සුවද කැකුළු

Monday, January 23, 2012

4 පරිච්ජේදය


 නත්තල

කුඩා ලී නිවස සම්පූර්ණයෙන්ම වාගේ හිමෙන් වැසී ගොස්ය.  විශාල හිම ගොඩැලි නිවසේ බිත්ති හා ජනේල අසල පවුරු බැද සිටි අතර උදෑසන අප්පච්චී දොර අරින විට ලෝරා ගේ හිස තරමටම උසැති හිම ගොඩැල්ලක් දොර අසල විය.  අප්පච්චී සවල ගෙන හිම ඉවතට ඇද දැමුවේය.  ඊළගට ඔහු හරක් මඩුවට යන අඩි පාරේ ගොඩගැසුනු හිම ද ඉවත් කලේය.  අශ්වයෝ හා එළදෙන්නු මඩුව තුළ උන් ගේ ගාල්වලට වී සීතලට ගුළි ගැසී උණුසුම් වෙමින් සිටිති.

දවස්, පැහැදිලි හා දීප්තිමත් ස්වභාවයක් ගත්තේය.  ලෝරා හා මේරී ජනේලය අසල තබාගත් පුටුවල හිදගෙන පිටත බැබලෙන ගස් මත රැදුනු දිලිසෙන හිම දෙස බලා සිටින්නට වූහ.  ගස්වල නග්න කළු පැහැ අතු වසා පැතිරුණු හිම හිරු එළියෙන් දිස්න දෙයි.  නිවසේ පියසිවල එල්ලෙන හිම කූරු හිම ගොඩැලි මත ට වැටෙයි.  විශාල හිම කූරු කොතරම් විශාලද යත් ලෝරා ගේ උරහිස ළගටම උස ය.  ඒවා වීදුරු මෙන් වූ අතර තියුණු ආලෝකයන්ගෙන් පිරී ඇත. 

ගව මඩුවේ සිට අඩි පාර දිගේ නිවසට එන අප්පච්චී හුස්ම පිට කරන විට එය දුමක් මෙන් ඉහළ නැගෙනු පෙනේ.  පටලයක් මෙන් වායු ගෝලයට පිවිසෙන ඔහුගේ හුස්ම සුදු පැහැති හිම කැටි බවට පත් වී ඔහුගේ රැවුළ හා යටි රැවුළ වසාගෙන සිටී. 

තමා ගේ බූට් සපත්තුවල ඇලුණු හිම ගැලවෙන සේ අඩි පොළොවේ හප්පා ගෙතුළට ආ අප්පච්චී, ලෝරා අල්ලා සිය සීතල විශාල කබාය සහිත  සිරුරට තෙරපාගෙන ඈව තදින් සිප ගත්තේය.  ඔහුගේ උඩු රැවුළ මත රැදුණු, දිය ව යන කුඩා හිම බිදු පබළු වැළක සිරි මවයි. 

සෑම රාත්‍රියකම ඔහු විශාල ලෑලි කෑල්ලක් හා කුඩා ලෑලි  කෑලි දෙකක් සමග කුමක්දෝ ලොකු වැඩක නියැලෙන්නට වූයේය.  සිය පිහියෙන් ලෑලි කෑලි කදිම හැඩයකට කැපූ ඔහු වැලි කරදාසියකින් හා සිය අත්ලෙන් ඒවා හොදින් මැද්දේය.  ලෝරා ලෑලි කෑලි ස්පර්ශ කරන විට ඒවායේ සේද මෙන් සිනිදු හා මටසිලිටු බවක් ඇති වී තිබිණි. 

අනතුරුව මිට මුවහත් පිහිය ගත් ඔහු විශාල ලෑල්ලේ කෙළවරවල් කුඩා උල් හා ශිඛර හැඩයට කපා ඉතා උසැති මුදුන මත විශාල තරුවක් කැපුවේය.  ඊළගට ලීයේ තැන තැන කුඩා සිදුරු කැපුවේය.  ඉන් පසු ඒ සිදුරු ජනේල, කුඩා තරු, අඩ සදවල්, හා රවුම් හැඩවලට කැපුවේය.  ඊටත් පසුව ඒ සියල්ල වටා පුංචි පුංචි කොළ, මල් හා කුරුල්ලන් ගේ රූප කැපුවේය.

කුඩා ලෑලි කෑලි දෙකෙන් එකක් කදිම රවුමකට කැපූ ඔහු එහි කොන් වටා කොළ, මල්, හා තරු කපා ඒ මැදින් අඩ සදවල් හා දගර හැඩ කැපුවේය.  කුඩාම ලෑල්ලේ කොන වඩා ඔහු කැපුවේ පුංචි මලින් ගැවසි මිදි වැලකි.

