සුවද කැකුළු

Saturday, October 13, 2012

වෙල්ල වැහුං


අද මම කියන්න යන්නේ අපි ඉස්කෝලේ යන කාලේ අපේ සිංහල පාඩම් පොතක තිබුණ කතාවක්.  කතාව වගේම ඒකෙ කියවෙන කෑමත් බොහෝම රසවත්.

ඔන්න ඉතිං කාලෙකට ඉස්සර ගම්බද පළාතක ගමරාළ කෙනෙකුයි ගම හාමිනේ කෙනෙකුයි හිටියා.  එයාලා ජිවත් වුනේ ගොවිතැන් කරලයි.  ගමරාළ වගේම ගම මහගේත් ගේ දොර වැඩට වගේම කුඹුර වැඩටත් බොහෝම දස්සයි.  ඒ වගේම ගම හාමිනේ බොහෝම කටට රහට කෑම බීම පිළියෙල කරන්නත් දන්නවා.  මේ ගම හාමිනේගේ අතින් බත් කටක් නොකාපු කෙනෙක් ඒ ගම් අහලකවත් නැති තරම්. 

අද කාලේ වගේ කඩේට දුවන්න ඕන කමක් තිබුනෙත් නැහැ උයන පිහන දේවල් හොයාගන්න.  ඒ සේරම පිළියෙල කරගත්තේ වත්ත පිටියෙන්මයි.  ඉතින් මේ ගම ගෙදරට කෑම බීමෙන් වගේම මුදල් හදල් වලිනුත් හිග පාඩුවක් තිබුනෙම නැති තරම්.  ගමරාළයි හාමිනෙයි ජිවත් වුනේ හරියට කිරියි පැණියි වගේ.  හැබැයි ඉතිං පුංචි පරහකට හිටියේ ගමරාළට පොඩ්ඩ බැරිවෙන කොට හුගක් දේවල් අමතක වෙන එකයි.  මේක බොහෝම කාලෙක හිටන්ම ගමරාළට තිබුන අඩුපාඩුවක්. 

දැන් ඉතිං මෙහෙම මේ දෙන්නා දෙමහල්ලෝ බොහෝම සමගියෙන් සමාදානයෙන් ජිවත් වෙන අතරෙදි ගම රාළට ඕනෑ වුනා එයැයිගේ නංගිලගේ ගෙදර ගොහිල්ලා එන්න.  මේ ගමරාළට හිටියෙත් එකම එක සහෝදරියක් විතරමයි.  බොහෝම කාලෙකින් ආවේ ගියෙත් නැති නිසා ගම හාමිනෙත් ගමනට අවශ්‍ය කරන දේවලුත් තෑගි බෝගත් ලෑස්ති කොරලා අතරමගදි කන්න කියලා බත්මුලකුත් බැදලා දීලා ගමරාළව නංගිලගේ දිහා පිටත් කළා. 

අද වාගේ නෙවෙයිනේ ඒ කාලේ ගමන් බිමන් ගියේ.  පයින්මනේ.  ඉතිං බොහෝම දුර බැහැර ගෙවාගෙන බිං කළුවර වැටීගෙන එන වෙලාවට ගමරාළට හැකිවුනා තමුන්නේ නංගිලගේ ගෙයි පිළට ගොඩ වෙන්න.  බොහෝම කාලෙකින් තමන්ගේ සහෝදරයාව දැකපු නගාටත් හිතේ සතුට කියාගන්න බැරුව ගියා.  ගමරාළගේ මස්සිනා පොඩ්ඩත් හනි හනිකට ගිහින් වෑවර ගෙඩියක් කපාගෙන ඇවිත් ගමරාළට සංග්‍රහ කොලා. 

