දිග රයිෆලය
අප්පච්චී සෑම සන්ධ්‍යාවකම කතාන්තර කීමට පෙර ඊලග දිනයේ දඩයමේ යාම සදහා අවශ්‍ය පතරොම් සකස් කලේය.
ලෝරා හා මේරී ඔහුට සහාය වූහ. ඔවුහු දිගැති මිට සහිත විශාල හැන්ද , ඊයම් කැබලි සහිත පෙට්ටිය හා පතරොම් අච්චුව ඔහුට ගෙනැවිත් දුන්හ. ඊළගට ඔහු පෝරණුව මත ඇනතියාගෙන පතරොම් හදන .තුරු ඔවුහු , ඔහු දෙපසින් හිදගෙන බලා සිටියහ.
පළමුව විශාල හැන්දට ඊයම් කැබලි දමා ගිනි අගුරුවලට අල්ලා උණු කරන ඔහු, ඊයම් උණු වූ පසු ඒවා පරිස්සමෙන් පතරොම් අච්චුවේ කුඩා සිදුරට වත්කරයි. මොහොතක් බලා සිටින ඔහු ඊළගට අච්චුව හැර, දිලිසෙන සුලු අලුත් පතරොමක් පෝරණුව මතට දමයි.
පතරොම ඇල්ලිය නොහැකි තරමට රත් වී ඇත. එහෙත් එය සිත් පොලඹවමින් දිලිසෙන්නට වූ අතර ලෝරාට හා මේරිට එය නොඅල්ලා සිටීමට නොහැකි විය. ඔවුහු එය අල්ලා ඇගිලි පුච්චාගත්හ. එහෙත් අලුත් පතරොමක් කිසි දා නොඇල්ලිය යුතු යැයි අප්පච්චී අවවාද කර තිබූ හෙයින්, ඔවුහු ඒ පිළිබද ව කිසිවක් නොකීහ. ඔවුන් අත් පුච්චාගත්තේ නම් එය ඔවුන්ගේ වරදයි. ඔවුන් ඔහුට කීකරු විය යුතුය. ඉතින් සිය පිච්චුණු ඇගිලි සිසිල් වීම සදහා මුව තුළ ලාගන්නා ඔවුහු, අප්පච්චී තවත් පතරොම් සාදන අයුරු බලා සිටින්නට වූහ.
අප්පච්චී පතරොම් සෑදීම නවත්වන්නටත් පෙර පෝරණුව මත දිලිසෙන පතරොම් විශාල ප්‍රමාණයක් ගොඩගැසී තිබිණි. ඒවායේ රස්නය නිවෙන තුරු තැබූ ඔහු සිය ලොකු දුනු පිහියෙන් අච්චුවේ සිදුරේ රැදී ඇති කුඩා කැබැලි සූරන්නට විය. ඉතා තුනී ඊයම් පතුරු සියල්ල එක් කළ ඔහු ලබන වාරයේ පතරොම් සාදන විට උණු කිරීම සදහා ඒවා පරිස්සම් කොට තැබුවේය.
සාදා නිම කළ පතරොම් ඔහු සිය පතරොම් මඩිස්සලයේ බහාලූයේය. එය අප්පච්චී විසින් දඩයම් කරන ලද මුවකුගේ සමකින් අම්මා සෑදූ කදිම පෙනුමැති කුඩා මල්ලකි.
පතරොම් සෑදූ පසු අප්පච්චී බිත්තියේ එල්ලා ඇති සිය තුවක්කුව ගෙන එය පිරිසිදු කිරීමට පටන් ගති. හිමෙන් වැසී ගිය වනයේ මුළු දවසම ගත කිරීම නිසා එහි තෙත් බවක් ඇති වී තිබිය හැකිය. තුවක්කු කානුව තුළ වෙඩි බේත්වලින් ඇති වන කුණු බැදී ඇති බව නම් නිසැකය.
ඉතින් තුවක්කු කානුව යටින් තුවක්කු කටේ වෙඩි බේත් එබීමට යොදන බටය ඉවතට ගත් අප්පච්චී. එහි කෙළවරට පිරිසිදු රෙදිකඩක් බැන්දේය. පෝරණුව මත වූ තාච්චුව තුළ තුවක්කුවේ මහත කොන තැබූ ඔහු, කේතලයේ ඇති උතුරන වතුර තුවක්කු කානුව තුළට වත්කලේය. ඊළගට වෙඩි බේත් එබීමට යොදන බටය එය ඇතුළට රිංගවූ ඔහු, එය ඒ මේ අත කරකවමින් අතුල්ලන්නට වූවේය. තුවක්කුවට පතරොම් පිරවූ පසු එහි ඇබය වසන කුඩා සිදුර තුළින් වෙඩි බේත් දුම පිටතට ගලායමින්, උණු වතුර කළු පැහැගැන්වෙන තුරුම ඔහු එය ඇතිල්ලුවේය.