අහක දමන ලද ලී පතුරුවලින් ඔහු ලස්සන වනු ඇතැයි තමාට කල්පනා වූ කුමක් හෝ හැඩයක් ඉතා සෙමෙන් හා පරිස්සමෙන් කැපුවේය.

අන්තිමේදී සියලු රූප කපා නිම කළ ඔහු එක් රාත්‍රියක ඒ කොටස් සියල්ල එකට සවි කලේය.  එය නිම වූ පසු දක්නට ලැබුනේ ශෝභන පෙනුමැති කුඩා රාක්කයකි.  රාක්කයේ පිටුපස කොටස වූයේ කදිමට කැටයම් කපන ලද විශාල ලෑල්ලයි.  විශාල තරුව එහි මුදුනින් ම පායා තිබුනි.  එක් කුඩා ලෑල්ලක් රාක්කයේ ආධාරකය ලෙස පහළින් සවි වී තිබූ අතර එය ද මනරම් ලෙස නිමවා තිබිණි.  කුඩා මිදි වැළ රාක්කයේ ගැටිය වටා දිවෙයි.

අප්පච්චී මේ රාක්කය සෑදුවේ අම්මාට නත්තල් තෑග්ගක් වශයෙනි.  ඔහු ජනෙල් අතර ලී බිත්තියේ එය පරිස්සමට එල්ලුවේය.  අම්මා රාක්කය මත ඇගේ පිගන් මැටියෙන් සෑදූ කාන්තාව ගේ ප්‍රතිමාව තැබුවාය.

කුඩා පිගන් මැටි කාන්තාව, හිසේ පිගන් මැටි තොප්පියක් පැළද සිටියි.  ඇගේ ගෙල මත අක් බඹරු වන් හිසකේ වැටී ඇත.  ඈ ඇද සිටි ගවුම ඉදිරිපසින් ලේස් පටි ඇල්ලූ එකක් වූ අතර ඇය ළා රෝස පැහැති ඒප්‍රනයක් ඇද රන් ආලේප කරන ලද පාවහන් පැළද සිටියි.  මල්, කොළ, කුරුල්ලන් හා හද වට කරගෙන විශාල තරුවක් ඇති මුදුනක් සහිත රාක්කය මත සිටගෙන සිටින ඈ ඉතා සුන්දර ය.

නත්තලට අවශ්‍ය රසවත් කෑම වර්ග සාදමින් අම්මා මුළු දවස පුරාම කාර්ය බහුල වී සිටියාය.  ඇය ලුණු දැමූ පාන් හා රයි ඇන්ඩ් ඉන්ජන් නමැති පාන් පිලිස්සුවාය.  ස්වීඩන් විස්කෝතු සෑදුවාය.  ලුණු දැමූ ඌරු මස් හා පැණි සමග බේක් කරන ලද විශාල බෝංචි බදුනක් සෑදුවාය.  විනාකිරි පස්තෑල හා වියළි ඇපල් පස්තෑල සෑදුවාය.  ප්‍රණීත කුඩා විස්කෝතු සාදා විශාල බුජමක් පිරවූ ඇය කේක් හැන්ද ලෙව කෑමට ලෝරාට හා මේරීට ඉඩ දුන්නාය.

ඇය එක් උදෑසනක පැණි හා සීනි එක්කර ගනැති පැණියක් වන තුරු උනු කලාය.  අප්පච්චී පිටතට ගොස් සාස්පාන් දෙකකට පිරිසිදු සුදු හිම පුරවාගෙන ආවේය.  ලෝරාට හා මේරීට සාස්පාන බැගින් ලැබුණු අතර අප්පච්චී හා අම්මා හිම මතට තද දුඹුරුවන් පැණිය වත්කරන අයුරු ඔවුනට කියාදුන්නාය.

ඔවුන් හිම මත රවුම්, විසිතුරු දගර හා කැකුණු රේඛා ඇන්ද අතර ඒවා වහා ගන වී දෝසි බවට පත්විය.  ලෝරාට හා මේරීට එක් කැබැල්ල බැගින් කෑ හැකි වූ අතර ඉතිරිය නත්තල් දවස සදහා තබාගත යුතුය.
මෙසේ රසවත් කෑම වර්ග සාදනු ලැබුවේ නත්තල ගත කිරීම සදහා එලිසා මහම්මා, පීටර් මහප්පා සහ ඥාති සොයුරු සොයුරියන් වන පීටර්, ඇලිස් හා එලා නිවසට එන බැවිනි.

