සුවද කැකුළු

Monday, July 16, 2012

රෝස කැකුලී


ඔන්න මම ඉතිං ඔයාලට තවත් ලස්සන කතාවක් කියන්නයි යන්නේ.  හොදට අහගෙන ඉන්න හොදේ!!!!

ඉස්සර එකමත් එක කාලෙක ටිකක් විතර පිටිසර ගමක ගමමහගේ කෙනෙක් හිටියා.  එයා බොහෝම ලස්සන කාන්තාවක්.  ඒ වගේම කරුණාවන්තයි. එයා මල් වලට හරියට ආසා කලා. ආදරේ කලා.  මේ ගමහාමිනේ ගේ ගෙවත්ත හරියට මල් උයනක් වගෙයි.  එක එක ජාතියේ මල් වලින් පිරිලයි තිබුනේ.  පුංචි පුංචි පැණි කුරුල්ලෝ , සමණල්ලු හැම තැනම බොහෝම ආසාවෙන් සැරිසැරුවා.

අනේ ඒත් එයාගේ හිත හැම වෙලාවෙම දුකෙන් පිරිලයි තිබුනේ.  දන්නවද හේතුව මොකද්ද කියලා.  එයාගේ පුංචි නිවහනේ දුවපැන ඇවිදලා සෙල්ලම් කරන්න, අඩන්න, දොඩන්න, පුංචි දරුපැටියෙක්  නැති නිසා.  ඔන්න ඉතිං ඔහොම ඉන්නකොට එක දවසක් එයා දැක්කා හරිම ලස්සන රිදී පාට එළියක් විහිදෙනවා.  එයා ඒ දිහාව පුදුමයෙන් වගේ බලාගෙන හිටියා.  ඒ රිදි ආලෝකය තුලින් මතුවුනේ ලස්සනම ලස්සන සුරංගනාවියක්.
මේ සුරංගනාවිය ගොවි හාමිනේට කතා කරලා කිවුවා.  එයාගේ ගෙයි ඉදිරිපස දොර ලගට ගිහින් බලන්න කියලා.  ඉතිං එයාට මේක අදහගන්නත් බැහැ.  ඒත් එයා නැගිටලා ගිහින් දොර ලග හිටගත්තා.  මෙන්න ගම හාමිනේට හරිම පුදුමයි.  ගේ ඉස්සරහා තියෙන මල් පාත්තියේ හොද සරුවට වැඩුනු රෝස පැලයක් තියෙනවා.  එයාට හොදටම මතකයි මේ විදියේ රෝස පැලයක් එයාගේ අතින් ඉන්දෙව්වේ නැති බවට.  ඒකේ තරමක් ලොකුවට ආපු මල් පොහොට්ටුවක් තිබුනා.  ඒක රතු පාටයි.  වටේට රන්වන් පාටට ඉරක් ඇදිලා තිබුනා.

කොහොම හරි මේ ගම හාමිනේ රෝස පැලයට හොදින් සාත්තු සප්පායම් කලා.  ඔන්න ඉතිං දින දෙකක්  ගතවුනා.  එදා උදේ එයා නැගිටලා රෝස පැලේ දිහා බලද්දි දැක්කා අර රෝස පොහොට්ටුව පිපෙන්නට අර අදින බව.  මේ ගොවි හාමිනේ මල් වලට කවදත් ආදරෙයිනේ ඉතිං.  එයා මේ පුංචි මල් පොහොට්ටුව ආදරෙන් අතගෑවා.  මල් පෙතිවල ඇගේ අත ගෑවුන ගමන්ම මෙන්න එක පාරටම අර පොහොට්ටුව මලක් බවට පත් වුනා.  ගමහාමිනේට අදහගන්නත් බැහැ.  එයා ඊටත් වඩා පුදුම වුනේ මොකද දන්නවද? ඒ මලේ මැද ලස්සනම ලස්සන පුංචි දූ සිගිත්තියක් හිටියා.  එයා හරිම හුරුබුහුටියි.  ඒ වගේම පුංචියි.  අනේ!!! අර රෝස මල වගේම ලස්සනයි.

