ඔන්න එක ගමක ගමරාළ කෙනෙකුයි ගම හාමිනේ කෙනෙකුයි හිටියා. මේ දෙන්නා බොහෝම සමගියෙන්, ගොවිතැන් කරගෙන දැහැමෙන් ජීවත් වුනා. ගමරාළ තමන්ගේ ගෙදර ප්‍රයෝජනයට ගන්න එළවළු කොටුවක් වගා කලා. ඒ එළවළු කොටුවේ එළවළු වර්ග බොහෝමයක් තිබුනා. වට්ටක්කා, අල, බතල, මයියොක්කා, පුහුල්, වම්බටු, මිරිස් වගේ ජාති ගොඩාක් තිබුණා. කෘෂි නාෂක, කෘතිම පොහොර වගේ දේවල් ඒ කාලේ ගම්වැසියන් පාවිච්චි කරන්නේ නැහැනේ. ඔය කොළ පොහොර ගොම පොහොර වගේ දේවල් තමයි වගාවන් සරු කරගන්න දැම්මේ. ඊට අමතරව නිතර වතුර දමලා පොළව තෙත් කලා. වේළුනු කොල ඉවත් කලා. මේ විදියට ගමරාළ බොහෝම ආදරෙන් තමන්ගේ එළවළු කොටුවට සාත්තු සප්පායම් කලා. ගම හාමිනේගෙන් ගමරාළට හොද සහයෝගයක් ලැබුනා. ඒ නිසාම එළවළු කොටුවේ ගස් වැල් පලින් බර වුනා. පළදාව වැඩිවුනා.
දවසක් ගමරාළ ගමහාමිනේට කිවුවා. “මෙදා පාර අපේ කොරටුවේ වෙනදාටත් වඩා බොහෝම සරුවට අස්වැන්න තියෙනවා. ගෙදරටත් ගෙනැත් වැඩිපුර හරිය පොළට ගෙනියන්නයි මගේ කල්පනාව. අළු පුහුල් වැලේ ගෙඩි පිරිලා. මම අද උදේ දැක්කා එක ගෙඩියක් බොහෝම සරුවට හැදිලා තියෙනවා. ඒක අපට සතියකට විතර ඇති මයේ හිතේ.
“අපි එහෙනම් ඒ පුහුලෙන් කන්නත් ඇරන් ඉතිරියෙන් පුහුල් දෝසි ටිකක් හදලා දෝනියන්දෑට ගෙනියමු. දෝණිත් හරි කැමතියි නෙව පුහුල් දෝසි කන්න....ගම හාමිනේ කිවුවා.
“මෙදා පාර පුහුල් ගෙඩි ටික හොද ගානකට දී ගත්තොත් වැඩි පුර කීයක් හරි අතට ගන්නත් ඇහැකි. මං හාමිනේට චීත්තෙකුයි හැට්ටෙකුයි මහගන්න හොද ලස්සන රෙදිත් ඇරන් දෙන්නම්කෝ....එහෙම කිවුවම ගම හාමිනේට ගොඩක් සතුටුයි.
ඔන්න ඉතිං පහුවෙනිදා ගමරාළ ලොකුවට හැදිලා තිබුන පුහුල් ගෙඩිය නෙලාගෙන එන්න කියලා හිතාගෙන කොරටුව පැත්තේ ගියා. අනේ දෙයියනේ....ගමරාළට ඉබේම කියැවුනා.. ඔහුට හරිම පුදුමයි. හොදට හැදිලා තිබුණ පුහුල් ගෙඩිය ඊයෙත් තමුන් එනකොට තිබුණනේ. ඒත් දැන් ඒක නැහැ නොවැ. ගමරාළට හරිම දුකයි. ඒ වගේම බොහෝම තරහයි.
“කවුරුද දෙයියනේ එතකොට මගේ පුහුල් ගෙඩිය හොරකම් කලේ?? ඔහු හෙමින් හොද හෝදිසියෙන් වටපිට බැලුවා. අවට ගස් කොලං පොඩිවෙලා තියෙන හැටි දැක්කා.
ගමරාළ ගෙදර ගියේ මේකට මොකද කරන්නේ කියලා කල්පනා කරමිනුයි. ඉතිං පුහුල් නෙලාගෙන එන්න ගිය ගමරාළ හිස් අතින්ම එනවා ඈත තියාම ගම හාමිනේ දැක්කා. ඇයට පුදුම හිතුනා. මොකද ගමරාළට අසනීපයක්වත්ද? ඇය කල්පනා කලා.
