සුවද කැකුළු

Saturday, October 29, 2011

නරියාගේ නඩු තීන්දුව


 ඔන්න ඉතිං දවසක් ගමරාළට ඕන උනා අං තට්ටුවක්.   ඒක ඉතිං ඉහේ පළදවන්න එහෙම නෙමෙයි. ගෙදර බිත්තියේ සවිකර   තියන්ට. එතකොට ඉතිං අලංකාරයිනේ. අනෙක තමයි ඉස්සර කාලේ මිනිස්සුන්ගෙ   විශ්වාසයක් තිබුණා මෙහෙම අං තට්ටුවක් ගෙදර බිත්තියේ  තිබුණොත් ඒක සෞභාග්‍යයට හේතුවක් කියලා. 
ඉතිං මේකට යොදා   ගත්තේ ගෝන අං හරි එහෙම නැත්නම් මුව අං හරි තමයි.  නමුත් කාලයක් ගතවෙන කොට ගෝනුන්ගේ අං වැටෙන බවත් එහෙමත් නැත්නම් මිය ගියාට පස්සේ අං තට්ටුව ගන්න පුළුවන් බවත් 
ගැමියන් කියන්නට වුනා. මුවන්ගේ අං තට්ටුව නම් ගන්න පුළුවන් වෙන්නේ  මිය ගියහම තමයි.

ගමරාළ අං තට්ටුවක් හොයාගෙන කැලෑවට ගියා. ඉතිං ඔහොම අං තට්ටුවක් හොයාගෙන හොයාගෙන කැලයේ ඈතටම ගිය ගමරාළට බලාපොරොත්තු වෙච්ච විදියට  අං තට්ටුවක් හොයාගන්න බැරිවුනා.  පස්සේ ගමරාළ හිතුවා මම තවත් කැලේ ඈතට ඇවිදිනවද? එහෙම නැත්නම් ආපසු ගමට යනවද කියලා.  ඔන්න ඔහේ එක්කෝ මේ ආපු එකේ තවටික දුරක් ගිහින් බලලා  ආපහු ගමට යනවා කියලා කල්පනා කලා.  ඉතිං ඔහොම ඉදිරියට යන ගමරාළට ටික දුරක් යද්දි කොටියෙකුගේ කෙදිරිලි හඩක් ඇහුනා.  කරදරයට පත් වෙලා ඉන්න කොටියෙකුගේ හඩක් කියලා ගමරාළට තේරුනා. එයා ඉතිං වටපිට සොයා බැලුවා.     
                                 
“ආහ්...!! මේ වළ ඇතුලේ ඉන්නේ. මොකද කොටිරාළ වලේ බැහැලා?  ගමරාළ කොටියාගෙන් ඇහුවා.
“හරි වැඩේනේ ගම මාමේ උනේ.  මං මේ වලට වැටුණා නොවැ. දැන් දවස් තුනක් ගතවුනා.  ගොඩ එන්න බැරි වුනා.  අනේ මාමේ මට පිහිට වෙන්න මාමේ. කොටියා ගමරාළට පිංසෙන්ඩු වුනා.

“කොහාමද බොල උඹට පිහිට වෙන්නේ උඹ නපුරු සතා නොවැ? මට මයි කරදරයට වැටෙන්ට වෙන්නේ නුඹව ගොඩ ගත්තොත් එහෙම...ගමරාල කිවුවා.

“අනේ මා ගැන ඔහොම හිතන්න එපා මාමේ. මං ගොඩ ගත්තොත් කියන ඕනම උදව්වක්  කරන්නම්.  මා ගොඩ නොගත්තොත් මෙතැනම මැරිලා යාවි.....

ඉතිං ගමරාළට බොහොම අනුකම්පා හිතුනා.

“හොදයි එහෙනම් මං උඹව ගොඩගන්නම්කෝ. ටිකක් කලබල නොවි ඉදින්කෝ. ...කියු ගමරාළ කැලයෙන් හයිය වැල් පොටක් කඩාගෙන ආවා.  ඉන්පස්සේ ඒ වැල්පොට වල ඇතුලට දැම්මා.  කොටියා ඒ වැල් පොට ඇග වටේ පටලවා ගෙන කටින් අල්ලා ගත්තා.  ගමරාළ වලට නැමී තිබුනු ගහක ආධාරයෙන් කොටියා ගොඩට ඇදලා අරගත්තා.  ගොඩට ආවට පස්සේ කොටියා මෙහෙම කිවුවා.