ඉතිං ගොවිහාමිනේ මේ පුංචි හුරතලීට ආදරේ කරන්න පටන් ගත්තා.  ඇයට නමකුත් දැම්මා.  මේ පුංචි දූ සිගිත්තට දාපු නම තමයි. රෝස කැකුලී.  රෝස කැකුලි බොහෝම පුංචි නිසා එයාට පුංචිම පුංචි තොටිල්ලකුත් සොයාගත්තා.  මේ ගොවි හාමිනේ එයාගේ අළුත් දූ සිගිත්තට තොටිල්ලක් විදියට පිළියෙල කරලා දුන්නේ පොඩි පුවක් කොලපුවක්.  ඒක හොදට හෝදලා පිරිසිදු කරලා වටේටම ලස්සන පාටකුත් තවරලා තමයි ඇය මේ පුංචි පැටික්කිව තොටිල්ලෙන් තිබ්බේ.  ඒක ඇතුලේ රෝස මල් පෙති අතුරලා බොහෝම සිනිදුවට ඇදකුත් හදලා දුන්නා. 


මේ පුංචි රෝස කැකුලි රාත්‍රී කාලයේ කොලපු තොටිල්ලේ හිටියට දහවල් කාලයේදි හිටියේ ලස්සනම ලස්සන පුංචි තැටියක.  ඒක වටේටම රිදියෙන් ඔප දාලා තිබුනා.  තැටිය ලගින්ම ලස්සනම ලස්සන අලුත් මල් පුරවපු බදුනකුත් තියලා තිබුනා.  ඒ මල් බදුනේ සුවද මුළු ගේ පුරාම විසිරිලා ගියා.  පුංචි රෝස කැකුලිට දැනුනේ එයා හරියට සුරංගනා ලෝකෙක ඉන්නවා වගෙයි. 

එයා මේ රිදී තැටියට වෙලා වටපිට බල බලා හිටියේ බොහෝම සන්තෝෂයෙන්.  ඔන්න ඉතිං එක දවසක් එයා එයාගේ පුංචිම පුංචි ඇදට වෙලා නිදාගෙන ඉන්නකොට විශාල ගෙම්බෙක් එයාගේ කොලපු ඇද ලගට ආවා.  එයා දැක්කා පුංචි රෝස කැකුලි එයාගේ ඇදේ නිදාගෙන ඉන්න හැටි. 
“හරිම ලස්සන පුංචි කෙලි පොඩ්ඩියෙක්.  ඇයව මට විවාහ කරගන්න පුළුවන් නම් කොයිතරම් අපූරුද? කියලා ගෙබි හාමි හිතුවා. එහෙම හිතලා මේ පුංචි රෝස කැකුලි හිටපු කොලපු තොටිල්ල උස්ස ගත්ත ගෙම්බා ඉක්මනින්ම මේ ගම ගෙදරින් එළියට ගියා.  ගෙබි හාමි එයාගේ අම්මයි තාත්තයි එක්ක ජීවත් වුනේ මේ ගම ගෙදර වත්ත පහල තියෙන මඩ වලින් පිරුණ ඇලේ. 

ගෙඹි අම්මා මේ පුංචි රෝස කැකුලිව අරගෙන ඇලේ මැද්දෙන් තිබ්බා.  “හම්....එයාට මෙතන හොදයි. මෙතැන එයාට කිසිම කරදරයක් වෙන්නේ නැහැ. හොද පරිස්සම් තැන......කියපු ගෙඹි අම්මා නෙළුම් මලක් අරගෙන පුංචි රෝස කැකුලිව ඒකේ උඩින් නිදි කෙරෙව්වා.  ඉන්පස්සේ මේ ගෙඹි අම්මයි තාත්තයි පුතයි එකතු වෙලා ලස්සනම ලස්සන ගෙයක් නිර්මාණය කලා.  එයාලා ඒක හැදුවේ ඕළු මලක පෙති අරගෙන.  ඒකට මානෙල් රේණුත් එකතු කරගත්තා.  එතකොට වහලෙට නෙළුම් කොළයක් දැම්මා. 