අප්පච්චී තව තවත් වතුර වත්කරමින් වතුර පිරිසිදු පැහැයක් ගන්නා තුරුම වෙඩි බේත් එබීමට යොදන බටය වටේ ඔතන ලද රෙදිකඩෙන් තුවක්කු කානුව සෝදන්නට වූවේය. අන්තිමේදී තුවක්කුව පිරිසිදු විය. රත් වූ වානේ ක්ෂණයකින් වියැළීයන බැවින් වතුර නිරන්තරයෙන්ම උතුරමින් තිබීම අත්‍යාවශ්‍ය විය.
ඊළගට තෙල් ගල්වන ලද පිරිසිදු රෙදි කඩක් වෙඩි බේත් එබීමට යොදන බටය වටේ එතූ අප්පච්චී, තුවක්කු කානුව රත් ව තිබියදීම එය ඒ තුළට ඇතුළු කොට තෙල් ගැල්වූවේය. ඊළගට තෙල් ගල්වන ලද තවත් පිරිසිදු රෙදිකඩකින් සෑම අගලක්ම තෙල් ගැල්වී මටසිලිටු වන තුරු තුවක්කුවේ පිටත හොදින් ඇතිල්ලුවේය. ඊටත් පසු ව තුවක්කු බදේ ලීය දීප්තිමත්ව දිස්නය දෙන තුරුම එය ද අතුල්ලමින් ඔප දැමුවේය.
දැන් යළිත් වරක් තුවක්කුවට පතරොම් පිරවීමට එහු සූදානම්ය. ලෝරා හා මේරී ඔහුට උදව් කල යුතු විය. නැගී සිටි අප්පච්චී දිග තුවක්කුවේ මහත කොන පහළට සිටින සේ සෘජුව තබාගෙන තමා දෙපස සිටගෙන බලා සිටින ලෝරාට හා මේරීට මෙසේ කීවේය.
“ දැන් ඔයගොල්ල හොදට බලාගෙන ඉන්න ඕන. මං වැරැද්දක් කෙරුවොත් මට කියන්න.
ඉතින් ඔවුහු ඉතා සැලකිල්ලෙන් බලා සිටියහ. එහෙත් ඔහු අතින් කිසිදු වරදක් සිදු වූයේ නැත.
ලෝරා වෙඩි බේත් පුරවන ලද ඔප දැමූ මටසිලිටු හරක් අග ඔහු අතට දුන්නාය. එහි ඉහළ කෙළවර කුඩා ලෝහ ඇබයක් විය. ඇබය පුරවා වෙඩි බේත් ගත් අප්පච්චී එය තුවක්කු කානුව තුලට වත්කලේය. අනතුරුව තුවක්කුව මදක් සෙලවූ ඔහු කානුවට තට්ටු කොට වෙඩි බේත් සියල්ල පතුලට බැස ඇති බව සැක හැර දැනගත්තේය.
“කෝ මගේ රෙදි කෑලි පෙට්ටිය? ඔහු ඇසුවේය. මේරි තෙල් ගල්වන ලද රෙදි කැබැලි පිරුණු කුඩා බෙලෙක් පෙට්ටිය ඔහු අතට දුන්නාය. මේ තෙල් ගැල්වූ කුඩා රෙදි කැබැල්ලක් ගත් අප්පච්චී එය තුවක්කු කට මත තබා දිලිසෙන අලුත් පතරොමක් ඒ මත තැබුවේය. ඉන් පසු වෙඩි බේත් ඔබන ලද බටය ආධාරයෙන් පතරොම හා රෙදි කඩ තුවක්කු කානුව තුලට තල්ලු කලේය.
අනතුරුව ඔහු වෙඩි බේත්වලට තද වී සිටින සේ පතරොමට හා රෙදි කැබැල්ලට වැරෙන් තට්ටු කලේය. ඔහු වෙඩි බේත් ඔබන බටයට තට්ටු කරන විට එය තුවක්කු කානුව තුළට පෙරළී ගියේය. අප්පච්චී එය ගෙන යළිත් ඇතුළට එබුවේය. ඔහු මෙය දීර්ඝ වේලාවක් තිස්සේ කලේය.