“මං දවස් තුනක් තිස්සේ මස් කැදැල්ලක් ලේ බිංදුවක් නැතුවයි හිටියේ. මට දැන් හොදටම බඩගිනියි. මං දැන් උඹව මරාගෙන කනවා....  ඔන්න එතකොට තමයි ගමරාළට දවල් තරු පෙනුනේ. ඒක වදින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටුනා වගේ වැඩක් නේ. ගමරාළට දැන් උතුර දකුණ මාරු වෙලා. හීන් දාඩිය දාලා. ගමරාළ වෙව්ලන හඩින් මෙසේ   කිවුවා.

“වලේ ඉදිද්දි නුඹ මට පොරොන්දු වුනා කිසිම කරදරයක් නොකරන බවට ඒ වගේම ඕන උදව්වක් කරන්නම් කියලත් කිවුවා. දැන් මා මරන්න හදන එක  යුතුකමක්ද?

“බඩගින්නේ ඉන්න කොට දෙන පොරොන්දු වලින් වැඩක් නැහැ. අනෙක කොටියෙක් දෙන පොරොන්දු මොලේ ඇති මිනිහෙක් පිළිගන්නවාද? මට දැන් ඕන උඹව මරාගෙන කන්නයි.....


ඔන්න ඉතිං ගමරාළත් කොටියාත් මේ විදියට තර්ක කරමින් ඉන්න කොට එතනින් ගමනක් යන්න නරියෙක් ආවා.  මද වෙලාවක් මේ රංඩුව දිහා බලාගෙන හිටි නරියා ටිකක් ලං වුනා.  නරියා දුටු ගමරාළ නරියාට නඩුව කිවුවා.  මේ කතාව අහගෙන හිටපු නරියා ටිකක් කල්පනා කලා.  “ඉක්මනින් මේ නඩුව විසදලා දුන්නොත්  ඔන්න නරිහාමිටත් වාසියක් වෙනවා.  කොටියා පගාවක් දෙන බවට ඉගියක් කලා. නමුත් කරුණු කාරණා හොදින් අවබෝධ කරගත් නරියා ඒ කතාවට රැවටුනේ නැහැ.

“හොදයි හොදයි...මම සාධාරණව නඩුව  විසදන්නම්කෝ.  හැබැයි ඉතිං මට  බලාගන්න ඕන මුල ඉදලම සිදුවුන දේවල්.  ඒ නිසා මුලින්ම දෙදෙනා හිටපු ආකාරයට ඉන්න ඕන. ගමරාළ මුලින් හිටපු තැන ඉන්න බලන්න. කොටිරාළ වලේ හිටපු විදියටම ඉන්න.  නරියාගේ නියමයෙන් කොටියා  ආපහු වලට පැන්නා.


“මං මුලින් හිටියේ මෙන්න මෙහෙමයි.  කොටියා කිවුවා.
“ඔන්න ඔහොමම කොටිරාළ දිගටම ඉන්න.  මං කතා කරනකම් ගොඩට එන්න බලන්න එපා. එහෙම කියපු ගමරාළ  නරියාත් එක්ක යන්න ගියා.
“ කිසිම දවසක කොටියෙකුට උදව් කරන්න එපා. කොටියාගේ පුරුද්ද තමයි තමාට උදව් කරපු එක්කෙනාව විනාශ කරන එක.  අනෙක  කොටියෙකු දෙන පොරොන්දු කාටද පිළිගන්න පුළුවන්.  කොටියෙක් විශ්වාස කරනවා නම් ඒ ඉතිං මැරුණු කොටියෙකු තමයි.  එහෙමත් නැත්නම් ඉපදුනේ නැති එකෙක් ගැන.  මෙහෙම කියපු නරියා ගමරාළට කරුණු පැහැදිලි කරදීලා යන්න ගියා.


Tuesday, October 25, 2011

රුවන් වැකි

*     උත්සාහය සතුරෙකු මෙන් පෙනෙන මිතුරෙකි. ප්‍රමාදය මිතුරෙකු මෙන් පෙනෙන සතුරෙකි.
       (ව්‍යාෂ සෘෂිවරයා)

*     ජයග්‍රහණය කෙරෙහි බුද්ධියට වඩා බලපාන්නේ උත්සාහයයි
       (ඇමෙරිකන් ජාතික පූජකයෙකු වූ චාල්ස් වෙන්ට්)

*     වේලාව කා දමනු ලබන පුද්ගලයා කාලය විසින් නසා දමනු ලබයි.
       (විලියම් ශේක්ෂ්පියර්)

