සුවද කැකුළු

Monday, October 22, 2012

ටිබෙට් ජාතික ඇස් මහින්ද හිමියෝ


සිංහල ජාතිකයෙක් නූනත් අපේ රටේ නොඉපදුනත් මේ ශ්‍රී ලංකාද්වීපයට මහත් සේවාවක් කල හිමි නමක් ගැන කියන්නයි හදන්නේ.  ඒ තමයි ටිබෙට් ජාතික එස් මහින්ද හිමියෝ.  උන් වහන්සේ ඉපදුන වර්ෂය ගැන නිශ්චිත සදහනක් නැතත් 1901 කියලා තමයි කියන්නේ.  උන්වහන්සේගේ ගිහි නම තමයි ඇස්. කේ. තෂිනම් ග්‍යල්.  ඒ නම අපට නුහුරු නුපුරුදු එකක් වුනේ උන්වහන්සේගේ උපන් රට හා ජාතිය වෙනස් නිසයි.  උන්වහන්සේ සිකිම් රටේ උපන්නෙක්.  වයස අවුරුදු 12ක් වෙනකොට ලංකාවට ඇවිත් හොදින් ශිල්ප ශ්‍රාස්ත්‍රය හදාරලා පසුව මහින්ද නමින් මහණ වෙලා තියෙනවා

උන්වහන්සේ කවි ලියන්න බොහෝම දක්ෂයි.  මේ කවි ලිවීම පටන් අරගෙන තියෙන්නේ මහණ වුනාට පසුවයි.  වෙනත් රටක ඉපදුනත් උන්වහන්සේ වැඩිපුරම කවි ලියුවේ අපේ රට, ජාතිය, ආගම ගැන. 

ජාතිය රන් විමනක්          වේ
ආගම මිණි පහනක්         වේ
එය රැක ගන්නට මෙලො  වේ
සමත් වෙතොත් පුත නුඹ  වේ

උන්වහන්සේගේ අතින් ලියැවුන කවි පොත් රාශියක් තිබුණා.  ඒවා අතර ළමුන් සදහාම ලියු පොතුත් තිබුණා.  ළමා කව් කලඹ, කව්මිණ, කව්මුතු වගේ පොත්වල තියෙන කවි බොහෝම සරළයි වගේම හරිම අර්ථවත්. 

හොද ළමයා

පාට සුවද එක ව              ගේ
තිබෙන රෝස මල ව        ගේ
කීකරු පොඩි ළමය          ගේ
කවුරුත් පවසති අ            ගේ

මව්පියන්ට ගුරුවරුන්      
ගුණවත් වැඩි මහල්ලන්   
කීකරු වන පොඩිත්තන්  
පුළුවනි ලොව බබලවන්  

රෝස මල

ගුමු ගුමු ගා මොකද හො   රෝ
අහකට පල වන ඹම         රෝ
රෝස මලේ ළගට ව        රෝ
අපිය නුඹේ සොහෝයු      රෝ



සමන් පිච්ච මල් ඉහිරුණු
නිල් තණකොළ පිට්ටනියක්
වගෙයි අහස අන්න බලනු
කොච්චර ලස්සනද රෑට

බකමූණෝ පියාඹතී
අනෙක් කුරුල්ලෝ නිදති
බෝ අතුවල එල්ලීගෙන
මා වවුලෝ කෑගසතී

මගේ සුරතල් අක්කාගේ
මාලේ මුතු ඇට වාගේ
අර පෙනෙන්නේ පිණි බිංදුත්
හදමු එකක් ඒ වාගේ

ලේනා

ටිං ටිං ලේනා
දැන් දැන් පැන්නා
හුරතල් පානා
ඌ මගේ ලේනා

මහින්ද හිමියන් ලංකාවේ සිටිය කාලයේදී අපේ රට ඉංග්‍රීසීන්ට යටත් වෙලයි තිබුනේ.  ඔවුන්ගෙන් මේ සිරිලක බේරා ගන්නට අපේ රටේ සිංහල වගේම දෙමළ නායකයොත් බොහෝම වෙහෙස මහන්සි වුනා.  සටන් කලා.  තමන්ගේ ජීවිත පවා පරිත්‍යාග කලා.  මේ සටන් ව්‍යාපාරයේදී මහින්ද හිමියන්ගේ කවි වලින් සිදුවන මෙහෙය කියලා නිම කරන්නට බැහැ.  උන්වහන්සේ මිනිසුන්ගේ ජාතිකාහිමානී හැගීම් ඇතිවන ආකාරයේ කවි ලියුවා. 

