සුවද කැකුළු

Saturday, July 28, 2012

වෙඩිල්ල

ඔන්න ඉතිං ටිකක් ඈත පිටිසර ලස්සන පුංචි ගම්මානයක් තිබුනා.  මේ ගමේ මිනිස්සු තමන්ගේ ජීවිකාව විදියට කලේ ගොවිතැන.  මේ ගමේ හිටියා ගමරාළ කෙනෙක්.  එයා හේනක් කොටාගෙන බිරිදත් එක්ක බොහෝම සමගියෙන් සාමයෙන් ජීවත් වුනා.

මේ ගමරාළ හැමදාම බත් මුලක් බැදගෙන හේනේ පැල් රකින්න යනවා.  එයාගේ තනි නොතනියට තමන්ට පුතෙක් වෙන කොලු ගැටයෙකුත් එක්කගෙන තමයි එයා පැල් රකින්න යන්නේ.  අනේ ඉතිං එක දවසක් මේ පුංචි හාදයාට අසනීප වුනා.  ඒ නිසා ගමරාළට පැල් රකින්න එක්ක යන්න කෙනෙකුත් නැහැ. දැන් පුරුදු වෙලා නිසා තනියෙන් පැල් රකින්නත් කම්මැලියි වාගේ.  ඉතිං ගමරාළ කල්පනා කලා මොකද කරන්නේ කියලා.

ඔහොම ඉන්න කොට එයාගේ හාමිනේ ගමරාළට කිවුවා එයා ගමරාළත් එක්ක පැල් රකින්න හේනට යන්න එන්නම් කියලා. 

ඉතිං ගමරාළත් බොහෝම ඉහලින් කැමති වුනා ගමහාමිනේ එක්ක පැල් රකින්න යන්න.  ගම හාමිනේ රෑට කන්න දෙන්නාටම බත් මුල් දෙකකුත් බැදගත්තා.

ඒ අතරේ ගමරාළ බේත් කොටන තුවක්කුව අතට ගත්තා.  දැන් ඉතිං ඔක්කොම ලෑස්ති කොරගෙන දෙන්නා එක්ක ඇදිරි වැටීගෙන එද්දි හේනේ පැලට ගියා.  ටිකක් රෑ වෙලා ගමරාළයි ගමහාමිනෙයි බත් මුල් ලිහාගෙන කන අතරේ ගම හාමිනේට සද්දයක් ඇහුනා හේන පැත්තෙන්.  එයා හොදින් ඇහුම්කන් දුන්නා.  මෙන්න බොලේ හේනට වල් ඌරු රංචුවක් ඇවිදිල්ලා.  ගමරාළ ඉක්මනින්ම කෑම කන එක නතර කරලා අතත් හෝදගෙන ගත්තා තුවක්කුව අතට........හැරෙව්වා තුවක්කුව වල් ඌරෝ ඉන්න දිහාවට.......

“හාමිනේ හාමිනේ ඉක්මනින් කණට ගින්දර තියන්න!!!! කණට ගින්දර තියන්න!!!! කියලා ගමරාළ කිවුවා.  ඒ කියපු සැනින්ම ගමහාමිනෙත් ලිප ගාවට දුවලා ගිහින් ගිනි පෙනෙල්ලක් අරගෙන ඇවිත් ගමරාළගේ කණේ එබුවේ නැතෑ..!!!!!!!

“බුදු අම්මෝ....!!!!!! අනේ අම්මේ!!!!! මට නම් බැරියෝ...!!!!! අපෝයි මගේ කණ දෙයියනේ!!!!!!

ගමරාළ පුළුවන් තරම් හයියෙන් බෙරිහන් දුන්නා.   ඒ කෑ ගහන ගමන්ම

“අපෝ දෙයියනේ හේන...!!!! අර වල් ඌරෝ...!!!! ඔහු හේන පෙන්වන ගමන්ම
ඔය කණ නෙවෙයි අනෙක් කණ ....!!!! අනෙක් කණ...!!! කියලා කිවුවා.
 ඒත් ගමරාළ අනෙක් කණ කිවුවේ තුවක්කු බටේ කටට.  ඒත් මේ මෝඩ ගම මහගෙට ඒක තේරුනේ නැහැ.  ඉතිං ගම හාමිනේ මොකද දන්නවද කලේ.  ඈ ගමරාළගේ අනිත් කණට ගිනි පෙනෙල්ල එබුවේ නැතෑ.

“අපොයි දෙයියනේ මං ඉවරෝ......!!!! ගමරාළට තරු පෙනුනා.  ඒ සද්දෙට වල් ඌරෝ රංචුව පැනලා දිවුවා.  හැබැයි ඉතිං අර මෝඩ ගම හාමිනේ නිසා ගම රාළට බොහෝම කාලයක් කන් දෙකට බෙහෙත් කරන්න වුනා.


2 comments:

  1. අසා ඇත කලින්...ඒත් ආයෙත් මතකය අලුත් උනා

    ReplyDelete
  2. ඔව් මේක අපි පුංචි කාලේ අහපු කතාවක්නේ.

    ReplyDelete