*     මිනිසාට ඇති හොදම මිතුරා සිය බුද්ධියයි.
       (විලියම් ටිම්පල්)

*     ආත්ම ශක්තියෙන් සරු පුද්ගලයාගේ අනාගතය කවරදාවත් අදුරු නොවේ.
       (හෙන්රි ලෝං පෙලෝ)

*     ඉවසීමත් අධිෂ්ඨාන ශක්තියත් ඇති පුද්ගලයා කිසිම කාර්යයකදී පසු නොබසී.
       (අයිරීෂ් ජාතික කවියෙකු වූ හියූකේලී)

*     ඉගෙනීමේ කටයුතු පාසැලට පමණක් සීමා කරන ශිෂ්‍යයා කූඩුවක වැඩෙන කුරුල්ලෙකු මෙනි.
       (බර්නාඩ් ෂෝ)

       (පැරණි පොතකින් උපුටා ගත්තා)

අබරා සිල් ගත්තා වගෙයි

ඔන්න දුවේ පුතේ, ඉස්සර කාලේ අබරා කියලා
මිනිසෙක් හිටියා.මේ අබරාගේ හාමිනේ පෝය
දවස්වලට අටසිල් සමාදන් වෙන්න පුරුදු වෙලා හිටියා.
  ඉතිං එක දවසක් මේ අබරාටත් සිල්ගන්න උවමනා වුනා. 
ඒත් එයා කලින් සිල් අරන් නොතිබුන නිසා ඒ ගැන මොනවත්
දැනගෙන හිටියේ නැහැ.  ඉතිං එයාට ඕන උනා සිල්ගන්න විදිය
දැනගන්න.එයා ඒ ගැන එයාගේ හාමිනේගෙන් ඇහුවා.
“ආ....හාමුදුරුවෝ කියන කියන වචනේ 
තමනුත් කියන්න ඕනෙ...අබරාගේ
හාමිනේ කිවුවා.

ඉතිං ඔන්න දවස් ගත වෙලා ගිහින් පෝය දිනයත් ආවා.  අබරා සුදු රෙද්දක් හැදගෙන සුදු 
සළුවක් පොරවගෙන පන්සලට ගියා. ගිහින් හාමුදුරුවෝ ඉස්සරහා හිටගත්තා.  හැබැයි හාමුදුරුවන්ට
වැන්දේ නැහැ. ඉතිං අබරා දිහා ටික වෙලාවක් බලාගෙන හිටිය හාමුදුරුවෝ “ආවේ මොකටදැයි..
අබරාගෙන් ඇහුවා. එතකොටම අබරාගේ කටිනුත් පිටවුනේ මොනවද දන්නවද?
“ආවේ මොකටද? කියලා.  ඔන්න ආයෙත් සැරයක් හාමුදුරුවෝ ඇහුවා
“මොකද? උඹට පිස්සුද? එතකොට අබරා කියනවා “මොකද? උඹට පිස්සුද? කියලා.
“ගනු කඹයක් මූ බැදලා දාන්න.... කියලා හාමුදුරුවෝ තරහෙන් කිවුවා. ඉන්පස්සේ අබරාත්
 කෝපයෙන් වගේ අර හාමුදුරුවන් කියපු වචන ටිකම කිවුවා. ඒත් ඒ වෙලාවෙම හාමුදුරුවන්ගේ අණ
පරිදි ඇබිත්තයා ඇවිල්ලා අබරාට ගුටි බැට දීලා එලවා දැම්මා.  වරක් හිස අත ගාමිනුත්, තවත් වරක්
පිට අත ගාමිනුත්, තවත් විටෙක පපුව අත ගාමිනුත් ගාටමින් නිවස දෙසට එන තම ස්වාමියා
දැකපු අබරාගේ හාමිනේ පුදුමයට පත්වුනා.  “ඇයි බාන් බොලා හැමදාම කොහොම
සිල් ගන්නවාද? අද එක දවසේ සිල් ගන්ට ගිහින් මගේ ඇට ඔක්කොම පොඩි වුනා
සිල් ගැනිල්ලත් මහාම මහා බයානක වැඩක් නොවැ බැලින්නම්. .. අබරා
කිවුවා.  ඉන්පස්සේ තමන්ට වෙච්ච ඇබැද්දිය හාමිනේ එක්ක
මුල ඉදන් අගටම කිවුවා. තම ස්වාමියාගේ අනුවන කම
ගැන කවදත් දැනගෙන හිටි අබරාගේ හාමිනේ
තෙල් බෙහෙත් ගල්වා ඔහුට සාත්තු කලා.