ඉතින් දෙන්නා ඔහොම ආ ගිය තොරතුරු ගම් පළාත්වල විස්තර එහෙම කතා කරමින් ඉන්න අතරෙදි නගා අයියණ්ඩිට කන්ට බොහෝම රසවත් කෑම වේලක් පිළියෙල කලා.  ඊට අමතරව රස කැවිල්ලකුත් හැදුවා.  මේ විදියට සතුටින් කතා කර කර හිටි මස්සිනාලා දෙන්නා රෑ කැම කන්නත් ලෑස්ති වුනා.  එදා රෑ ඉතින් තමුන්නේ නංගි අතින් හැදුන කෑම බිම වලින් ගෙදර මේසේ පිරිලා අහල පහළ ගෙවල්වලටත් සුවද දැනෙන්න පටන් ගත්තා.  මේ කෑම බීම අතරේ තමන් කවදාවත්ම කාලා නැති කෑම ජාතියකුත් තිබුනා. 

ඒ රස කැවිල්ල කාපු ගමරාළට දැනුනේ පුදුම රහක්.  උන්දෑ එවේලේම හිතුවා “හෙට ගෙදර ගිහාම හාමිනේටත් කියන්ට ඕනෑ මේව්වායින් ටිකක් හදලා දෙන්ට කියලා.....

මොකද ගම හාමිනේ කොයිතරම් රසට කෑම බීම හදන්න දැනගෙන හිටියත් මේ රස කැවිල්ල නම් කවදාවත්ම ගෙදර හදලා තිබුනේ නැහැ.  ඉතින් ගමරාළ නංගිගෙන් ඇහුවා මේ රස කැවිල්ලේ නම......!!!!

“අයියේ මේව්වට කියන්නේ වෙල්ල වැහුම් කියලනේ.  අක්කාට කියන්ට අක්කා දන්නවා මෙව්වා හදන විදිහ.........

නම අහගත්තට මොකද ගමරාළට හරියට නින්ද ගියෙත් නැහැ නම අමතක වේදෝ කියන බයට.  ඇයි ඉතිං තමුන්ට අමතක වෙන ලෙඩක් තියෙනවා නොවැ.   ඕං ඉතිං පහුවෙනිදා උදැහැනැක්කෙම ගමරාළ තමුන්නේ නංගිටයි මස්සිනාටයි සමුදීලා ආපහු සැරයක් රස කැවිල්ලේ නමත් අහගෙනම ගෙදර යන්ට පාරට බැස්සා.

හැබැයි උන්දැගේ හිතේ තියෙන්නෙම වෙල්ල වැහුං ගැන.  ඔන්න මග දිගටම වෙල්ල වැහුම්, වෙල්ල වැහුම්, වෙල්ල වැහුම් කිය කියා එනවා.  රස කැවිල්ලේ නමේ සිහියෙන් ආව මිසක් පාරෙ තිබුන තඩි මඩ වගුර දුටුවේ නැහැ ගමරාළ.  මේං බොලේ උන්දෑ මඩ වලේ වැටිච්චි.  ඒ වැටුනු පාරට වෙල්ල වැහුම් වෙනුවට හොත්තරි පංචං කියලා කියවුනා. 

ඉතිං බොහෝම අමාරුවෙන් නැගිටගත්තු ගමරාළ දැං යනවා “ හොත්තරි පංචං, හොත්තරි පංචං..... කිය කියා....!!!!

ඉතින් ඉර බැහැගෙන යන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි කොහොම කොහොම හරි ගෙට ගොඩ වුනා.  ඒ වුනත් කටේ තිබුණෙම හොත්තරි පංචං.....!!

ගම හාමිනේට පුදුමයි!!!! “මොනවයි මේ ඔහේ දොඩවන්නේ!!!!!!   ඈෑෑෑෑ හොත්තරි පංචං? ඒ මොනවද ඒ?  කිරි අප්පේ මං නං උපන් තේකට අහලා නැහැ එහෙම නමක්!!!!

“නෑ නෑ යොදියේ නගා කිවුවේ හො..හො..හොත්තරි පංචං කියලමයි.  ඈ කිවුවා ඔහේ ඒවා හදන්න දන්නවත් කියලා.  පුදුම රහක්නේ යොදියේ එව්වයේ තිබුනේ.  මම නම් කවදාවත් කාලා නෑ එහෙම රස කැමක්!!!!!!

ඉතිං දැන් හොයාපල්ලකෝ හොත්තරි පංචං මොනවද කියලා? මොකද ගම හාමිනේ කාලා තියා කවදාවත්ම එහෙම නමක් ගැන අහලා වත් නැහැ.  ඒත් දැන් ගමරාළට තරහත් ගිහිං.  ගම හාමිනේ හොත්තරි පංචං හදන්න දන්නේ නැතෙයි කිවුවම. 

“ඔව්වා හදන එකයෑ වැඩේ මම ඒ නම වත් කවදාවත්ම අහලා නැති එක නොවැ.  .......ඔන්න එදා රෑ ඉතිං ගමරාළට හාමිනේ එක්ක හොදටම තරහයි.  එයා නිදාගන්න ගියෙත් බොහොම තරහෙන්. 

“නෙදකිං මෙහෙම ගෑණු!!!!! අච්චර රහ කෑමක් හදන්න දන්නෙ නැහැ කියනවා නොවැ!!!! ඔහොම හිත හිතා ඉන්න කොට ගමරාළට දන්නෙම නැතිව නින්ද ගියා.  පහුවෙනිදා උදෙන්ම අවදි වෙච්ච ගමරාළ ආයෙමත් හොත්තරි පංචං ගැන කියවන්න පටන් ගත්තා.  අන්තිමේදී මේ කතාව දිගින් දිගට ගිහින් කවදාවත්ම නැතුව රංඩුවක් බවටත් පත්වුනා.  ගම හාමිනේටත් හොදටම තරහයි.  ඒත් තරහෙන් කෑ ගහන ගම රාළ දැකලා බය හිතුන ගම හාමිනේ හිමින්ම පිළිකන්න පැත්තෙන් එළියට යන්න ගියා.  තිබිච්ච කලබලේ හින්දම උන්දෑගේ අතක් වැදිලා හාල් දාලා තිබුන කුල්ල බිම වැටිච්චි!!!!!

දෙයියෝ සාක්කි!!!! ගම හාමිනේට දැන් තවත් තරහයි.   ඊයේ නගාගේ ගෙදර ගොහින් ඇවිදින් මොකද්දෝ වෙල්ල වැහුමක් ගැන කියනව කන්දොස්කිරියාවේ බෑ.  කියලා ගම හාමිනේ හයියෙන්ම බනින්න තියාගත්තා.

ඕං බොලේ අර තරහෙන් පුපුර පුපුර හිටපු ගමරාළ එකපාරටම බොහෝම සතුටෙන් මසුරං ගෝනියක් ලැබුනා වගේ උඩ පනින්න පටන් ගත්තා. 

“ආං හරි හාමිනේ.  අන්න ඒක තමයි නම.  ඒක තමයි නම.  වෙල්ල වැහුං, වෙල්ල වැහු!!!! කියමින් සතුටින් කෑ ගැහුවා. 

“ඔහේ පලයං!!!! මේ මනුස්සයා මේ නම අමතක කොරගෙන නොවැ.  ආං එහෙම කියන්ට එපායෑ.  මයේ දෙයියනේ මේ කෑ ගැහුවේ වෙල්ල වැහුං කන්ට ඕනැ වෙලාද? අම්මපා මං එකට සීයක් හදලා දෙඤ්ඤංකෝ........කියලා ගම හාමිනේ කිවුවා.

ගමරාළගේ මුහුණ ඔන්න දැං නම් හොදින් පීදිච්ච කෙහෙල් කැනක් වගේ.  සතුට ඉතිරිලා ගිහින්.  එදා ඉතිං හවස ගම හාමිනේ ගමරාළට කන්න වෙල්ල වැහුං හදලා දුන්නා විතරක් නෙවෙයි. අහල පහල අයටත් එක දෙක බෙදුවා.  ගමරාළත් හිතේ හැටියට වෙල්ල වැහුං කෑවා.  ඉන් පස්සේ ගම හාමිනේ සතියකට වතාවක් විතර ගමරාළගේ ආසාව යන්න වෙල්ල වැහුං හදලා දුන්නා.  මමත් මේ එව්වා කන්න යන ගමං.  ගිහිං එන්ඤං!!!!!

No comments:

Post a Comment