සුවද කැකුළු

Tuesday, July 17, 2012

රෝස කැකුලී ( ඉතිරි කොටස)

“අපෝ එයාට කකුල් දෙකයිනේ තියෙන්නේ.  මට එයාගෙ එච්චර ලස්සනක් පේන්නෙ නැහැ.
“ඔව් ඔව්....එයා හරිම කැතයි!!!!!
“අපෝ අපිට වගේ එයාට අත්තටුත් නැහැ.  අඩුත් නැහැ. ඒ මදිවට මිනිසුන්ගේ වගේ එයාගේ අත්...චිකේයියා!!!!

මේ විදියට එක එක තණකොළ පෙත්තෝ එයාලගේ අදහස් කියන්න පටන් ගත්තා.  හැම තණකොළ පෙත්තෙක්ම අවසානෙට කිවුවේ පුංචි රෝස කැකුලී කැතයි කියලයි.  රෝස කැකුලිව අරගෙන ආපු තණකොළ පෙත්තාත් අනෙක් අයගේ කතාව විශ්වාස කරලා ඒ විදියටම හිතන්න පටන් ගත්තා.  එයාට වෙන කරන්න දෙයක් තිබුනෙත් නැහැ.  අන්තිමේදී රෝස කැකුලිව ගෙනාපු තැනටම ගෙනැත් දාලා එයා පියාඹලා යන්න ගියා.  තණකොළ පෙත්තෝ ඔක්කොම එයාට කැතයි කියලා කියපු නිසා අනේ පුංචි රෝස කැකුලිට හරියට හිත රිදුනා.  එයාට හරිම දුකයි.  ඉතින් එයා මොකද දන්නවද කලේ.  තමන්ගේ මුළු ශක්තිමය යොදලා හයියෙන් අඩන්න පටන් ගත්තා.

ඒ දවස්වල හොදටම පෑවිල්ල.  අනික ඒ මුළු කාලයම එයා හිටියේ කැලේනේ.  අනේ ඉතින් එයාට කන්න බොන්න දෙයක්වත් තිබුනේ නැහැ.  මල් පැණියි, කොළ උඩට වැටෙන පිණි බිංදුයි එකතු කරලා එයාගේ බඩගින්න නිවාගන්න එයාට සිද්ධ වුනා.  

ඔහොම කාලයක් ගත වෙලා ගියා.  ඔන්න වැහි කාලයත් ආවා.  සීතල සුළං හමන්න පටන් ගත්තා.  අම්මෝ අවට පරිසරය හරිම සීතලටයි එයාට දැනුනේ.  පුංචි රෝස කැකුලිට ඒ සීතල උහුලගන්න බැරිතරම්.  ඉතින් මේ පුංචි රෝස කැකුලි එයාට ඉන්න තැනක්වත් නැති නිසා කන්න දේකුයි, සීතල නැතිවෙන්න ඉන්න තැනකුයි සොයා ගෙන කැලේ පුරාම ඇවිද්දා.

මේ විදියට යනකොට එයා හාවෙක් ඉන්න තැනකට ආවා.  මේ හාවා ඉන්න තැන වටේටම කැරට් අල කෑලි , තව ඔය උදුපියලිය වගේ දේවල් තිබුනා.  එයා හාවා ඉන්න ගුහාවට එබිලා බැලුවා.  හාවා එළියට ඇවිත් බැලුවා මේ තරම් සීතල වෙලාවේ කවුද තමුන්ට කරදර කරන්න ආවේ කියලා.  එතකොට එයා දැක්කා මේ පුංචි රෝස කැකුලිව.  රෝස කැකුලි හාවාගෙන් කන්නට යමක් ඉල්ලුවා.  

අනේ ඉතිං හා පැංචට මේ පුංචි රෝස කැකුලි ගැන හරියට දුක හිතුනා.  එයා එයාට කන්න හොයාගෙන ආපු කැරට් අලයක් මේ පුංචි රෝස කැකුලිට දුන්නා.  ඒ විතරක් නෙවෙයි.  එයාගේ පුංචි ගුහාව ඇතුලට එන්න කියලත් කිවුවා.  

“ඔයාටත් පුළුවන් මගේ ගුහාවේ නතර වෙන්න.....හා පැංචා කිවුවා.  
“හැබැයි ඔයා එක දෙයක් කරන්න ඕනෑ.....
“ඒ මොකද්ද ඒ?   පුංචි රෝස කැකුලි හාවාගෙන් ඇහුවා.
“ඔයා මට කතන්දර කියලා දෙන්න ඕන?  මම හරිම ආසයි කතන්දර අහන්න. හා පැංචා කියපු දෙයට පුංචි රෝස කැකුලිත් එකග වුනා.