ටිකක් දවස් යනකොට මේ කතාව ගම
පුරාම පැතිරිලා ගියා. අබරාගේ හාමිනේගේ
යෙහෙලියන්ගේ සරදම් වචන කොතෙකුත් ඉවසා
ඉන්ට බැරි වුනත් තම සැමියාගේ අනුවණ කම ගැන සිතා
ඔහුට අනුකම්පා කලා.ඒ විතරක් නෙමෙයි හාමුදුරුවන්
ගැන ඇය බොහෝම කල කිරුනා. එතැන් පටන්
ඇය සිල්සමාදන්වීමට යන ගමනත් නතර
කලා.තමන්ට
නුහුරු නුපුරුදු දෙයක්
කරන්න ගිහින් අමාරුවේ
වැටෙන අය දැක්කම මේ පිරුළ
අපේ මතකයට එන්නේ නිරායාසයෙන්මයි.

Friday, October 21, 2011

අහුරු කුක්කා

අන්දරේ ගැන පුංචි ඔයාලට මම කලිනුත් කියලා තියෙනවානේ. අන්දරේ කියන්නේ රජ වාසල කවටයාටනේ. ඔන්න එක දවසක් රජතුමා තමන්ගේ ඇමතිවරුත් පිරිවරාගෙන ටිකක් විනෝද වෙන්නත් කියලා හිතාගෙන ඇවිදින්න ගියා.  ඒ යන එන අතරතුරේදි තමන්ගේ රටවැසියන්ගේ සුව දුක් සොයා බලන්නත් රජතුමා අමතක කලේ නැහැ.  මෙහෙම යන ගමන් බිමන් වලදි අන්දරේවත් එකතු කර ගන්න රජතුමා හැම වෙලාවෙම උනන්දු වුනා. මොකද දන්නවද අන්දරේ ඉන්න තැන කිසිම පාලුවක් දැනෙන්නේ නැහැනේ. හිනාවෙන් විහිලුවෙන්ම කාලය ගත වෙනවා තේරෙන්නෙ නැහැ .


ඔන්න එදාත් වෙනදා වගේම බොහෝම විනෝදයෙන් ගමන් කරන කොට රජතුමා දැක්කා තමන් ගමන් කරන පාර හරහා කුඩා සතෙක් යනවා. ඌ හරියට සර්පයෙක් වගේ.  හැබැයි රජතුමා ඉක්මනින්ම මේ සතා කවුද කියල හදුනගත්තා. ඌ හරිම අහිංසක සතෙක්.  මේ සතාව ඒ කාලේ කවුරුත් හැදින්වුයේ “මං බල්ලා... කියන නමින්.


සතාව දැක්ක රජතුමාට ඒ එක්කම ඔළුවට අදහසක් ආවා. රජතුමාට හිතනා අන්දරේට පුංචි විහිළුවක් කරන්න.  රජතුමා ඇමතිවරු එක්ක හෙමිහිට සාකච්ජා කරලා මෙහෙම ඇහුවා.
“අන්දරේ කියමුකෝ බලන්න මේ සතා මොකාද කියලා.


“සතාව දුටු අන්දරේ මේ යන්නේ මං බල්ලා බව අදුන ගත්තා. ඒත් රජුට උවමනා කරන්නේ තමන්ගේ කටින් “මං බල්ලා කියන වචනය කියවා ගන්න බව  අන්දරේ තේරුම් ගත්තා.


සතාව හොදින් පරික්ෂා කර බැලූ අන්දරේ


“දේවයන් වහන්ස, මේ සතාට අපි නම් කියන්නේ අහුරුකුක්කා කියලයි....කිව්වා.


එදා ඉදන් තමයි “මං බල්ලා.... කියන සතාට අහුරු කුක්කා කියන නම ලැබුනේ. හොදයි නේද අන්දරේ තැනට ඔබින විදියට තමන්ගේ නුවණ පාවිච්චි කල විදිය.

