සුවද කැකුළු

Friday, September 2, 2011

දසමහා යෝධයෝ

අප රට එක්සේසත් කළ දුටුගැමුණු රජතුමා ගැන පුංචි දරුවෝ අහලා ඇති.  ඒ තරමටම මේ චරිතය බොහෝම
ප්‍රසිද්ධයිනේ.  මේ දුටුගැමුණු කුමාරයාගේ
පිය රජතුමා තමයි කාවන්තිස්ස කියන්නේ.
මව විහාර මහා දේවිය. ඔහුගේ සොයුරා තිස්ස කුමාරයා.
ඉතින් මේ ගැමුණු කුමාරයා තමන්ගේ පියා
එක්ක උරණ වෙලා ඔහුට කාන්තාවකගේ 
ඇදුම්  යැවීමෙන් පසුව ඔහු දුටු ගැමුණු බවට පත්වුණා.
 එළාර රජු එක්ක යුධ වැදුනු දුටුගැමුණු රජතුමාට දසමහා යෝධයන්ගෙන් විශාල උදව් උපකාර ලැබුණා. මේ දසමහා යෝධයන් තමයි නන්දිමිත්‍ර යෝධයා, ලභියවසභ යෝධයා,ඛඤ්ජදේව යෝධයා, ථේරපුත්තාභය යෝධයා, මහාභරණ යෝධයා,වේළුසුමන යෝධයා, ඵුස්සදේව යෝධයා, සුරනිමල යෝධයා, ගෝඨයිම්භර යෝධයා, මහා සෝන යෝධයා
 ඔන්න ඉතින් මම දුටුගැමුණු රජතුමාගේ දසමහා යෝධයන් ගැන කියලා දෙන්නයි හදන්නේ...........
නන්දිමිත්‍ර යෝධයා  1

එළාර රජුගේ හමුදාවේ හිටපු මිත්ත සෙන්පතියාගේ නැගනියගේ පුතා තමයි නන්දිමිත්‍ර කියන්නේ. ඔහුගේ 
උපන් ගම අනුරාධපුර කඩදොර නම් ගමයි.

මේ නන්දිමිත්‍ර පුංචි කාලයේ ඉදලම බොහෝම දගයෙක් වුණා.  අනෙක් සමවයසේ දරුවන්ට නොකල හැකි  බොහෝ දේ මොහුට කිරීමට හැකියාවක් තිබුණා.
ඔහුගේ සමහර දග වැඩ නිසා මව්පියන් පවා අපහසු
තාවයට පත්වුණ වෙලාවල් තිබුණා.

දිනක් මේ නන්දිමිත්‍රගේ දගවැඩ ඉවසිය නොහැකි වූ 
ඔහුගේ මව හම් පටියකින් ඔහුව ඇඹරුම් ගලේ බැද තබා, දිය ගෙන එන්නට ගියා.  තමන්ගේ වෙර
යොදා ඇඹරුම් ගලට තබා බැදි හම් පටිය කඩා දැමු නන්දිමිත්‍ර මවගේ පිටුපස දිවගියා.
දිය ගෙන ආපසු ගෙදරට එමින් සිටි මව තම පුතු දැකීමෙන් ඉමහත් පුදුමයට පත් වුණා. දග වැඩ කෙසේ වෙතත් මේ පුංචි පුතුගේ කාය ශක්තිය ගැන මව මහත්සේ සතුටට පත්වුණා.

මේ නන්දිමිත්‍රගේ ගමේ පන්සලේ විශාල උණ පදුරක් තිබුණා.  ඉතින් මේ උණ පදුර හාමුදුරුවන්ට විශාල කරදරයක් වෙලයි තිබුණේ.  ඒ නිසා ගම්වැසියන් එකතු වෙලා මෙය ගලවන්නයි උත්සාහ කලේ.

“මේ තරම් මොනවට මහන්සි වෙනවද අපෙ හාමුදුරුවනේ...කියූ ගැටවර වියේ පසුවූ නන්දිමිත්‍ර මද සිනාවක් පෑවා. 
“මහන්සි නොවූ කොහොමද බොල මේක ගලවන්නේ...හාමුදුරුවෝ නන්දිමිත්‍රගෙන් ඇසුවා.
නන්දිමිත්‍ර ශක්තිමත් ලණුවක් රැගෙන එය උණ පදුරෙහි බැන්දා.  ඉන්පසු එය ඇද්දා. සියල්ලන් පුදුම කරවමින් මෙම පදුර ගැලවී ගියා.
දිනක් මේ නන්දිමිත්‍ර සිය මාමා හමුවෙන්නට අනුරාධපුරයට ගියා.  මේ අවස්ථාවේදී බුදු දහමටත් ජය ශ්‍රී මහා බෝධියටත් එළාර රජුගේ හමුදාවන් කරන විනාශය දැක්කා.  මෙය දුටු ඔහුට විශාල කෝපයක් ඇති වුණා. ඉන්පසු ඔහු දුටුගැමුණු රජ හමුවන්නට ගියා.