මොන කරුමයද තව ඇහැරුණු බවක්          නැහැ
තැන තැන බියව මුලු වැදුමෙන් පලක්         නැහැ
දිනුමත් පැරදුමත් කොකත් කමක්               නැහැ
එනු ඉදිරියට නැතහොත් නිදහසක්              නැහැ

මේ වගේ සිංහල ලේ කකියවන කවි තියෙන්නේ නිදහසේ දැහැන කියන කවි පොතේ.  නිදා සිටින සිංහල ජාතිය අවදි කරන්නට උන්වහන්සේගේ කවි වලින් ලොකු පිටුවහලක් ලැබුනා.  පරාධීන ජාතියක් ලෙස සිටීමේ ආදිනව උන්වහන්සේ කියා දුන්නේ කවි වලින්. 

කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්          නේ
උස් නිදහස පිණිස සටනට සැරසෙන්          නේ
හිස් මොළ තිබෙද්දිත් මේ වග නොතකන්    නේ
ඇස් ගෙඩි දෙකට හෙණ ගැහිලද සිහලුන්     නේ

ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන් අපවත් වුනේ 1951 මාර්තු 16 වෙනිදා.  උන්වහන්සේ වගේ ශ්‍රේෂ්ට පඩිවරුන් බිහිවෙන්නේ ඉතාමත් කළාතුරකිනුයි. 

Sunday, October 21, 2012

ප්‍රස්ථා පිරුළු 2


1       අගුලේ රග දැනෙන්නේ පැද්ද කල්හි ගගේයා
(යමක් ගැන හොද අවබෝධයක් ඇති වෙන්නේ අත්හදා බැලීමෙන් පසුවයි)

2       අට්ටික්කා ගහේ මල් පිපුනා වගෙයි
(අට්ටික්කා ගස්වල මල් නැහැ කියලයි කියන්නේ මල් නැතිවම කදේ හා අතුවල ගෙඩි හටගන්නවාලු.  මලක් පිපුනොත් පුදුමයක්.  ඒ වගේ පුදුම දෙයක් දුටු විට මේ පිරුල කියනු ලබයි)

3       අටුවෙන් දුමට බැස්සා වගෙයි
(අටුව හදල තියෙන්නේ දුමට උඩිනුයි.  අටුවේ ඉන්නා විට ලිපේ රස්නය නිසා දුමට බැස්සම රස්නය තවත් වැඩි වෙනවා.  විපතක් සිදුවෙමින් තියෙන වෙලාවට සැනසීමක් ලබා ගන්නට විකල්පයක් සොයා ගොස් ඊටත් වඩා විපතකට පත්වීම මින් අදහස් කරනවා.)

4       අඩන්න ඕනැලු කිරි එරෙන්න
(පැටියා අඩන විට මවට කිරි එරෙනවා.  ඒ වගේම තමයි යම් කිසිදෙයක් ලබා ගැනීමට නම් ඉල්ලන්න ඕනෑ)

5       අඩු කලෙයි සෙලවෙන්නේ
(කලය පිරී ඇත්නම් සෙලවෙන්නේ නැත.  ඒ වගේම තමයි අඩු උගත් තැනැත්තා කෑ ගසයි.  උගත් තැනැත්තා නිශ්ශබ්දව සිටී)

6       අඩුව තිබියදී අත පුළුස්සා ගන්ට එපා
(ඕනෑම දෙයකට නියම ක්‍රමයක් තිබියදී අයථා ක්‍රමයෙන් යමක් කරන්නට තැත් කිරීමේදී මෙසේ කියයි)

7       ඉදි කටුව ළිදේ වැටුනා වාගෙයි
(අති දුෂ්කර කාර්යයක් සම්බන්ධයෙන් කියැවෙන්නකි)

8       ඉබ්බාට පැරදුනු හාවා වාගෙයි
(තමන්ගේ තරගකරුවාගේ බලය සුළු කොට සැලකීම නිසා පරාජය වන්නන්ට මෙසේ කියයි)

9       ඉතිපිසෝ මතක් වෙන්නේ අතපය වාරු නැතිවුනාමයි
(බොහෝ දෙනෙකුට තමන්ගේ ආගම සිහිවන්නේ වයසට ගිය විටදියි)

10    ඉදිකටු තුඩේ තපස් රකින්නා වාගෙයි
(ඉදිකටු තුඩ ඉතා සියුම්ය.  එහි ඉදගෙන කිසිවෙකුටත් කිසිවක් කල නොහැක.  එසේම නොකල හැකි වැඩක් සම්බන්ධයෙන් මෙය කියැවේ.)

Wednesday, October 17, 2012

පමා නොවී එමි අකුරට....!!!!