Monday, October 10, 2011

පුහුල් හොරා කරෙන් දැනේ

ඔන්න එක ගමක ගමරාළ කෙනෙකුයි ගම හාමිනේ කෙනෙකුයි හිටියා. මේ දෙන්නා බොහෝම සමගියෙන්, ගොවිතැන් කරගෙන දැහැමෙන් ජීවත් වුනා.  ගමරාළ තමන්ගේ ගෙදර ප්‍රයෝජනයට ගන්න එළවළු කොටුවක් වගා කලා.  ඒ එළවළු කොටුවේ එළවළු වර්ග බොහෝමයක් තිබුනා.  වට්ටක්කා, අල, බතල, මයියොක්කා, පුහුල්, වම්බටු, මිරිස් වගේ ජාති ගොඩාක් තිබුණා.  කෘෂි නාෂක, කෘතිම පොහොර වගේ දේවල් ඒ කාලේ ගම්වැසියන් පාවිච්චි කරන්නේ නැහැනේ.  ඔය කොළ පොහොර ගොම පොහොර වගේ දේවල් තමයි වගාවන් සරු කරගන්න දැම්මේ.  ඊට අමතරව නිතර වතුර දමලා පොළව තෙත් කලා.  වේළුනු කොල ඉවත් කලා.  මේ විදියට ගමරාළ බොහෝම ආදරෙන් තමන්ගේ එළවළු කොටුවට සාත්තු සප්පායම් කලා.  ගම හාමිනේගෙන් ගමරාළට හොද සහයෝගයක් ලැබුනා. ඒ නිසාම එළවළු කොටුවේ ගස් වැල් පලින් බර වුනා.  පළදාව වැඩිවුනා. 

දවසක් ගමරාළ ගමහාමිනේට කිවුවා.  “මෙදා පාර අපේ කොරටුවේ වෙනදාටත් වඩා බොහෝම සරුවට අස්වැන්න තියෙනවා.  ගෙදරටත් ගෙනැත් වැඩිපුර හරිය පොළට ගෙනියන්නයි මගේ කල්පනාව.  අළු පුහුල් වැලේ ගෙඩි පිරිලා.  මම අද උදේ දැක්කා එක ගෙඩියක් බොහෝම සරුවට හැදිලා තියෙනවා.  ඒක අපට සතියකට විතර ඇති මයේ හිතේ.

“අපි එහෙනම් ඒ පුහුලෙන් කන්නත් ඇරන් ඉතිරියෙන් පුහුල් දෝසි ටිකක් හදලා දෝනියන්දෑට ගෙනියමු. දෝණිත් හරි කැමතියි නෙව පුහුල් දෝසි කන්න....ගම හාමිනේ කිවුවා.

“මෙදා පාර පුහුල් ගෙඩි ටික හොද ගානකට දී ගත්තොත් වැඩි පුර කීයක් හරි අතට ගන්නත් ඇහැකි.  මං හාමිනේට චීත්තෙකුයි හැට්ටෙකුයි මහගන්න හොද ලස්සන රෙදිත් ඇරන් දෙන්නම්කෝ....එහෙම කිවුවම ගම හාමිනේට ගොඩක් සතුටුයි. 

ඔන්න ඉතිං පහුවෙනිදා ගමරාළ ලොකුවට හැදිලා තිබුන පුහුල් ගෙඩිය නෙලාගෙන එන්න කියලා හිතාගෙන කොරටුව පැත්තේ ගියා.  අනේ දෙයියනේ....ගමරාළට ඉබේම කියැවුනා.. ඔහුට හරිම පුදුමයි.  හොදට හැදිලා තිබුණ පුහුල් ගෙඩිය ඊයෙත් තමුන් එනකොට තිබුණනේ.  ඒත් දැන් ඒක නැහැ නොවැ.  ගමරාළට හරිම දුකයි.  ඒ වගේම බොහෝම තරහයි.

“කවුරුද දෙයියනේ එතකොට මගේ පුහුල් ගෙඩිය හොරකම් කලේ??  ඔහු හෙමින් හොද හෝදිසියෙන් වටපිට බැලුවා.  අවට ගස් කොලං පොඩිවෙලා තියෙන හැටි දැක්කා.

ගමරාළ ගෙදර ගියේ මේකට මොකද කරන්නේ කියලා කල්පනා කරමිනුයි.  ඉතිං පුහුල් නෙලාගෙන එන්න ගිය ගමරාළ හිස් අතින්ම එනවා ඈත තියාම ගම හාමිනේ දැක්කා.  ඇයට පුදුම හිතුනා.  මොකද ගමරාළට අසනීපයක්වත්ද?  ඇය කල්පනා කලා.

“හාමිනේ...හාමිනේ.....බලන්නකො හාමිනේ අර හොදට හැදිලා තිබුන පුහුල් ගෙඩිය ඊයේ රාත්තිරියේ කවුද හොරකම් කරලා නොවැ?...

