සුවද කැකුළු

Sunday, March 11, 2012

6 පරිච්ජේදය


ලොකු වලස්සු දෙදෙනා

වසන්ත කාළය ලංවෙමින් ඇති බව එක් දිනෙක අප්පච්චී කීවේය.  මහ කැලයේ හිම දිය වෙමින් තිබේ.  ගස්වල අතු මත රැදුණු හිම කැට බිමට වැටී දිය වී යන හිම ගොඩැලි මත කුඩා සිදුරු සාදයි. මධ්‍යාහ්නයේදී කුඩා නිවසේ පියසි පුරා ඇති විශාල හිම කූරු සියල්ල හිරු එළිය වැදී ලෙළදෙන්නටත්, කාන්ති විහිදුවන්නටත් වෙයි.  ඒවායේ කෙළවර කුඩා වතුර බිංදු එල්ලෙමින් තිබෙනු පෙනේ.

තමා මුළු සීත කාලය පුරාම උගුල් අටවා අල්ලාගත් කැලෑ සතුන් ගේ සම් විකිණීම සදහා නගරයට යා යුතු බව අප්පච්චී කීවේය.  ඉතින් එක් සැන්දෑවක ඔහු සම් එක්කොට විශාල මිටියක් බැන්දේය.  එහි කොතරම් සම් ප්‍රමාණයක් තිබුණේද යත් ඒවා එක්කොට එක මිටියක් වන්නට කිටි කිටියේ ගැටගැසූ විට එය අප්පච්චී තරමටම විසාල විය.

එක් දවසක හිමිදිඑියේම සම් මිටිය උරහිසේ එල්ලාගත් අප්පච්චී, පයින් ම නගරයට යන්නට පිටත් වූයේය.  ගෙන යන්නට විශාල සම් ප්‍රමාණයක් ඇති බැවින් ඔහු තුවක්කුව ගෙන ගියේ නැත.

අම්මා මේ පිළිබද ව කනස්සල්ලට පත් වූවාය.  එහෙත් ඉර නැගෙන්නට පෙර පිටත්වී මුළු දවස පුරාම හැකි තරම් වේගයෙන් නගරයට ගියොත් අදුර වැටෙන්නට පෙර ආපිට නිවසට ආ හැකි බව අප්පච්චී කිවේය.

ළගම ඇති නගරය පිහිටා තිබෙන්නේ බොහෝ දුරිනි.  ලෝරා හා මේරී කවදාකවත් නගරය දැක නැත.  කවදාකවත් වෙළෙද සැලක් දැක නැත.  නිවෙස් දෙකක් එකට පිහිටා ඇති අයුරුවත් දැක නැත.  එහෙත් නගරයක බොහෝ ගෙවල් ඇති බවත්, රස කැවිලි, රෙදි පිළි හා තවත් අපූරු දේවල් වෙඩි බේත්, මූනිස්සම්, ලුණු හා ගබඩා සීනි ආදී තවත් බොහෝ දේ පිරුණු වෙළෙද සැලක් තිබෙන බවත් ඔවුහු දැන සිටියහ. 

අප්පච්චී වෙළෙන්දාට සම් විකුණා නගරයෙන් ලස්සන ලස්සන දේ ගෙන එන බව දන්නා ඔවුහු, ඔහු ඒ තෑගිත් රැගෙන එන තුරු මුළු දවස පුරාම බලා සිටියහ.  ඉර ගස් මුදුන් අතරින් බැස ගියේය.  හිම කූරු අග රැදුනු වතුර බිදු පොළොවට වැටීම නැවතිණි.  ඔවුහු නො ඉවසිල්ලෙන් අප්පච්චී එන පෙරමග බලා සිටින්නට වූහ.

ඉර දෑමට පෙනන මානයෙන් අතුරුදන්ව ගියේය.  වනය අන්ධකාරයේ ගිලිණි.  ඔහු තවමත් ආවේ නැත.  අම්මා රෑ කෑම පිස මේසය සූදානම් කළාය.  එහෙත් ඔහු තවම නැත.  එය ඉස්තාලයේ වැඩපළ කිරීමට වේලාවයි.  එහෙත් ඔහු තවමත් නැත.

