සුවද කැකුළු

Saturday, November 10, 2012

රබන් පලපු හැටි


අදත් මට හිතුනා අන්දරේ ගැන කතාවක් ලිවුවොත් හොදයි කියලා කාලෙකට පස්සේ නොලියපු නිසා.  මේ සැරේ කියන්නේ රබන් පලපු කතාවක්. 

ඉස්සර අන්දරේ මහනුවරට පදිංචියට එන්න කලින් හිටියේ මාතර පැත්තේ.  ඒ කාලේ වගේම අදත් මාතර පැත්ත මන්තර ගුරුකම් වලට ප්‍රසිද්ධියක් උසුලනවානේ.  ඉතිං ඒ දවස්වල අන්දරේගේ ගුරුකම් ගැනත් නොදැන හිටපු කෙනෙක් නැති තරම්.  එහෙම කියන්නත් හේතුවක් තියෙනවා  ඇයි දන්නවද? අන්දරේගේ කටින් පිටවෙන වස් කවියක් පවා බොහෝම බලගතු බවට මිනිසුන්ගේ විශ්වාසයක් තිබුණා. 

මේ විදියට කාලය ගතවෙලා යනකොට එක දවසක් අන්දරේව හොයාගෙන මනුස්සයෙක් ආවා.  එයා ආවේ අන්දරේගෙන් මන්තරයක් ගැන දැනගන්න.  දැන් කාලේ වගේ තාක්ෂණික මෙවලම් නොතිබුණ යුගයකනේ අන්දරේ ජීවත් වුනේ.  ඉතින් ඕනෑම මගුලකට තුලාවකට හෝ වෙනත් උත්සව අවස්ථාවකට ගම්වල විවිධ වාදන භාණ්ඩ වෙනුවට ගත්තේ රබාන තමයි.  ඒ නිසාම ගොඩක් ගෙවල්වල රබන් තිබුණා.  මොනයම්ම හෝ උත්සවයක් තියෙනවා නම් ගමේ තියෙන සේරම රබන් ටික එතනට එකතු වෙනවා.  හැමෝම රබන් ගහන්න සහභාගී නොවුනට ඒ දිහා බලන් ඉදලා සතුටක් ලබන්නත් ගම්බද ජනතාව පුරුදු වෙලා හිටියා.  මොකද කියනවා නම් රබන් ගහන්නෙත් තරගයට වගේ නිසා.  හැබැයි මේ වැඩේට අකමැති උදවිය හිතුවේ මේකත් එක්තරා විදියක කන්දොස්කිරියාවක් කියලයි.  ඉතින් අද කාලේ වගේම තමයි එදත් මේ වැඩේට අකමැති අය දොස් කිවුවා.  ඇද පලුදු හෙව්වා.

 ඔන්න එදත් අන්දරේව හොයාගෙන ආවේ ඒ විදියේ කෙනෙක් තමයි.  ඇත්තටම එයාට වුවමනා වෙලා තිබුනේ  මොන ක්‍රමේකින් හරි ගමේ සිද්ධවෙන මේ රබන් ගැහිල්ල නවත්වන්නයි.  සමහර යකැදුරු මහත්තුරු ගාව ඔය රබන් පලන මන්තර එහෙමත් තිබුණයි කියනවනේ.  ඒ කාරණාව මේ කෙනාත් දැනගෙන හිටියා.

ආගිය තොරතුරු කතා කරමින් හිටිය මේ පුද්ගලයා අන්දරේට තමන් ආපු කාරණාව කිවුවා. 

“උන්නැහේ මම ඔබව හොයාගෙන ආවේ ලොකු උපකාරයක් බලාපොරොත්තුවෙනුයි.  මේ අපේ ගමේ හැම ඕනෑ එපාකමකටම රබන් ගැහිලක් පටන් ගෙන තියනවානේ.  මේක මේ කාලයක් තිස්සේ තියෙන කරදරයක්.  මට දැන් මේ වැඩේ තිත්ත වෙලයි තියෙන්නේ.  උන්නැහේට කියන්න මේ කාරණාව හින්දම මට දැන් ගමත් එපා වෙලා.  කොහෙද අපේ ගෙදර උන්දැත් මෙව්වට ඈදෙන්න යනවනේ.  ඒකනේ වැඩේ කියන්නේ.  හැබෑටම අන්දරේ ඔය රබන් පලන මන්තර එහෙමත් තියෙනවා නේද?  මුන්නැහේට පුළුවන් නේද මට රබන් පලන මන්තරයක් කියා දෙන්න.  අනේ පිං සිද්ද වෙනවා අප්පුහාමි....