ඊළගට ඔමු වෙඩි බේත් ඔබන බටය තුවක්කු කානුවේ ඊට නියමිත ස්ථානයේ යළිත් තැබුවේය. සිය සාක්කුවෙන් ඇබ පෙට්ටියක් ගත් ඔහු තුවක්කුවේ ගිනි මිටිය ඔසවා ඊට යටින් ඇති සිදුර තුළින් කුඩා දිලිසෙන ඇබයක් ඇතුළු කලේය.
ඔහු ගිනිමිටිය ඉතා සෙමින් හා පරිස්සමෙන් පහළට වැටෙන්නට සැලැස්සුවේය. එය වේගයෙන් පහළට වැටුණේ නම් ඩෝං!! හඩක් නගාගෙන තුවක්කුව පත්තු වනු ඇත.
දැන් පතරොම් පුරවන ලද තුවක්කුව අප්පච්චී විසින් දොරට ඉහළින් ඇති කොකුවල එල්ලන ලදී.
අප්පච්චී නිවසේ සිටින විට තුවක්කුව නිතරම දොරට ඉහළින් ඇති ඒ ලී කොකු දෙකේ හරහට එල්ලා තබනු ලැබේ. සිය පිහියෙන් අමු ලීයක් කපා ඒ කොකු සෑදු අප්පච්චී ඊළගට ඒවායේ සෘජු දෙකෙළවර ලී කොටවල සිදුරු තුළට ඇතුළු කලේය. දැන් කොකු සහිත දෙකෙළවර උඩු අතට නැමී තුවක්කුව සුරක්ෂිතව අල්ලාගෙන සිටියි.
සැම විටම පතරොම් පුරවා තුවක්කුව නිතරම දොරට ඉහළින් එල්ලා තබන ලද්දේ අප්පච්චීට අවඹ්‍ය ඕනෑම වේලාවක ඉක්මනින් හා පහසුවෙන් තුවක්කුව ගැනීම සදහාය.
මහ වනයට යන්නට පෙර අප්පච්චී තමාගේ පතරොම් පිරුණු මඩිස්සලයත්, රෙදි කැබැලි දැමූ බෙලෙක් පෙට්ටිය හා ඇබ පෙට්ටියත් තමාගේ සාක්කුවල ඇත්ද යන්න සැක හැර දැනගත්තේය. වෙඩි බේත් සහිත අග හා කුඩා මුවහත් කෙටේරිය ඔහුගේ බද පටියේ එල්ලා තිබූ අතර පතරොම් පිරුණු තුවක්කුව ඔහුගේ උරහිසේ රැදී තිබිණි.
සතෙකුට වෙඩි තැබූ කොයි මොහොතක වුව ඔහු යළිත් තුවක්කුවට පතරොම් දැමිය යුතුය. වෙඩි බේත් කොපමණ ඇද්දැයි බැලිය යුතුය. එය තුවක්කුවට දමා පහළට බසින සේ සෙලවිය යුතුය. රෙදිකඩ හා පතරොම ඇතුළට දමා තදට සිටින සේ තට්ටු කළ යුතුය. ඊළගට ගිනිමිටිය යටින් අලුත් ඇබයක් දැමිය යුතුය. ඒ සියල්ල කළ යුත්තේ යළිත් වෙඩි තැබීමට පෙරාතුවය. වලසෙකුට හෝ අදුන් දිවියෙකුට වෙඩි තබන විට ඔහු එක වෙඩි පහරකින් උන් මරා දැමිය යුතුය. තුවාල වූ වලසෙකුට හෝ දිවියෙකුට, වෙඩික්කාරයාට සිය තුවක්කුවට යළිත් පතරොම් දමන්නටවත් ඉඩ නොතබා ඔහු වෙත පැන ඔහු මරා දැමිය හැකිය.
එහෙත් අප්පච්චී තනිව ම මහ වනයට ගිය කිසිවිටෙක ලෝරා හා මේරී බිය නොවූහ. හැම විටම ඔහු එක වෙඩි පහරින් වලසුන් හා අදුන් දිවියන් මරාදමන බව ඔවුහු දැනසිටියහ.
පතරොම් සාදා තුවක්කුවට පිරවූ පසු එළැඹෙන්නේ කතාන්දර කීමේ වාරයයි.
“අපිට කැලෑවට ගිහින් බයවෙච්ච කතාන්දරේ කියන්න....යි ලෝරා ඔහුට ආයාචනා කරන්නට වූවාය.
අප්පච්චී ඈ දෙම බලා දැස් කුඩා කළේය. “අපෝ බෑ!!!!යි ඔහු කීවේය. “මං මුරන්ඩු කොල්ලෙක් කාලේ කරපු දේවල් ගැන ඔයගොල්ලෝ අහන්න ඕන නැහැ....