එළදෙන ගෙන් කිරි දෙවීම සදහා ලෝරාට තමා සමග යන්නට එන්නැයි අම්මා කීවාය.  ඈ කිරි දොවන තුරු ලෝරා ලන්තෑරුම අල්ලාගෙන සිටිය යුතුය.

ඉතින් ලෝරා සිය කබාය හැදගත් අතර අම්මා එහි බොත්තම් පියවූවාය.  ඊළගට අම්මා ලන්තෑරුම දන්වන තුරු ලෝරා ඇගේ ගෙල වටා ඇති රතු කැටි නූල් පටියෙන් එල්ලෙන රතු අත් මේස් දමා ගත්තාය.

අම්මාට කිරි දෙවීම සදහා සහාය වන්නට ලැබීම ලෝරා තුළ මහත් ආඩම්බරයක් ඇති කලේය.  ඇය ඉතා පරිස්සමට ලන්තෑරුම අල්ලාගෙන සිටියාය.  බෙලෙක් තහඩුවලින් සාදා ඇති ලන්තෑරුමේ තැන තැන ඉටිපන්දම් එළිය පිටතට විහිදීම සදහා සිදුරු කපා ඇත.

ලෝරා අම්මා පිටුපසින් අඩි පාර දිගේ ගව මඩුවට යන විට ඈ අත ඇති ලන්තෑරුමේ ඉටිපන්දම් එළිය කුඩා තීරු ලෙස හිම තලාව පුරා පැතිරිණි.  තවමත් හොදටම කළුවර වැටී නැත.  කැලෑව පුරා අන්දකාරය පැතිරී තිබුණද හිමෙන් වැසුණු අඩි පාර මත මලානික එළියක් වැටී තිබුණි.  අහසේ පාණ්ඩු පැහැති තාරුකා කිහිපයක් බැබලෙයි.  ඒ තරු ලන්තෑරුමෙන් විහිදෙන සිහින් ආලෝකය තරම් උණුසුම් හා දීප්තිමත් නැත.

සුකී නම් දුඹුරු පැහැති එළදෙන ගේ හැඩයේ අදුරු ජායාවක් ගව මඩුවේ දොරකඩ සිටගෙන සිටිනු දුටු ලෝරා මවිත වූවාය.  අම්මා ද එයින් පුදුම වී සිටියාය.

මේ වසන්ත කාලයේ සුකීට තණකොළ කෑම සදහා මහ කැළයට යාමට තවම කල් වැඩිය.  ඇය ගව මඩුවේ ජීවත් වූවාය.  එහෙත් ඉදහිටෙක උණුසුම් දිනවල අප්පච්චී ඇගේ ගාලේ දොර හැර තබයි.  එවිට ඈට ගව මඩුවේ මිදුලට යා හැකිය.  දැන් ඈ මඩුවේ ඉනි වැට අසලට වී ඔවුන් එන තෙක් බලා සිටිනු අම්මා හා ලෝරා දුටුවාය.

අම්මා ගේට්ටුව අසලට ගොස් එය අරිනු පිණිස පිටුපසට තල්ලු කළාය.  එහෙත් සුකී එය අවුරාගෙන සිටි බැවින් එය සම්පූර්ණයෙන්ම ඇරුණේ නැත.  අම්මා මෙසේ කීවාය.

“සුකී යනවා එහාට!!! ඇය ගේට්ටුවට උඩින් අත දිගු කොට සුකී ගේ උරහිසට පහරක් ගැසුවාය.

ඒ මොහොතේම, ලන්තෑරුමෙන් නැගී ඒ මේ අත නටන සිහින් ආලෝක කිරණක් ගේට්ටුවේ ඉනි අතරින් ඇතුළට විහිදී ගියේය.  එවිට ලෝරා ගේ දෑසට හසු වූයේ දිගු දළ කළු ලොම් හා දිලිසෙන කුඩා ඇස් දෙකකි.

සුකීට ඇත්තේ සිහින්, කෙටි දුඹුරු පැහැ ලොම්ය.  ඇගේ දෑස් විශාලය. කරුණාවන්තය.

අම්මා, “ලෝරා ආපහු ගෙදර යන්න....යි කීවාය.

ඉතින් ආපසු හැරුණු ලෝරා නිවස දෙසට යන්නට වූවාය.  අම්මා ඈ පිටුපසින් ආවාය.  මද දුරක් ඇවිද ගිය පසු අම්මා ලෝරා ඔසවාගෙන ලන්තෑරුමත් අතින් ගෙන දුවන්නට වූවාය.  ඈ සමග ගෙතුළට ගිය අම්මා දොර වැසුවාය.

“අම්මේ ඒ වලහෙක්ද?  යි ලෝරා ඇසුවේ ඉන්පසුවය.
“ඔව් ලෝරා, අම්මා කීවාය.  ඒ වලහෙක් තමයි!!! ලෝරා ඇගේ එල්ලී හඩන්නට වූවාය.  ඇය අම්මා ගේ ඇගේ එල්ලී,  අනේ ඌ සුකීව කයිද?  යි අසමින් ඉකිබින්දාය.

නෑ...අම්මා ඈව වැළදගෙන කීවාය.  සුකී ඉන්නේ මඩුවෙනේ.  ඒ හන්දා ඌට කරදරයක් වෙන්නේ නෑ.  හිතන්න ලෝරා මඩුවේ බිත්ති හදලා තියෙන ලී කොච්චර ලොකුද, හයියද කියලා.  දොරත් හරි බරයි.  හයියයි.  වලස්සුන්ට ඒකෙන් ඇතුළට යන්න බෑ.  ඉතිං මේ වලහට බෑ නෙව ඇතුළට ගිහිං සුකීව කන්න.
ලෝරාට මද සැනසුමක් දැනිනි.  ඒත් ඌට අපිව කන්න තිබුණනේ???ඇය ඇසුවාය.

ඌ අපිව කෑවේ නෑනේ අම්මා පිළිතුරු දුන්නාය.  ඔයා හොද ළමයෙක්නේ ලෝරා.  මං කියන විදියට ම වැඩ කරනවා.  මොනවා හරි කිවුවම ප්‍රශ්ණ අහන්නේ නැතිව ටක් ගාලා ඒක කරනවා......

අම්මා වෙවුලමින් සිටි නමුත් මද සිනා පාන්නට වූවාය.  “හිතන්නකෝ“ ඇය කීවාය.  “මං වලහෙකුට පාරක් ගැහුවා නෙව...!!

අනතුරුව ඇය ලෝරාට හා මේරීට රෑ කෑම බෙදා මේසයෙන් තැබුවාය.  අප්පච්චී තවමත් ඇවිත් තිබුණේ නැත.  ඔහු ආවේ නැත.  නිදන ඇදුම් ඇදගත් ලෝරා හා මේරී යාච්ඤා කොට මිටි ඇදේ උණුසුමට ගුළි ගැසුණහ.

අම්මා ලාම්පු එළියෙන් අප්පච්චී ගේ කමිස එළලන්නට වූවාය.  අප්පච්චී නැති නිවස සීතලෙන් නිහඩ බවින් හා නුහුරු බවකින් පිරී ඇතුවාක් මෙනි.  

ලෝරා මහ කැලෑවෙන් හමා එන සුළගට සවන් දුන්නාය.  අන්ධකාරය හා සීතල මැද අතරමං වූවාක් මෙන් සුළග හඩහඩා මුළු නිවස වටා කැරකැවෙයි.  සුළගේ රාවය බියකරුය. 

අම්මා කමිසය මසා අවසන් කලාය.  ඈ එය ඉතා හෙමිහිට පරිස්සමින් නවනු ලෝරා දුටුවාය.  අම්මා එහි රැලි නැති වන සේ අතින් පිරිමැද්දාය.  අනතුරුව ඇය මින් පෙර නොකළ දෙයක් කළාය.  දොර අසලට ගිය ඇය දොරේ සම් දොර අගුළ දැම්මාය.  දැන් ඈ දොර අගුළ හැරියේ නම් මිසක අන් කිසිවෙකුට ඇතුලට ඒමට නොහැකිය.  අනතුරුව ඇය විශාල ඇදේ මෘදු ලෙස නිදන කේරී ව ඔසවාගත්තාය.
ලෝරා හා මේරී තවමත් ඇහැරී සිටිනු දුටු ඇය ඔවුන්ට මෙසේ කීවාය.  “ නිදාගන්න දරුවනේ බයවෙන්න එපා.  අප්පච්චී උදේ වෙද්දී ගෙදර ඉදියි.

ඉන් පසු යළිත් සිය පැද්දෙන පුටුවට ගිය ඇය, එහි හිදගෙන කුඩා කේරී දෑතේ හොවාගෙන හෙමිහිට පුටුව පද්දන්නට වූවාය. 

ඈ අප්පච්චී එනතුරු එහි වාඩිවී සිටි අතර ඔහු එනතුරු නොනිදා ඉන්නට ලෝරාට හා මේරීට ද ඕනෑ විය.  එහෙත් අන්තිමේදී ඔවුනට නින්ද ගියේය.

උදෑසන අප්පච්චී නිවසේ සිටිනු දක්නා ලදී.  ඔහු ලෝරාට හා මේරීට රස කැවිලි ද ගවුම් මැසීම සදහා ලස්සන කපු රෙදි කැබැලි දෙකක්ද ගෙනැවිත් තිබුණේය.  මේරී ගේ ගවුම් රෙද්ද සුදු පසුබිමක නිල් පැහැති මෝස්තරයක් ඇති එකක් වූ අතර ලෝරා ගේ ගවුම් රෙද්ද රන්වන් පැහැතිත් වැටුනු තද රතු එකක් විය.

අම්මාටද ගවුමක් මැසීමට කපු රෙද්දක් ලැබී තිබුණි.  එය දුඹුරු පසුබිමක විශාල සුදු පැහැ පිහාටු වැනි මෝස්තරයක් විසිරුණු එකක් විය. 

ඔවුන්ට මේ තරම් ලස්සන තෑගි ගෙන එන්නට තරම් අප්පච්චී ට ඔහු ගෙන ගිය සම්වලට හොද වටිනාකමක් ලැබීම ගැන සියලු දෙනාම සතුටු වූහ. 

මුළු ගව මඩුව වටාම විශාල වලසාගේ අඩි සලකුණු තිබූ අතර, උගේ නිය පහරවල් බිත්ති මත ඇදී තිබිණි.  එහෙත් සුකී සහ අශ්වයෝ කිසිදු අනතුරක් නොලබා සුරක්ෂිතව සිටියහ. 

ඒ දවස පුරාම ඉර පායා තිබිණි.  හිම දියවී ගියේය.  මොහොතින් මොහොත සිහින් වන හිම කූරුවලින් කුඩා දිය පාරවල් කඩා හැළුණේය.  ඒ සැන්දෑවේ හිරු බැස යන්නට පෙර වලසාගේ අඩි සලකුණු මෘදු, තෙතැති හිම තලාම මත හැඩයක් නැති සලකුණක් බවට පත්ව තිබෙනු දැක ගත හැකි විය. 

රාත්‍රි ආහාරයෙන් පසු ලෝරාව හා මේරීව සිය දණහිස මත හිදුවාගත් අප්පච්චී ඔවුන්ට අලුත් කතාන්දරයක් කීමට ඇති බව කීවේය.

අප්පච්චීට හමුවූ වලසාගේ කතාන්දරය

ඊයේ මං හම් අරගෙන නගරෙට යද්දී ඇවිදින්න බැරි තරමට හිම දියවෙලා.  ඒ හන්දා මට නගරෙට යන්න හුගක් පරක්කු වුනා.  අනෙක් මිනිස්සු ඒගොල්ලන් ගේ හම් විකුණාගන්න වේලපහින් ඇවිල්ලා තිබුණා.  එදා කඩේ මුදලාලිට හරියට වැඩ.  ඉතින් එයා මගේ හම් බලනකම් පැත්තකට වෙලා ඉන්න මට සිද්ද වුනා.

ඊළගට අපි එක එක හමට ගෙවන වටිනාකම කතා කරලා එහෙම ඉවර වෙලා මං ගෙදර ගේන්න ඕන බඩු තෝරන්න ගත්තා.  ඉතින් ගෙදර එන්න පාරට බහිද්දී ඉර බහින්නත් ළගයි.