ඉතින් පුංචි රෝස කැකුලියි හාවායි දැන් හරිම යාළුයි.  රෝස කැකුලිත් දැන් ජීවත් වෙන්නේ හාවාගේ ගුහාවෙනේ.  හැබැයි මේ හාවාට තවත් යාළුවෙක් හිටියා.  එයා තිත් මුවෙක්.  ඔන්න ඉතින් එක දවසක්  මේ මුව පැංචා රෑට නතර වෙන්න මේ හාවාගේ ගුහාවට ආවා.  ඉතින් ටිකක් වෙලා මේ තුන්දෙනා කතා කර කර ඉදලා මුවා කිවුවා 
“මගේ හිතේ අදහසක් තියෙනවා කියලා..... අනෙක් දෙන්නා මුවාගේ කතාවට හොදින් ඇහුන්කන් දුන්නා.

“මම කැමතියි රෝස කැකුලිව විවාහ කරගන්න....කියලා.  ඔන්න ඉතිං හා හාමිත් කියපි, තිත් මුවාට කැමති වෙන්න කියලා.  ඒත් රෝස කැකුලි මේ තිත් මුවාට වැඩි කැමැත්තක් පෙන්නුවේම නැහැ.  ඒ මොකද දන්නවද ඉර, හද, තරු ගැන ගස් වැල් ගැන අනෙක් සත්තු ගැන තිත්මුවා නිතරම හිටියෙ සැකයෙන් බයෙන් වගෙයි.  පුංචිම පුංචි සද්දෙකදි වුනත් එයා තිගැස්සුනා.  එයා හැම වෙලාවෙම හිතුවේ එයාට කවුරු හරි කරදරයක් කරයිම කියලයි.

මෙහෙම ඉන්නකොට දවසක් මේ පුංචි රෝස කැකුලි දැක්කා ලස්සනම ලස්සන පාට පාට ගිරවෙක්ව.  එයා හොදටම අසනීපෙන් හිටියේ.  ඉතින් මේ පුංචි රෝස කැකුලි අර ගිරවාට හොදින් සාත්තු කලා.  කන්න බොන්න දුන්නා.  එයා සනීප වෙනකම්ම ආදරෙන් බලාගත්තා.  දැන් ගිරවාට හොදටම සනීපයි.  එයාට තනියෙන් ඉගිලිලා යන්නත් පුළුවන්.  එක දවසක් , හොදට ඉර පායලා තිබුනා.  එයා යන්න ලැහැස්ති වුනා.  

“ ඔයා එනවද මාත් එක්ක අහසේ ඉගිලෙන්න.....!!!!!

ඒත් ඒක කරන්න බැහැනේ.  මෙතරම් දවසක් මාව බලාගත්ත මගේ යාළුවා හාවාට දුක හිතෙයි.  ඉතින් රෝස කැකුලි ඒ යෝජනාව ප්‍රතික්ෂේප කලා.  ඉතින් ගොඩාක් හිතේ වේදනාවෙන් මේ දෙන්නා සමුගත්තා. ඔය අතරේ මුවාගෙයි රෝස කැකුලිගෙයි විවාහයට මුවා ලහිලහියේ සූදානම් වුනා.  කොහොම වුනත් හැම දෙයක් දිහාම සැකයෙන් බයෙන් බලන නිසා තිත්මුවාට රෝස කැකුලි වැඩිය කැමැති නැති විත්තිය හා පැංචාත් දැනගෙනයි හිටියේ.  තිත්මුවා එක්ක විවාහ වෙන්න බෑ කියලාමයි රෝස කැකුලි හා පැංචාට කිවුවේ.  ඒත් හා පැංචා ඒක කණකටවත් ගත්තේ නැහැ.  ඔන්න දැන් මගුල් ගේ දවසේ රෝස කැකුලි අන්තිම වතාවටත් වටපිටාව කුරුල්ලෝ සමණල්ලු දිහා බොහෝම කනස්සල්ලෙන් බලාගෙන හිටියා.  එයා වැඩිපුරම කණගාටු වුනේ එයාගේ සැහැල්ලු ජීවිතේ නැති වෙන එක ගැනයි.

අන්තිමේදී එයා හිතුවා අපරාදේ මම ගිරවා එක්ක පියාඹලා යන්න ගියානම් ඉවරයි කියලා.  මෙහෙම ඉන්නකොට එකපාරටම එයාට එළියෙන් සද්දයක් ඇහුනා.  

“රෝස කැකුලී ...!!! රෝස කැකුලී...!!!  එයා එකපාරටම එළියට ඇවිත් බැලුවා.  
“අනේ.....!!!මේ ගිරා යාළුවානේ.  රෝස කැකුලිට හරිම සතුටක් දැනුනා.  