ඔන්න ඉතිං රැය පහන් වෙලා පහුවෙනිදාට එළිවුනා.  පුංචි රෝස කැකුලී නැගිට්ටා.  එයා දැක්කා එයාගේ වටේටම වතුරින් පිරිලා තියෙනවා.  අනේ ඉතිං එයාට ටිකක් බයයි වගේ.  බය වැඩිකමට එයා අඩන්න පටන් ගත්තා.  එයා අඩන සද්දෙට පුංචි මාළුවෝ එහෙන් මෙහෙන් මතුවෙන්න පටන් ගත්තා.  එයාලා නෙළුම් මලට එබිලා බැලුවා.  අනේ ලස්සන පුංචි රෝස පාට කෙළි පොඩ්ඩියෙක්. 

“අපෝ අඩන්න එපා.  හැබැයි ඔයා අර ගෙම්බා එක්ක නම් විවාහ වෙන්න හිතන්නවත් එපා.  එයා ඔයාට කොහොමටවත් ගැලපෙන්නේ නැහැ.  “ 

අනේ ඉතිං මේ පුංචි රෝස කැකුලිට මේ මොනවත් තේරෙන්නේ නැහැනේ.  එයා පුදුමයෙන් වගේ කතා කරන මාළු දිහා බැලුවා.  ඉන්පස්සේ මේ මාළුවෝ සේරම එකතුවෙලා නෙළුම් මලේ නටුව කටින් හපන්න පටන් ගත්තා.  මෙන්න බොලේ ටිකක් වෙලා යනකොට මල නටුවෙන් වෙන් වෙලා වතුරට වැටුනා.  පුංචි රෝස කැකුලී ඒ මේ අතට පැද්දුනා.  ඉහල ඉදන් ආපු වතුර පාරට නෙළුම් මල ගහගෙන ගියා මේ පුංචි පැටික්කිත් අරගෙනම. 

“ආහ්....හරිම ශෝක්.  මට දැන් නිදහසේ පාවෙලා යන්න පුළුවන්.....රෝස කැකුලි සතුටෙන් කෑගැහුවා.  සිංදු කිව්වා.  මේ විදියට පාවෙලා පාවෙලා ගිහින් නෙළුම් මල ඇලේ ඉවුර ලගට කිට්ටු කලා.  කුරුල්ලන්ගේ සද්දේ ඇහිලා, ලස්සන පාට පාට සමණලයෝ දැකලා පුංචි රෝස කැකුලිට හරිම සතුටුයි.  මේ විදියට ඉන්නකොට ලොකුම ලොකු තණකොල පෙත්තෙක් එයාගේ ලගට ආවා.  එයා රෝස කැකුලිව දැක්කා.  ඉතිං මේ තණකොල පෙත්තා එයාගේ අත් වලින් රෝස කැකුලිව උස්සගත්තා.   එයා ඉන්න තැනට එක්කගෙන ගියා.
මල්වලින් එකතු කරගත්ත පැණි බොන්න දීලා පුංචි රෝස කැකුලිගේ බඩගින්න නිවුව තණකොල පෙත්තා පැත්තකින් වාඩිවුනා. 

“ඔයා නම් හරිම ලස්සනයි.  ඒත් ඔයා මං වගේ නෙවෙයිනේ. කියනකොටම සිංදුවක් කියාගෙන අනෙක් තණකොල පෙත්තොත් මේ පුංචි රෝස කුමාරිට ලං වුනා.  එයාලා රංඩු කරගනිමින් රෝස කැකුලි දිහා බලන්න පටන් ගත්තා. 

ඉතිරි ටික හෙට කියන්න එනවා........

2 comments:

  1. "හොදට අහගෙන ඉන්න හොදේ!!!!" කිව්වට මොකුත් ඇහුන නැති හින්දා කියවලාම දැම්මා...


    ඉතිරි ටිකත් ලියන්න...

    ReplyDelete
  2. Ksharapani

    හ්ම්...ඒකත් ඇත්ත. කමක් නැහැ බලන්න ආවනේ. ස්තුතියි ඔයාට.

    ReplyDelete