“මොනවා? හොරකම් කරලා? ඇයටත් ඉබේටම කියැවුනා.
“අපි කොහොමද මේ හොරා කවුද කියා හොයාගන්නේ? ගමරාළ දුකෙන් වගේම තරහෙන් ඇසුවා.
“පොඩියක් හිටින්කෝ. මම ඕකට පිළියමක් කල්පනා කොරලා කියනකල්.  ගම හාමිනේ එහෙම කිවුවා.  ගමරාළ දන්නවා තමන්ගේ හාමිනේ බොහොම නුවනක්කාරි කියලා.  ගමහාමිනේ කලබල නොවී හිමින් සීරුවේ මේ ගැන කල්පනා කලා.  ඇයට හොද අදහසක් පහල වුනා. 
“හරි...මං කියන්නම්කෝ යස උපායක්...අපේ අර පොඩි සීනුවක් තිබුනා නොවැ.  අපි ඒ සීනුවත් ගගහා ගම මැද්දට යමු. එතකොට ගමේ මිනිස්සු මොකදෑ බලන්න රැස්වේවි නොවැ.  ඒ වෙලාවට “පුහුල් හොරා කරෙන් දැනේ..කිය කිය  හොද සෝදිසියෙන් බලමු.  ගම හාමිනේ තමන්ගේ අදහස ගමරාළට ඉදිරිපත් කලා.

ඔන්න ඉතිං ගමරාළ රතු ලේන්සුවක් ඇරන් ජටාවක් බැදගත්තා. අර කියාපු සීනුවත් අතට ගත්තා.  දැන් ඔන්න ගමරාළ සීනුව නාද කර කර ගම මැද්දට යනවා.  ගමේ මිනිස්සු එකා දෙන්නා මේ මොකද්ද බලන්න ගම මැද්දට ආවා. 

“ඩෙන්න ඩෙනෝ ඩෙනෝ
ඩෙන්න ඩෙනෝ ඩෙනෝ
මෙන්න මෙහේ වරෝ
පුහුල් හොරා කරෙන් දැනේ
පුහුල් හොරා කරෙන් දැනේ

ඔන්න ඔය විදියට කිය කියා ගමරාළ බොහෝම විපරමෙන් වටේ රැස් වෙලා උන්න උදවිය දිහා බැලුවා. එතකොටම එක මිනිහෙක් තමන්ගේ කර අත ගෑවා.  ආයිත් පාරක් කර අත ගෑවා.  නැවත නැවතත් තමන්ගේ කර දිහා හොරැහින් බලමින්ම කර අතගානවා ගමරාළ දැක්කා.  ඉන්පස්සේ මේ කෙනා හිමීට තමන්ගේ අමුඩ ලේන්සුවෙන් කර පිහදැම්මා.  ඔන්න එතකොටම ගමරාළ පැනපු ගමන්ම ඒ මිනිහාව අල්ලා ගත්තා. 
“උඹ තමයි හොරා....???උඹ මගේ පුහුල් ගෙඩිය හොරකම් කර කරේ තියාගෙන ආවා.  ඒක නොවැ හොරැහින් බල බල කර පිහදැම්මේ. 

ඉන්පස්සේ ගමරාළ මේ මිනිහාව ගම්මුලාදෑනියාට බාර දුන්නා.  ඔහු නඩුව විභාග කරන වෙලාවේ අර මනුස්සයා පිළිගත්තා තමන් පුහුල් ගෙඩිය හොරකම් කල බවට.  පසුව හොරාට කැඩූ පුහුල් ගෙඩිය ඔළුව උඩ තියාගෙන  “මං මීට පස්සේ හොරකම් කරන්නේ නැහැ.  කියමින් ගම වටේ යන්නට නියම කලා.  එසේ ගම වටේම ගොස් ගමරාළගේ ගෙදරට එම පුහුල් ගෙඩිය හොරා විසින්ම බාර දෙන්නට නියම කලා. 

ඔන්න ඉතිං පේනවනේ හොරකම් කරලා ඒක කවදාවත් හංගාගෙන ඉන්න ලැබෙන්නේ නැහැ. තමන් හොරකම් කලා කියලා තමන්ගේ හිත දන්නවනේ නේද? මේ අලු පුහුල් කතාව නිසාම පසු කාලෙක “පුහුල් හොරා කරෙන් දැනේ...කියලා පිරුලකුත් ගැමියන්ගේ බස් වහරට එකතු වුනා.