“හාමිනේ...හාමිනේ.....බලන්නකො හාමිනේ අර හොදට හැදිලා තිබුන පුහුල් ගෙඩිය ඊයේ රාත්තිරියේ කවුද හොරකම් කරලා නොවැ?...
“මොනවා? හොරකම් කරලා? ඇයටත් ඉබේටම කියැවුනා.
“අපි කොහොමද මේ හොරා කවුද කියා හොයාගන්නේ? ගමරාළ දුකෙන් වගේම තරහෙන් ඇසුවා.
“පොඩියක් හිටින්කෝ. මම ඕකට පිළියමක් කල්පනා කොරලා කියනකල්. ගම හාමිනේ එහෙම කිවුවා. ගමරාළ දන්නවා තමන්ගේ හාමිනේ බොහොම නුවනක්කාරි කියලා. ගමහාමිනේ කලබල නොවී හිමින් සීරුවේ මේ ගැන කල්පනා කලා. ඇයට හොද අදහසක් පහල වුනා.
“හරි...මං කියන්නම්කෝ යස උපායක්...අපේ අර පොඩි සීනුවක් තිබුනා නොවැ. අපි ඒ සීනුවත් ගගහා ගම මැද්දට යමු. එතකොට ගමේ මිනිස්සු මොකදෑ බලන්න රැස්වේවි නොවැ. ඒ වෙලාවට “පුහුල් හොරා කරෙන් දැනේ..කිය කිය හොද සෝදිසියෙන් බලමු. ගම හාමිනේ තමන්ගේ අදහස ගමරාළට ඉදිරිපත් කලා.
ඔන්න ඉතිං ගමරාළ රතු ලේන්සුවක් ඇරන් ජටාවක් බැදගත්තා. අර කියාපු සීනුවත් අතට ගත්තා. දැන් ඔන්න ගමරාළ සීනුව නාද කර කර ගම මැද්දට යනවා. ගමේ මිනිස්සු එකා දෙන්නා මේ මොකද්ද බලන්න ගම මැද්දට ආවා.
“ඩෙන්න ඩෙනෝ ඩෙනෝ
ඩෙන්න ඩෙනෝ ඩෙනෝ
මෙන්න මෙහේ වරෝ
පුහුල් හොරා කරෙන් දැනේ
පුහුල් හොරා කරෙන් දැනේ
ඔන්න ඔය විදියට කිය කියා ගමරාළ බොහෝම විපරමෙන් වටේ රැස් වෙලා උන්න උදවිය දිහා බැලුවා. එතකොටම එක මිනිහෙක් තමන්ගේ කර අත ගෑවා. ආයිත් පාරක් කර අත ගෑවා. නැවත නැවතත් තමන්ගේ කර දිහා හොරැහින් බලමින්ම කර අතගානවා ගමරාළ දැක්කා. ඉන්පස්සේ මේ කෙනා හිමීට තමන්ගේ අමුඩ ලේන්සුවෙන් කර පිහදැම්මා. ඔන්න එතකොටම ගමරාළ පැනපු ගමන්ම ඒ මිනිහාව අල්ලා ගත්තා.
“උඹ තමයි හොරා....???උඹ මගේ පුහුල් ගෙඩිය හොරකම් කර කරේ තියාගෙන ආවා. ඒක නොවැ හොරැහින් බල බල කර පිහදැම්මේ.
ඉන්පස්සේ ගමරාළ මේ මිනිහාව ගම්මුලාදෑනියාට බාර දුන්නා. ඔහු නඩුව විභාග කරන වෙලාවේ අර මනුස්සයා පිළිගත්තා තමන් පුහුල් ගෙඩිය හොරකම් කල බවට. පසුව හොරාට කැඩූ පුහුල් ගෙඩිය ඔළුව උඩ තියාගෙන “මං මීට පස්සේ හොරකම් කරන්නේ නැහැ. කියමින් ගම වටේ යන්නට නියම කලා. එසේ ගම වටේම ගොස් ගමරාළගේ ගෙදරට එම පුහුල් ගෙඩිය හොරා විසින්ම බාර දෙන්නට නියම කලා.
ඔන්න ඉතිං පේනවනේ හොරකම් කරලා ඒක කවදාවත් හංගාගෙන ඉන්න ලැබෙන්නේ නැහැ. තමන් හොරකම් කලා කියලා තමන්ගේ හිත දන්නවනේ නේද? මේ අලු පුහුල් කතාව නිසාම පසු කාලෙක “පුහුල් හොරා කරෙන් දැනේ...කියලා පිරුලකුත් ගැමියන්ගේ බස් වහරට එකතු වුනා.
good
ReplyDelete