“මං පය ඉක්මන් කරලා ගෙදර එන්න පටන්ගත්තා.  ඒත් ඉතින් හිමේ ඇවිදින්න හරිම අමාරුයි.  මට හොදටම මහන්සිත් එක්ක.  ඉතින් රෑ වෙන්න කලියෙන් හුගක් දුර ඇවිදින්න මට බැරි වුනා.  මගේ අතේ තුවක්කුවක් නෑ.  මං විතරක් මහ කැලෑවේ තනියෙන්.

තව හැතැම්ම හයක් විතර ඇවිදින්න තියෙනවා.  ඉතින් මං පුළුවන් තරම් ඉක්මනින් ඇවිද්දා. ටිකෙන් ටික කළුවර වැටුණා.  සීත කාලේ ගෙවිලා ගිහින් හින්දා සමහර වලස්සු උන් ගෙ ගුහාවලින් එළියට එනවා නෙව.  ඉතින් මගේ අතේ තුවක්කුව නැති එක ගැන මං හරියට දුක් වුණා.  උදේ නගරෙට යද්දී මං දැක්කා උන් ගේ අඩි පාරවල්.

මේ කාලේ වලස්සු ඉන්නේ හරිම බඩගින්නෙන්.  ඒ වගේම උන්ට හරියට තරහා යනවා.  ඔයගොල්ලො දන්නවනේ උන් මුළු සීත කාලේම කන්න කිසි දෙයක් නැතුව ගුහාවලට වෙලා නිදාගෙන ඉන්නවා කියලා.  ඉතින් උන් ඇහැරුණාට පස්සේ උන්ට හොදටම බඩගිනියි.  ඒ වගේම උන් කෙට්ටුත් වෙලයි ඉන්නේ.  ඉතින් උන්ට ඇහැ ගැහෙන්නේ නැතිව එන්නයි මට ඕන වුනේ.

මං කළුවරේම පුළුවන් තරම් ඉක්මනට ඇවිද්දා.  ටික වෙලාවකින් පුංචි තරු එළියක් වැටුණා.  ඒත් ගන සැරේට කැලෑව වැවුණු තැන් තාර වගේ කළුයි.  ඒ වුනාට එළිමහන් තැන් යාන්තමට පෙනුනා.  ටිකක් ඈතින් තියෙන හිමෙන් වැහුණු පාර මට යාන්තමට පෙනුනා.  අන්ධකාර කැලෑව මාව හැම පැත්තෙන්ම වට කරගෙන ඉන්නවා මට පෙනුනා.  මට පොඩි එළියක් දෙන තරු තියෙන එළිමහන් තැනකට එන්න ලැබුණම මං හරියට සංතෝස වුණා.

හැම තිස්සෙම මං මට පුළුවන් තරමින් වලස්සු ගැන හෝදිසියෙනුයි හිටියේ.  උන් පදුරු අස්සෙන් ගානක් නැතිව එහා මෙහා යන කොට සද්දේ ඇහෙයිද කියලා මං ඇහුම් කන් දුන්නා. 

ඊළගට මං ආයෙත් එළිමහන් තැනකට ආවා.  එතන මං යන පාර මැද්දේ මං දැක්කා ලොකු කළු පාට වලහෙක් ඉන්නවා.

ඌ පස්සා කකුල් වලින් හිටගෙන මා දිහා බලාගෙන ඉන්නවා.  මං දැක්කා උගේ ඇස් දිළිසෙනවා.  මට උගේ ඌරු හොම්බ පෙනුනා.  තරු එළියෙන් උගේ නියපොතුත් මට පෙනුනා.  මගේ හිසේ කෙස් කෙලින් වුනා.  මං පාරේ එහෙමම නැවතිලා සද්දයක් බද්දයක් නැතුව හිටියා.  වලහා හෙල්ලුණේවත් නෑ.  ඌ එතැන ම හිටගෙන මගේ දිහා බලාගෙන ඉන්නවා.

ඌ වටෙන් යන එක හොද වැඩක් නෙවෙයි කියලා මට හිතුනා.  එතකොට ඌට මට වඩා හොදට පේනවා.  සීත කාලේ හාමතින් හිටිය වලහෙක් එක්ක සටන් කරන්න මට බෑ.  අපොයි! මට මගේ තුවක්කුව මතක් වුනා.
ගෙදර එන්න නම් මං වලහව පහුකරන්නම ඕන.  මං හිතුවා ඌව බය කෙරුවොත් ඌ පාරෙන් අයින් වෙලා මට යන්න ඉඩ දෙයි කියාලා.  ඉතින් මං දිග හුස්මක් අරන් එක පාරටම මට පුළුවන් හයියෙන් කෑ ගාගෙන අත් වන වනා ඌ ඉස්සරහට ගියා. 
මේ සතා හෙලවුනේවත් නැහැ.