Tuesday, October 4, 2011

පිනෝ කියෝ

එකෝමත් එක ගමක හිටියා බොහෝම හොද ටිකක් වයසක සීයා කෙනෙක්.  මේ සීයාට හොදට රූකඩ හදන්න පුළුවන්.  එයාගේ ගෙදර හිටියේ එයා තනියම. ඉතින් මේ සීයා මුළු දවස තිස්සෙම කලේ රූකඩ හදන එක.  එක එක විදියේ රූකඩ හදලා ඒවා තීන්ත ගාලා ලස්සනට පාට කලා.  තමන්ගේ අතින් නිර්මාණය වුනු මේ රූකඩ දිහා බලලා සීයා බොහෝම සතුටු වුනා.

ඔන්න ඉතිං දවසක් සීයාගේ ගෙදර කාමරයක මුල්ලේ තිබිලා බොහොම අපූරු ලී කෑල්ලක් හම්බ වුනා.  සීයා ඉතින් මේ ලී කෑල්ලෙන් බොහෝම අපූරු රූකඩ ළමයෙක් කැපුවා.  සීයා මේ රූකඩ ළමයාට නිකමට වගේ පිනෝ කියෝ කියලා නමකුත් දැම්මා.
“අනේ ඉතිං මටත් මේ වාගේ පුතෙක් හිටියා නම් කොතරම් අපූරුද? සීයා අර රූකඩ ළමයා දිහා බලාගෙන හිතුවා.  සීයා කියපු මේ කතාව පුංචි සුරංගනාවියෙක් හොරෙන් අහගෙන හිටියා. මේ පුංචි සුරංගනාවිට සීයා ගැන හරිම දුකයි. ඇයි ඉතිං සීයා තනියෙන්මනේ ඉන්නේ.

“මම මේ සීයට කොහොම හරි උදව් කරන්න ඕනේ.   සුරංගනාවි සිතුවා.  ඔන්න ඉතිං පහුවෙනිදාට එළිවුණා. සීයා වෙනදා වගේම උදේ නැගිට්ටා.  එතකොටම සීයා බොහෝම පුදුමයට පත්වුනා.  ඒ මොකද දන්නවද?  අර සීයා කලින් දවසේ ලී කෑල්ලකින් හදපු රූකඩේ පිනෝ කියෝ.. එයා සීයගේ ඇද ලගට වෙලා හිනාවෙවී ඉන්නවා.  ඉතිං කාටද පුදුම නොහිතෙන්නේ නේද?
කොහොමද රූකඩ පැංචා මෙතැනට ආවේ? සීයා පුදුම වෙලා නැගිට්ටා.
                                                 
සීයේ මේ බලන්නකෝ මට කතාකරන්න, නටන්න, දුවන්න, පනින්න, ඕනෑ එකක් කරන්න පුළුවන්.....පිනෝ කියෝ කිවුවා.  “මාව මේ විදියට ළමයෙක් කලාට සීයාට ගොඩාක් ස්තුතියි.     පිනෝ කියෝ සීයාගේ අතේ එල්ලීගෙනම හරිම සතුටින් කෑගැහුවා.  ඒ විතරක් යෑ.  පිනෝකියෝ ළමයෙක් වුන එකට සීයාටත් හරිම සතුටුයි.

ඉතින් සීයා හිතුවා පිනෝ කියෝව ඉස්කෝලේ ඇරලා හොදට අකුරු සාස්තරේ උගන්නලා එහෙම හොද ළමයෙක් කරන්න. 

                                                                                                                                                   

දැන් ඔන්න පිනෝ කියෝ ඉස්කෝලේ යනවා. එයා එයාගේ අලුත් ඉස්කෝලෙටයි යාළුවන්ටයි හරිම කැමතියි. සීයාත් හරිම  ආසාවෙන් තමයි පිනෝ කියෝව ඉස්කෝලෙ ඇරියේ.  ඔන්න ටික දවසක් යනකොට පිනෝ කියෝට අලුත් යාලුවෝ දෙන්නෙක් හම්බවුනා.  හැබැයි ඒ දෙන්නා නම් හොද යාලුවෝ නෙමෙයි.  බොහෝම නරක දග වැඩ කරන දෙන්නෙක්.  “අපෝ හැමදාම ඉස්කෝලෙ ගිහින් වැඩක් නැහැ. එකපාරටම සල්ලි ගොඩක් හොයන්නයි ඕන. සල්ලි හොයන විදිය අපි නම් දන්නවා.  ඔයත් එන්න අපිත් එක්ක යන්න.  එයාලා පිනෝකියෝට අඩගැහුවා.  