මේ කතාව අහලා අන්රේට හරිම හිනා!!!!!

“මං ළග නම් එහෙම මන්තරයක් නැහැ උන්නැහේ.....අන්දරේ කිවුවා.

ඒත් මේ මනුස්සයා ඒක පිළිගන්න කැමති වුනේම නැහැ.  කොතරම් කිවුවත් තව තවත් පෙරැත්ත කරන්න පටන් ගත්තා.

“නැහැ ඒක වෙන්න පුළුවන් වෙදයක් නෙවෙයි.  මෙච්චර දක්ෂ කෙනෙක් වෙලත් තමුන් ගාව එහෙම මන්තරයක් නැතෙයි කියන එක මං කොහොම පිළිගන්නද?  අනේ මට අනුකම්පා කරන්න!!! මං ඔබට හොදට සලකන්නම්.

ඔන්න ඉතිං ටික වෙලාවක් අන්දරේ කල්පනා කලා.  දැන් මේ මනුස්සයාගෙන් ගැලවීමකුත් නැහැනේ.  රබන් පලන්න මන්තරයක් කියා දෙනකන් යන්නෙත් නැහැනේ.  දැන් අන්දරේටත් මේ මනුස්සයා කරදරයක් වෙලා.  ඇත්තටම අන්දරේ මෙහෙම දෙයක් දැනගෙන හිටියෙත් නැහැ.  අන්තිමේදි කල්පනා කරලා මෙහෙම කිවුවා.

“ඔය තරම්ම කන්නලව් කරන නිසා මන්තරයක් කියා නොදි යවන එකත් හරි මදිනේ.  මුලින්ම ගිහින් හොදට මුවහත තියෙන උල් පිහියක් අරගෙන එන්නකෝ.....

අන්දරේගෙ කටින් ඒ වචන පිටවෙනවාත් එක්කම බොහෝම සතුටට පත්වුන මේ පුද්ගලයා පිහියක් ගෙනැවිත් අන්දරේට දුන්නා.  ඉතිං මන්තරේ මතුරන්න අවශ්‍ය කළමනාත් එකතු කරගෙන දුං එහෙම අල්ලලා පිහිය හදුන් වතුරෙනුත් හෝදලා පිහිය ගෙට ගෙනිහින් ටික වෙලාවක් ඉදලා මන්තරේ මතුරපු විදියට එළියට ආවා.  ඉන්පස්සේ පිහියත් ගෙනිහින් කල යුතු දේ විස්තර කලා.

“තමුන්නැහේ මේ තරම්ම පෙරැත්ත කළ නිසයි මම මේ වැඩේ කරලා දෙන්නේ.  නැත්නම් කීයක් දෙනවා කිවුවත් කරන්නේ නැහැයි කියලා හිතාගෙන තමයි හිටියේ. දැන් ඉතින් ඔක්කොම හරි.  මේ පිහිය අරන් ගිහින් ගෑණු එකතු වෙලා රබන් ගහන කොට ඔය පිහියෙන් රබාන මැදට දෑත බදලා අනින්න......

අනේ ඉතිං බොහෝම සතුටට පත්වුන අර මනුස්සයා අන්දරේට තෑගි බෝගත් දීලා බොහෝ සෙයින් ස්තුති කරලා පිටවෙලා ගියා.  තමන්ගේ ගමට ගිය මේ මිනිහා උත්සව අවස්ථාවක ගැහැණු රබන් ගහන තැනට ගිහින් අන්දරේ මතුරපු පිහියෙන් රබන් පලන්නට උත්සාහ කලා.  අන්තිමේදී ඔහු ගුටි නොකා බේරුනේ අනූනවයෙන් බව අන්දරේට ටික කලකට පසුව දැනගන්නට ලැබුනා.

1 comment: