහෝම නරක දග වැඩ කරන දෙන්නෙක්.  “අපෝ හැමදාම ඉස්කෝලෙ ගිහින් වැඩක් නැහැ. එකපාරටම සල්ලි ගොඩක් හොයන්නයි ඕන. සල්ලි හොයන විදිය අපි නම් දන්නවා.  ඔයත් එන්න අපිත් එක්ක යන්න.  එයාලා පිනෝකියෝට අඩගැහුවා.  

“එකපාර සල්ලි ගොඩක් ලැබුනොතින් ඇත්තමයි, හොදයි තමයි. එහෙනම් තාත්තටයි මටයි කරදරයක් නැතිව හොදින් ඉන්න පුළුවන්...
පිනෝ කියෝ එහෙම හිතලා යාළුවන් එක්ක යන්න කැමති වුනා.  

 
ඉතිං පිනෝකියෝව ළමයෙක් කරපු සුරංගනාවි මේ හැම දෙයක්ම බලාගෙනයි හිටියේ. තාත්තාට අකීකරු වුන නිසා එයාට හොදටම තරහා ගියා. මේ ළමයාගේ අකීකරු වැඩ වලට හොද පාඩමක් උගන්වන්න ඕනෑ. පුංචි සුරංගනාවි එහෙම හිතුවා. ඔන්න ඉතිං එතකොටම මොකද දන්නවද උනේ. පිනෝ කියෝගේ කන් දෙක ගොඩක් දික් වුනා. ඒ මදිවට නහයත් දික් වෙන්න පටන් ගත්තා. දෙයියනේ. මේන්න වලිගෙකුත් ඇවිල්ලා.  
“හා...හා...මෙන්න බූරු පැටියෙක් ඇවිල්ලෝ.....එයාගේ යාළුවෝ එයාට හිනාවෙන්න පටන් ගත්තා. දැන් පිනෝට හොදටම ලැජ්ජයි එත් ඉතිං මොනවා කියලා කරන්නද? අනිත් එක දැන් එයාට තනියම පාර හොයාගෙන ගෙදර යන්න දන්නෙත් නැහැ.  


ඔහොම දවස් ගානක්ම ගෙවිලා ගියා.  එක දවසක් පිනෝ කියෝ එයාගේ යාළුවෝ එක්ක මුහුද දිගේම ඇවිදගෙන ගියා.  ඒ වෙලාවේ එයා දැක්කා එයාගේ තාත්තා ඔරුවක නැගලා ඈත මුහුදේ යනවා.  
“අන්න මගේ තාත්තා....පිනෝ කියෝ කෑගහන්න ගත්තා.  තාත්තාව දැක්කම එයාට පුදුම සතුටක් දැනුනේ.  


“තාත්තා යන්නේ ඔයාව හොයන්න වෙන්න ඕන...යාළුවෝ දෙන්නා කිවුවා.  ඔන්න එතකොටම මහා විශාල තල්මසෙක් වතුරෙන් උඩට මතුවෙලා සැනෙකිල් බෝට්ටුව ගිල්ලා.  
“අයියෝ...අපොයි මගේ තාත්තා.  මං යනවා තාත්තාව බේරගන්න.   එහෙම කියපු පිනෝ කියෝ එකපාරටම වතුරට පැන්නා.  ඒ වුනාට මොකද දන්නවද උනේ.  අර විශාල තල්මහා පිනෝ කියෝවත් ගිල්ලා.  
“පිනෝ කියෝ ඉක්මනට මගේ අත අල්ලාගන්න...කවුදෝ කෑගහනවා ඇහුනා.  දන්නවද?  ඒ තමයි පිනෝකියෝගේ තාත්තා.  
“අනේ තාත්තේ දැන් අපි කොහොමද මෙතනින් බේරිලා යන්නේ. පිනෝ කියෝ තාත්තාගෙන් ඇහුවා.  එතකොටම එයාට හොද අදහසක් ආවා.  ඉතිං එයා එයාගේ දිග කන්දෙක එහාට මෙහාට කලා.  “කවුදෝ මගේ බඩ කසනවා. තල්මහා හිතුවා.  තල්මහා එහාට මෙහාට දැගලුවා.  ඒ වෙලාවෙම තල්මහට ලොකු කිඹිහුමක් ගියා.  තල්මහ කට ඇරියා විතරයි පිනෝ කියෝ තාත්තාවත් ඇදගෙන එලියට පැන්නා.  


තාත්තාව කරේ තියාගෙන පිනෝ කියෝ බොහෝම අමාරුවෙන් පීනුවා.  දැන් ඉතිං අර පුංචි සුරංගනාවිට හරිම සතුටුයි.  පිනෝ කියෝ හොද ළමයෙක්. ඒ නිසා එයා පිනෝ කියෝව ඇත්තම ඇත්ත ළමයෙක් කලා. එදා ඉදන් පිනෝ කියෝ තාත්තාවත් බලාගෙන බොහොම සතුටින් කාලය ගත කලා.