හැබැයි මං‘ ඌ ළගටම දුවලා තිබුනේ නැහැ.  හරිද???? මං නැවතිලා ඌ දිහා බැලුවා.  ඌත් මා දිහා බලා ඉන්නවා.  ඊළගට මං ආයෙමත් කෑගෑවා.  මෙන්න මු තාමත් එතන.  මං දිගටම අත් වනවනා කෑගෑවා.  ඒත් ඌ අගලක්වත් හෙල්ලුනේ නැහැ.

දැන් ඉතින් දුවන එකත් නුවණක්කාර වැඩක් නෙවෙයි.  කැලෑවේ තවත් වලස්සු ඉන්නවා.  ආයේ කොයි වෙලාවේ හරි මට තව එකෙක් හම්බ වෙයි.  මේ වලහට වගේ ඌටත් බය වෙලා ඉන්න වෙයි.  අනෙක මං ඔයගොල්ලොයි අම්මයි ළගට එන්න ඕන නෙව.

කැලේ මාව බය කරන හැම දේකින්සම ගැලවුනේ නැත්නම් මට කවදාවත් ගෙදර එන්න වෙන්නේ නැහැ.
ඉතින් මං අන්තිමේදී වටපිට බැලුවා.  මං දැක්කා හොද ලොකු දණ්ඩක්.  ඒක සීත කාලේ හිම වල බරට ගහකින් කඩා වැටුණු හොද හයිය එකක්.  



මං ඒක අතට අරගෙන වලහා දිහාට දිවුවා.  ඊළගට පුළුවන් තරම් දහිරිය දාලා දණ්ඩ උස්සලා ඩෝං ගාලා උගේ ඔළුවට දුන්නා පාරක්.

ඒත් ඌ එහෙමම ඉන්නවා.  බැලින්නම් ඌ වලහෙක් නෙවෙයි ලොකු කළු පාට පිච්චුණු කොටයක්!!!!

උදේ නගරෙට යද්දී මං ඒක පහුකරලයි ගියේ.  ඌ වලහෙක් නෙවෙයි.  මං හිතුවෙහ ඌ වලහෙක් කියලයි.  ඇයි මං හිත හිතා ගියේ වලහෙක් කඩා පැන්නොත් මොකද කරන්නේ කියලනේ. 

ඇත්තටම ඒ වලහෙක් නෙවෙයිද?  මේරි ඇසුවාය.

නෑ මේරී ඒ වලහෙක් නෙවෙයි.  මං මහ කැලෑවේ ඉදගෙන කෑගගා, අත වනවන නටනටා බය කරන්න හදලා තියෙන්නේ කොටයක්නේ.
ලෝරා මෙසේ කීවාය.  අපි නම් දැක්කේ ඇත්ත වලහෙක්.  ඒත් අපි බය වුනේ නෑ.  අපි හිතුවේ ඌ සුකී කියලා.  අප්පච්චී කිසිවක් නොකියා ඈව තදින් සිප ගත්තා.

ඕ...ඕ....ඒ වලහා තව චුට්ටෙන් අපි දෙන්නව කනවා.  ලෝරා ඔහුට තවත් තුරුලු වෙමින් කීවාය.  ඒත් අම්මා ඌ ලගට ගිහින් ඌට පාරක් ගැහුවා.  ඒත් ඌ මුකුත් කෙරුවේ නැහැනේ.  ඇයි ඌ අපිට මුකුත් කෙරුවේ නැත්තේ?

මං හිතන්නේ ලෝරා ඌට කරන්නේ මොනවද කියලා හිතාගන්න බැරි වෙන්න ඇති.  අප්පච්චී කීවේය.  ලන්තෑරුම් එළිය දැක්කම ඌ බය වෙන්න ඇති මගේ හිතේ .  ඒත් අම්මා ඌ ළගට ගිහින් ඌට පාරක් ගැහුවා නෙව.  එතකොට ඌ දැනගන්න ඇති අම්මා බය නෑ කියලා....