“මගේ පිට උඩට නගින්න.  මම ඔයාව ඈත පළාතකට අරගෙන යන්නම්.  ලස්සනම ලස්සන මල් පිරිච්ච තැනකට ඔයාව අරගෙන යන්නම්.  ඉක්මනින් නගින්න ....කියලා.  ඉතින් ආයෙත් හිත හිතා ඉන්නෙ මොකටද කියලා මේ පුංචි රෝස කැකුලිත්  ගිරවාගේ පිට උඩට නැගලා එයාගේ පිහාටු උඩින් අත්දෙක තියාගත්තා.

ගිරවා රෝස කැකුලිව අරගෙන ගියේ එයා ඉන්න ගස් බෙනය ලගටයි.  එතැන හරිම ලස්සන තැනක් වටපිටාව මල්වලින් පිරිලා තිබුනා.  ලස්සන ලස්සන කුරුල්ලෝ හැම තැනම නිදහසේ පියාඹලා ගියා.  එතැන බෙනය තියෙන ගස පාමුල ලස්සනම ලස්සන ලොකු රෝස පදුරක් තිබුනා.  ඒකේ මලක් උඩින් මේ රෝස කැකුලිව තියපු ගිරා හාමි එයාට කන්න පලතුරු ගේන්න ටිකක් එහාට ඉගිලිලා ගියා.

මෙන්න රෝස කැකුලි පුදුමයෙනුත් පුදුමයට පත්වුනා.  ඒ මලේ පෙති අතරේ එයා වගේම පුංචි පිරිමි ළමයෙක් හිටියා.  එයාගේ ඇස් නිල් පාටින් දිලිසුනා.  එයා බොහෝම කඩවසම් කෙනෙක් කියලා පුංචි රෝස කැකුලිට හිතුනා.  ලස්සන සේද ඇදුමකින් සැරසිලා තමයි එයා හිටියේ.  එයාගේ හිසේ රන්වන් පාට ඔටුන්නක් තිබුනා.  අතක රිදියෙන් කල සීනුවක් තිබුනා.  දිලිසෙන පාවහන් යුගලයක් පැළදගෙනයි මේ පුංචි කුමාරයා හිටියේ.    මේ මල් වලට අධිපති කෙනෙක් ඉන්නවා ඒ අධිපතියාගේ පුත් කුමාරයා තමයි මේ.  පුංචි රෝස කැකුලිට ගිරවා කිවුවා.  ඒ විතරක් නෙමෙයි පියරජතුමාගෙන් පස්සේ මේ මල්වලට අධිපති වෙන්නෙත් මේ පුංචි කුමාරයා තමයි.  රෝස කැකුලිට දැනගන්නට ලැබුනා.  

“ඔයා මාත් එක්ක විවාහ වෙන්න කැමතිද?  රෝස කැකුලියේ!!!!
“මම ඔයාට ගොඩාක් කැමතියි.  ඔයා හරිම ලස්සනයි. හුරුබුහුටියි!!!! ඔයා හැම අතින්ම මට ගැලපෙනවා කියලයි මට හිතෙන්නේ.  එයා කිවුවේ බොහෝම සතුටකින්.  ඒත් එක්කම මෙන්න පුංචි පුංචි සුරංගනාවියෝ විශාල ප්‍රමාණයක් හැම පැත්තෙන්ම මතුවෙන්න පටන් ගත්තා.  පුංචි රෝස කැකුලිට හරි සතුටුයි.  ඒ හැමෝම මේ දෙන්නට සුභ පැතුවා.  ඒ විතරක් නෙවෙයි තෑගිත් අරගෙනයි ආවේ.  මේ හැම දේකටම වඩා වටින්නේ ඇයට ලැබුන පියාපත් දෙකයි.  ඉන්පස්සේ එයාටත් හැම තැනම පියාඹන්නට හැකියාව ලැබුනා.  පුංචි රෝස කැකුලිගේ මංගල්‍යය වෙනුවෙන් එයාගේ යාළු ගිරවා ලස්සනම ලස්සන ගිතයක් ගායනා කරලා එයාගේ සතුට ප්‍රකාශ කලා.  ඒ එක්කම තව තවත් ලස්සන ලස්සන මල් දහස් ගණනින් පිපිලා සුවද විහිදුවන්නත් පටන් ගත්තා.  ඉතින් මේ පුංචි රෝස කැකුලියි එයාගේ කුමාරයායි බොහෝම සතුටින් එහේ  කාලය ගත කලා.  මම මෙහාට ආවා ඔයාලට මේ කතාව කියන්න ඕන නිසා.  ඉතිං ලස්සනයිද?



4 comments:

  1. thanks oyata. eth nama tamai kiyawaganna bari. me real name da?

    ReplyDelete
    Replies
    1. උප්පැන්න සහතිකේ තියෙන්නේ නම් ඕක තමා... අයියෝ කියව ගන්න බැරිද?? ගණන් ගන්න එපා. :D

      Delete