එක් දිනෙක දුටු ගැමුණු රජුගේ කණ්ඩුල නම් ඇත් රාජයා මද කිපුණා. ඌ මෙල්ල කරන්නට සමත් කෙනෙකු හිටියේ නැහැ. මේ නන්දිමිත්‍ර ඇතුගේ දළ දෙකින් අල්ලා ඌ දණ ගස්සවා මෙල්ල කරවූයේ සියල්ලන්ගේම විමතිය මැද්දේ.
විජිතපුර පැවති සටනේදී දුටුගැමුණු කුමාරයාට, අති මහත් සේවයක් නන්දිමිත්‍රගෙන් සිදුවුණා.  යුද්ධයෙන් දිනුවාට පසු පුත්තලමේ දැදුරු ඔය අසබඩ ගම්වරය ලැබූ මොහු බොහෝම කාලයක් ජීවත් වුණේ කාගේත් සිත් දිනාගෙන හැමෝටම උදව් උපකාර කරමිනුයි.
 

කොබෙයියාගේ විලාපය

ඔන්න හුගාක් ඉස්සර කාලෙක විශාල වනාන්තරයක් තිබුණා.
මේ වනාන්තරයේ එක එක විදියේ සත්තු හිටියා.
කුරුල්ලෝ පිරිලා......

 උදේ ඉදලා හවස් වෙනකන්ම ඇහුනේ කුරුල්ලන්ගේ
ලස්සන ගී හඩයි.  කොයි කුරුල්ලත් සන්තෝෂෙන්
එහාට මෙහාට ඉගිලුනා.  ඒ වුනාට කොබෙයි අම්මට නම්
එහෙම නිදහසක් තිබුණේ නැහැ.  මොකද දන්නවද කොබෙයි 
අම්මට කුරුලු පැටව් ගොඩයි.  කොබෙයි බබාලගේ තාත්තා ටිකක්
කම්මැලියි.  ඉතින් වැඩ ඔක්කොම කරන්න වුනේ අම්මට.


ඔන්න ඉතිං වැහි කාලේ ලග ලගම එනබව තේරුම් ගත්ත
කොබෙයි අම්මා කෑම එකතු කරන්න පටන් ගත්තා.  කොබෙයි
පවුල හිටපු ගහ ලග ලොකු ගලක් තිබුණා.  වැඩියෙන් එකතු කරගෙන
එන පළතුරු ටික මේ ගල උඩ තියලා කොබෙයි අම්මා ඒවා වේලන්න 
පටන් ගත්තා.  


ඉතිං දවසක් දා මේ කොබෙයි අම්මා ඈතට යන්න පිටත් වුණා.  
එකතු කරපු පළතුරු ටික ගල උඩ තියලා ළමයින්ට 
අඩගහලා කිව්වා ඒවා හොදට බලාගන්න කියලා.


“දරුවනේ මේවා කන්න එපා.  වැස්ස කාලෙට අපිට කෑම
නැති වෙනවා.  ඒ නිසා මේවා වේලලා තියාගෙන කමු.
හවසට එනකොට මම කන්න තව කෑම හොයාගෙන එන්නම්....කියලා
මෙහෙම කියපු කොබෙයි අම්මා ඈත කැලේට 
ඉගිල්ලිලා ගියා.  


දවල් අව්ව එන්න එන්නම සැර වුනා.  අව්වේ සැර වැඩි කමට
පලතුරු වේලිලා හැකිලෙන්න පටන් ගත්තා.  මෙහෙම පලතුරු
හැකිලෙන කොට අඩුවෙන්න පටන් ගත්තා.


අම්මා හවස ඉගිල්ලිලා ආවා.  උදේ යනකොට ගල පුරාම
තිබුණු පලතුරු දැන් අඩුවෙලා.  කොබෙයි අම්මට හොදටම 
කේන්ති ගියා.  ළමයි පලතුරු කන්න ඇති කියලයි අම්මා හිතුවේ.
මේ අම්මා මොනවද දන්නවද කලේ ළමයින්ට හොදටෝම බැනලා
ගැහුවා.  කේන්තිය නිවෙන කන්ම තැලුවා. (කතාවේ තියෙන්නේ මීට ටිකක් වෙනස් විදියට. දරුවන්ට එහෙම කියලා දෙන එක හොද මදි)


ඉතින් මේ දරුවෝ බොහෝම දුකෙන් යන්න ගියා අම්මාට හොරෙන්. ශක්‍ර දෙවියන් මේ කතාව දැක්කා. ඉතින් එයා මොනවද දන්නවද කලේ
එක පාරටම මහ වැස්සක් වැස්සුවා.  ඔන්න වැස්සට තෙමුන පලතුරු 
ආයෙත් දිග ඇරෙන්න පටන් ගත්තා.
මේ කොබෙයි අම්මා මේවා දිහා බලාගෙන හිටියා.
අම්මාට කාරණය වැටහුනේ එතකොටයි.


අනේ ඉතින් එයාට හරිම දුකයි. දරාගන්න බැරි තරම් දුකකින් එයා හඩන්න පටන් ගත්තා. ඒත් වැඩක් වුනේ නැහැ. කොබෙයි අම්මා
කෝ මගේ දරුවෝ කියමින් හඩ හඩා වනය පුරා පියාඹන්න පටන් ගත්තා. නමුත් කොබෙයි අම්මාට එයාගේ දරුවන්
නැවත කවදාවත් මුණ ගැහුණේ නැහැ.


අදටත් කොබෙයියා විලාප නගමින් ඉගිලෙනවා අපිට ඇහෙනවා.


ප.ලි. මේ කතාවේ පලතුරු වෙනුවට මීපුප් නැතිවීමක් ගැනත් කියවෙනවා. ඒ නිසා කුඩා කාලයේ අපේ අම්මලා අපට කියලා තියෙනවා 
කවියක් මෙන්න මෙහෙම
“මී පුප් ලදිම් - දරු නොලදිම්
රන්කැටි පුතා කෝ....කෝ.....