“අනේ අපි ආසයි...අපි ආසයි....ලෝරා හා මේරි‍් ඇවිටිලි කරන්නට වූහ. ඉතින් අප්පච්චී කතාන්දරය කීමට පටන් ගත්තේය.
අප්පච්චී කැලෑවේදී බය වූ හැටි
“ඔන්න ඉතිං මං පොඩි කොල්ලා කාලේ , මං මේරිට වැඩිය ලොකු නෑ. හැම හැන්දෑවකම කැලේට ගිහිං එළදෙන්නු එකතු කරගෙන උන්ව ගෙදර දක්කාගෙන එන්න වුනා. මගේ තාත්තා මට කිවුවා, කැලෑවේ තැන තැන සෙල්ලමට එහෙම යන්නේ නෑ, එළදෙන්නු දක්කගෙන කළුවර වැටෙන්න කලින් ඉක්මනට ගෙදර එන්න ඕන කියලා. මොකද කැලෑවේ වලස්සු, වෘකයෝ, දිවියෝ පිරිලා හිටියා.
“එක දවසක් මං වෙනදාටත් වඩා කලින් කැලේට ගියා. ඉතිං මං හිතුවා ගෙදර යන්න තව වෙලාව තියෙනවා නෙව කියලා. කැලෑවේ බලන්න ජාති ඕන තරම් තියෙනවා. ඉතිං කළුවර වැටීගෙන එනවා කියලා මට අමතක වුනා. රතු ලේන්නු ගස්වල ඉන්නවා මං දැක්කා. දඩු ලේන්නු ගස්වල කොළ අස්සේ දඩිබිඩියේ දුවනවා. පුංචි හා පැටවු තණ බිස්සේ සෙල්ලම් කරනවා. ඔයගොල්ලො දන්නවනේ පුංචි හා පැටවු නිදාගන්න කලින් එකට එකතු වෙලා සෙල්ලම් කරනවා නෙව.
“ඉතිං මං දක්ස දඩයක්කාරයෙක් වෙලා කැලෑ සතුන්ගෙයි, ඉන්දියන්කාරයින්ගෙයි පස්සෙන් එළවගෙන ගියා. මං කෙරුවේ ඉන්දියන්කාරයෝ එක්ක සටන් කරන සෙල්ලමයි. කැලෑව වනචාරී මිනිස්සුන්ගෙන් පිරෙන තුරු මං සෙල්ලම් කෙරුවා. ඔන්න එක පාරටම මට ඇහුනා කුරුල්ලෝ සුභ රාත්‍රියක් කියලා කිචි බිචි ගානවා. පාර හොදටම කළු පාටයි. මුළු කැලැවම අන්ධකාර වෙලා.
“දැන් ඉතිං ඉක්මනට එළදෙන්නු ගෙදර ගෙනියන්න ඕන නෙව. නැත්නං උන්ව මඩුවට ගාල් ගරන්න කලින් හොදටම රෑ වෙනවා. ඒත් මට උන්ව හොයාගන්න බැරි වුනා!.
“මං හොදට කන් දුන්නා. ඒත් මට උන්ගේ ගෙජ්ජි සද්දේ ඇහුනේ නෑ. මං උන්ට කතා කෙරුවා. කතා කෙරුවා. ඒත් උන් ආවේ නෑ.
“හැම පැත්තම කළුවරයි. ඒ මදිවට කැලෑ සත්තු. මං හොදටම බය උනා. ඒත් එළදෙන්නු නැතිව ගෙදර ගිහිං තාත්තට කියන්නත් මට බයයි. ඉතිං මං උන්ට කතා කර කර මුළු කැලෑව පුරාම දිවුවා. ටිකෙන් ටික හෙවණැලි ලොකු වුනා. තවත් කළුවර වුනා. කැලෑව එක පාරටම විසාල වුණා වගෙයි මට දැනුනේ. ගසුයි පදුරුයි වෙනදට වඩා අමුතු වෙලා වගේ මට පෙනුනා.
“එළදෙන්නු කොහේවත් නෑ. මං කදුවලට නැගලා උන්ව හොය හොයා කෑගැහුවා. කළුවර දෙණි අස්සේ ගිහිං උන්ව හෙව්වා. අඩගැහුවා. නැවතිලා උන්ගේ ගෙජ්ජි සද්දේ ඇහෙනවද කියලා කන් දුන්නා. ඒත් ගස්වල කොළ සර සර ගාන සද්දේ මිසක් මුකුත් ම ඇහෙන්නේ නෑ.
“එතකොට මට ඇහුනා කවුදෝ හයියෙන් හුස්ම ගන්න සද්දයක්. මං හිතුවේ මට පිටිපස්සේ කළුවරට මුවාවෙලා දිවියෙක් ඉන්නවා කියලයි. ඒත් ඒ ඇහිලා තියෙන්නේ මං හුස්ම ගන්න සද්දෙමයි.
“සපත්තු නැති මගේ කකුල්වල කටු පදුරු ඇනිලා සීරිලා තිබුණා. මං පදුරු අස්සෙන් දුවද්දී ඒවයේ අතු මගේ ඇගේ හයියෙන් වැදුනා. ඒත් මං දිගටම දිවුවා. උන්ව හොය හොයා උන්ට කතා කර කර දිවුවා. “සුකී! සුකී!
“එකපාරටම මගේ ඔළුවට උඩින් කටහඩක් ඇහුනා. හූ...හූ.....
“මගේ ඔළුවේ කෙස් කෙලින් උනා. හූ...හූ... ඒ කටහඩ ආයෙත් ඇහෙනවා. මං පණ එපා කියලා දුවන් පටන් ගත්තා!
“එළදෙන්නු ගැන මට එහෙම පිටින්ම මතක නැති වුණා. මට ඕන වුනේ මේ කළු පාට කැලෑවෙන් එළියට පැනලා ගෙදර දුවන්නයි.
“ඒත් අර කටහඩ මගේ පස්සෙන්ම ඇවිත් ආයෙමත් කියනවා. හූ.....හූ.....ඌෟෟෟෟ
“මං දුවන්න පුළුවන් අන්තිම වේගෙන් දිවුවා. හුස්ම ගන්න බැරි වෙනකං දිවුවා. නවතින්නේ නැතිවම දිවුවා. මොකෙක්දෝ මගේ කකුලකින් අල්ලාගත්තා. මං උඩ පැන පැන නවතින්නේ නැතිවම දිවුවා. කොටින්ම වෘකයෙක්ටවත් මාව අල්ලගන්න බෑ.
“අන්තිමේදී මං කැලෑවෙන් එළියට ආවා. ඇවිල්ලා නතර වුනේ හරක් මඩුව ගාව. මෙන්න සේරම එළදෙන්නු මඩුවේ දොර ගාව හිටගෙන ඉන්නවා. මං උන්ව ඇතුළට දාලා ගෙදර දිවුවා.
“මගේ තාත්තා මං දිහා බලලා මෙහෙම අහනවා. ඉළන්දාරියා මොකද පරක්කු වුනේ? මග දිගේ නටනටා හිටියද?
“මං මගේ කකුල දිහා බැලුවා. එතකොටයි මං දැක්කේ මගේ කකුලේ ඇගිල්ලක නියපොත්තක් එහෙම පිටින්ම කැඩිලා ගිහිං. කොච්චර බය වෙලාද කිව්වොත්, ඒ වෙලාවේ මට ඒ තුවාලේ රිදුනෙවත් නෑ“
මෙතැන දී අප්පච්චී හැමදාමත් කතාව නතර කොට ලෝරා මෙසේ කියන තුරු බලා සිටියි.
“අනේ අප්පච්චී ඉතිරි ටිකත් කියන්නකෝ....
“හොදයි... අප්පච්චී කීවේය. ඉතිං ඔයගොල්ලන් ගේ සීයා මිදුලට ගිහිං කැපුවේ නැතැයි ලොකු කෝටුවක්. ඊළගට ගෙට ඇවිදිං මගේ පස්ස පැත්තට හොදටම ගුටි දුන්නා. එදායින් පස්සේ තාත්තා කියන දේ අහන්න මං හොදට මතක තියාගත්තා.
“වයස අවුරුදු නවයක ලොකු කොලුවෙකුට කීකරු වෙන්න පුරුදු වෙන එක මහ දෙයක් නෙවෙයි....ඔහු කීවේය. “මේ කතාව ඔයගොල්ලන්ටත් හොද පාඩමක්. ඔහු කියන්නට විය. දීලා තියෙන අවවාද පිළිපැද්දොත් ඔයගොල්ලන්ට කිසිම කරදරයක් වෙන්නේ නෑ
“ඔව් ඔව් අප්පච්චී!!!! අප්පච්චි ගේ දණහිස මත උඩ පනිමින් ලෝරා කියයි. “ඉතිං සීයා කිවුවා මං කියනදේ ඇහුවනං කළුවර වැටුණට පස්සේ මහ කැලෑවේ නටනටා ඉන්නේ නෑනේ. එහෙම වුනානම් ඔය විදියට බස්සෙකුගේ ඇඩිල්ලට බය වෙන්නෙත් නෑ නෙව...කියලා.
No comments:
Post a Comment