තිබූ තැනක සොර සතුරන් ගත නොහෙ       නා
එසැඩ මනාවත් වතුරෙන් වල නොහෙ         නා
කොප වුවත් රජ මැතිදුන් ගත නොහෙ         නා
උගත මනා සිල්පය මයි මතු රැකෙ              නා

අල්ලට සිගා වත් රස නැති කැවිලි ක           කා
වල් කොළ බිම අතුට නිදි ලොබැබ දුක් ත    කා
කල් ගිය රෙදි වැරලි ඇද දැලි කුණෙන් ව     කා
ඇල්මෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ ත         කා

කසේ සැමිටි වේවැල් කොටු ගෙන අ           තේ
ඇසේ කදුළු අකුරට ගිය කලට ග                තේ
බසේ මියුරු තෙපලති දෙ ගුරු සවන           තේ
දසේ පසේ ගෙඩි දෙති පිටට එක ර              තේ

වේවැල් කොටු නාරන් සියඹලා අ               තූ
කිතුල් පොල් ඉරටු වැල් කහඹිලියා අ          තු
මෙ හැම ඉපල් මගේ දෑසට නොපෑ යු          තු
පමා නො වී එමි අකුරට මෙයින් ම              තු

පොල් ඉරටේ අත තද කර ගති                   ම්මා
ඉන් ඔළමොළ කමකට සිත නොය             ම්මා
දැන් නිසලව ඉද අකුරුත් කිය                    ම්මා
ඉන් අප දග ගේක ලූ දෑය අ                       ම්මා

අම්මොයි කියා ගෑ සියොලග තෙල් රුව      
යම්මොයි කියා යති අකුරට ගුරුන් ගෙ       
බම්මොයි කියා බස් තෙපලති විටින් වි        
අම්මොයි කියා කීවත් ගුරු දෙතෙයි බැ       

රුප්පා වල ඉද කෙළිනා දවස් දැ                 ඩී
තැප්පා සේම ගිනි උසුලද්ද මැඩි මැ             ඩි
අප්පා උකුල ඉද තෙපලන බස් ම දැ            ඩි
අප්පා බලා උන්නත් වලකී ද ගෙ                ඩි



මෙම කවි පෙළ උපදේශාත්මක කවි පෙලක් වන අතර වදන් කවි පොතින් උපුටා ගත්තකි.  මෙහි ඉගෙනීමේ වටිනාකම දක්වා ඇත්තේ සිසුවෙකුගේ මුවින් පිටවන අදෝනාවක ස්වරූපයෙනි.  ශිල්පය හැදෑරීමේ ඇති වැදගත්කම, එය කිසිවෙකුටත් පැහැර ගැනීමක් නොකල හැකි බවත් මෙයින් පැහැදිලි කරදෙයි.  ඒ වගේම ශිල්පය ඉගෙන ගන්නට විදිනා දුක් ගැහැට පිළිබදවත් මනාව පෙන්නුම් කරදෙයි.  කර්කශ අහර බුදිමින්, වැරහැලි අදිමින් ඉතා දුකසේ ඉගෙන ගන්නා බව කවියා කියයි.

අනෙක් කාරණය නම් අද මෙන් එකල ගුරුන් දඩුවම් කල විට උද්ඝෝෂන කිරීමේ සිරිතක් තිබුනේම නැත.  එසේම ඒ ගුරුවරුන් දෙන දඩුවම් වල දැඩි බවත් එයින් සිසුවා හෝ දෙමාපියන් කෝප නොගන්නා බවත් මේ කවි පෙලෙන් පෙන්වා දී ඇත.  “අම්මොයි කියා කීවත් ගුරු දෙතෙයි බැට, අප්පා බලා උන්නත් වලකී ද ගෙඩි, දසේ පසේ ගෙඩි දෙති පිටට එක රතේ, ඉන් අප දග ගේක ලූ දෑය අපේ අම්මා යන පද ඊට උදාහරන වේ.  මේ වෙලාවට තමයි සිහියට නැගෙන්නේ නොතලා හදන දරුවාත් හැදි නොගා හදන කිරි හොද්දත් දෙකම එක වගෙයි කියන පැරණි කියමන.  මෙසේ දඩුවම් විදිමින් වුවද ඉගෙනුම ලැබු දරුවනට ඉන් වරදක් නොවූ බවද පිළිගත යුතු සත්‍යයකි.  දරුවා ද තමන්ගේ වැරදි තේරම් ගනී.  වේවැල් කෝටු නාරං සියඹලා අතු..... යන කවියෙන් එය ගම්‍යවේ.