“ඉතිං අප්පච්චිත් බය නෑ.  ලෝරා කීවාය.  ඒක කොටයක් වුණත් අප්පච්චි හිතුවේ වලහෙක් කියලනේ.  ඌ වලහෙක් වුනත් ඔයා ඌට ගහනවා නේද අප්පච්චී?

“නැතුව....අප්පච්චී කීවේය....මං ගහනවා තමයි.  ඔයා දන්නවා නෙව.  මට ගහන්නම වෙනවා. 
දැන් නිදාගන්න වෙලාව බව අම්මා කීවාය.  ලෝරාට හා මේරීට ඇදුම් මාරු කිරීමට උදවු කළ ඇය, ඔවුන් ගේ රතු ෆ්ලැනල් නිදන ඇදුම්වල බොත්තම් දැමුවාය.  මිටි ඇද අසල දණ ගසාගත් ඔවුහු යාච්ඤා කරන්නට වූහ.

“දැන් මම නින්දට යන්නෙමි.
මාරැක දෙන ලෙස සමිදු යදින්නෙමි
පිබිදෙන්නට පෙර මා මියගියහොත්
මගේ ආත්මය සමිදුට පුද දෙමි

අම්මා ඔවුන් දෙදෙනා සිඹ, රෙදි පෙරවූවාය.  ඔවුහු මද වේලාවක් අම්මාගේ බෙදා පීරන ලද කොණ්ඩය දෙසත්, ලාම්පු එළියෙන් කඩිසර ව ඇදුම් මසන ඇගේ ඇගිලි දෙසත් බලා සිටියහ.  ඉදිකටුව ඇගේ දිදාලයේ වැදී සිහින් ටික් ටික් හඩක් නංවයි.  ඊළගට නූල, අප්පච්චී සම් විකුණා ගෙනැවිත් දුන් ශෝභන කපු රෙද්ද විදගෙන මෘදු ලෙස ඇතුළට ඇදී යයි.
ලෝරා බූට් සපත්තු ඔප දමන අප්පච්චී දෙස බැලුවාය.  ඔහුගේ උඩු රැවුළ හිසකේ හා දුඹුරුවන් දිග යටි රැවුළ ලාම්පු එළියෙන් සේද මෙන් දිළිසෙයි.  ඔහුගේ ජැකට්ටුවේ පැහැයෙන් දීප්තිමත්ය.  සපත්තු ඔප දමන අතරේ ප‍්‍රිතිමත් ලෙස සිවුරුහන් කරන්නට වූ ඔහු මෙසේ ගැයීය.

සියොත් කැල උදෑසන ගී ගයයි
මට්ල් හා අයිවී මල් පිපෙයි
හිමිදිරියේ කදු මතින් හිරු එබෙයි
ඒ මොහොතේ මම ඈව සොහොන් ගෙයි වැළලුවෙමි

ඒ රාත්‍රිය ඉතා උණුසුම් විය.  උදුනේ අගුරු ඉතිරිව ඇති නමුත් අප්පච්චී එය දැල්වූයේ නැත.  මහ වනයේ පිහිටි කුඩා නිවසේ හැම පැත්තකින්ම හිම වැටෙන සිහින් හඩ ඇසිණි.  පියසි මත රැදුනු හිම කූරු දිය වෙවී බිදින් බිද පොළවට වැටෙයි.

තව දින කිහිපයකින් ගස්වල ළපටි දළුලනු ඇත.  එවිට ඒවා ළා රතු පැහැයෙන්, කහ පැහැයෙන් හා ළා කොළ පැහැයෙන් වර්ණවත් වනු ඇත.  කැලෑවේ මල් පිපෙනු ඇත.  කුරුල්ලන් ගී ගයනු ඇත.

එවිට රාත්‍රිෙය් ගිනිමැළය අසල හිදගෙන කතාන්දර අසන්නට ලෝරාට හා මේරීට ඉඩ ලැබෙන්නේ නැත.  එහෙත් මුළු දවස පුරාම ගස් අතර දුව පනිමින් සෙල්ලම් කරන්නට ඔවුනට හැකිය.  මේ උදාවන්නේ වසන්ත කාලයයි.





No comments:

Post a Comment