“එකපාර සල්ලි ගොඩක් ලැබුනොතින් ඇත්තමයි, හොදයි තමයි. එහෙනම් තාත්තටයි මටයි කරදරයක් නැතිව හොදින් ඉන්න පුළුවන්...
පිනෝ කියෝ එහෙම හිතලා යාළුවන් එක්ක යන්න කැමති වුනා.  

 
ඉතිං පිනෝකියෝව ළමයෙක් කරපු සුරංගනාවි මේ හැම දෙයක්ම බලාගෙනයි හිටියේ. තාත්තාට අකීකරු වුන නිසා එයාට හොදටම තරහා ගියා. මේ ළමයාගේ අකීකරු වැඩ වලට හොද පාඩමක් උගන්වන්න ඕනෑ. පුංචි සුරංගනාවි එහෙම හිතුවා. ඔන්න ඉතිං එතකොටම මොකද දන්නවද උනේ. පිනෝ කියෝගේ කන් දෙක ගොඩක් දික් වුනා. ඒ මදිවට නහයත් දික් වෙන්න පටන් ගත්තා. දෙයියනේ. මේන්න වලිගෙකුත් ඇවිල්ලා.  
“හා...හා...මෙන්න බූරු පැටියෙක් ඇවිල්ලෝ.....එයාගේ යාළුවෝ එයාට හිනාවෙන්න පටන් ගත්තා. දැන් පිනෝට හොදටම ලැජ්ජයි එත් ඉතිං මොනවා කියලා කරන්නද? අනිත් එක දැන් එයාට තනියම පාර හොයාගෙන ගෙදර යන්න දන්නෙත් නැහැ.  


ඔහොම දවස් ගානක්ම ගෙවිලා ගියා.  එක දවසක් පිනෝ කියෝ එයාගේ යාළුවෝ එක්ක මුහුද දිගේම ඇවිදගෙන ගියා.  ඒ වෙලාවේ එයා දැක්කා එයාගේ තාත්තා ඔරුවක නැගලා ඈත මුහුදේ යනවා.  
“අන්න මගේ තාත්තා....පිනෝ කියෝ කෑගහන්න ගත්තා.  තාත්තාව දැක්කම එයාට පුදුම සතුටක් දැනුනේ.  


“තාත්තා යන්නේ ඔයාව හොයන්න වෙන්න ඕන...යාළුවෝ දෙන්නා කිවුවා.  ඔන්න එතකොටම මහා විශාල තල්මසෙක් වතුරෙන් උඩට මතුවෙලා සැනෙකිල් බෝට්ටුව ගිල්ලා.  
“අයියෝ...අපොයි මගේ තාත්තා.  මං යනවා තාත්තාව බේරගන්න.   එහෙම කියපු පිනෝ කියෝ එකපාරටම වතුරට පැන්නා.  ඒ වුනාට මොකද දන්නවද උනේ.  අර විශාල තල්මහා පිනෝ කියෝවත් ගිල්ලා.  
“පිනෝ කියෝ ඉක්මනට මගේ අත අල්ලාගන්න...කවුදෝ කෑගහනවා ඇහුනා.  දන්නවද?  ඒ තමයි පිනෝකියෝගේ තාත්තා.  
“අනේ තාත්තේ දැන් අපි කොහොමද මෙතනින් බේරිලා යන්නේ. පිනෝ කියෝ තාත්තාගෙන් ඇහුවා.  එතකොටම එයාට හොද අදහසක් ආවා.  ඉතිං එයා එයාගේ දිග කන්දෙක එහාට මෙහාට කලා.  “කවුදෝ මගේ බඩ කසනවා. තල්මහා හිතුවා.  තල්මහා එහාට මෙහාට දැගලුවා.  ඒ වෙලාවෙම තල්මහට ලොකු කිඹිහුමක් ගියා.  තල්මහ කට ඇරියා විතරයි පිනෝ කියෝ තාත්තාවත් ඇදගෙන එලියට පැන්නා.  


තාත්තාව කරේ තියාගෙන පිනෝ කියෝ බොහෝම අමාරුවෙන් පීනුවා.  දැන් ඉතිං අර පුංචි සුරංගනාවිට හරිම සතුටුයි.  පිනෝ කියෝ හොද ළමයෙක්. ඒ නිසා එයා පිනෝ කියෝව ඇත්තම ඇත්ත ළමයෙක් කලා. එදා ඉදන් පිනෝ කියෝ තාත්තාවත් බලාගෙන බොහොම සතුටින් කාලය ගත කලා.