නත්තලට පෙර දා ඔවුහු පැමිණියහ.  හිම යානයක සීනු ප්‍රීතිමත් හඩකින් නද දෙනු ලෝරාට හා මේරීට ඇසිනි.  ඒ හඩ මොහොතින් මොහොත වැඩි වන්නට වූ අතර ඊළගට විශාල ලී හිම යානයක් කැලෑවෙන් පිටතට අවුත් දොර අසල නැවතිණි.  එලිසා මහම්මා, පීටර් මහප්පා හා ඥාති සොයුරු සොයුරියන් එහි සිටියහ.  ඔවුහු සියලු දෙනාම බ්ලැන්කේට්ටු, කබා හා මී හරක් සම්වලින් සිරුරු ආවරණය කරගෙන සිටියහ. 

කබා, මෆ්ලර් සළු හා පොරෝනා බොහෝ ගණනක් මුහුණේ හා සිරුරේ ඔතාගෙන සිටි බැවින් ඔවුන් පෙනුනේ හැඩයක් නැති විශාල පොට්ටනි මෙනි.

ඔවුන් ඇතුළට පැමිණි විගස කුඩා නිවස පිරී ඉතිරී යන බවක් පෙනුනි.  බ්ලැක් සූසන් පිටතට ගොස් මඩුවේ සැගවුනු අතර, ජැක් කිසිදා නොනවත්වමියි කියන්නට මෙන් හිම මත කරකැවී කැවී උඩ පනිමින් බුරන්නට වූවේය.  දැන් සෙල්ලම් කරන්නට ඕනෑ තරම් යාළුවෝ සිටිති!!!!

එලිසා මහම්මා, පීටර්, ඇලිස් හා එලා සිරුරේ ඔතාගෙන සිටි පොරෝනා ඉවත් කළ විගස ඔවුහු ලෝරා හා මේරී සමග එක්ව දුවන්නටත්, කෑගාන්නටත් වූහ.  අන්තිමේදී එලිසා මහම්මා නිහඩ වන ලෙස ඔවුන්ට අවවාද කලාය.  එවිට ඇලිස් මෙසේ කීවාය.

“මං කියන්නද වැඩක්.  අපි පින්තූර අදිමු.

ඒ සෙල්ලම කරන්නට නම් ගෙවත්තට යා යුතු යැයි ඇලිස් කීවාය.  එහෙත් ලෝරාට පිටතට ගොස් සෙල්ලම් කිරීමට නොහැකි තරමට සීතල ඉතා දැඩි බව අම්මා කීවාය.  මේ කතාවෙන් ලෝරා කොතරම් බලාපොරොත්තු විරහිත තත්ත්වයට පත්වූවාද යන්න දුටු අම්මා, සුළු වේලාවකට පමණක් ඈට පිටතට යන්නට අවසර දුන්නාය.  එහෙත් ඈ ලෝරාව පිටතට යැවුවේ ඇගේ කබාය අන්දවා, අත් මේස් දමා, හිස් වැස්ම සහිත කොට කබාය අන්දවා, මෆ්ලරය ගෙන ඇගේ ගෙල වඩා බැදීමෙන් පසුවය.

එතරම් ප්‍රීතියක් ලෝරාට අන් කවරදාවත් දැනී තිබුනේ නැත.  ඇලිස්, එලා, පීටර් හා මේරී සමග පින්තූර අදිමින් ඇය මුළු උදේ වරුවම ගත කළාය.  ඔවුන් ඒ ක්‍රීඩාව කළේ මේ අයුරිනි.

එක් එක්කෙනා කොටයක් මතට නැග එකිනෙකා ගේ අත් අල්ලාගෙන, එක්වරම මෘදු, ගැඹුරු හිම මතට පැනිය යුතුය.  මෙසේ පනින විට මුහුණ පොළවට සමතලා වන සේ තිබිය යුතුය.  ඉන් පසු වැටුනු ආකාරය සහිත ව හිම මත ඇදුනු චිත්‍රය අවුල් නොවන සේ එතැනින් නැගී සිටිය යුතුය.  එය නිවැරිදිව කළේ නම්, කුඩා දැරියන් වූ සිවු දෙනා ගේ හා පිරිමි ළමයාගේ රූප හරියටහ ඒ ආකාරයෙන්ම අත් කකුල් හා අනෙක් අංග සහිතව රූප පහක් වන සේ හිම මත ඇදී තිබෙනු දැකගත හැකිවේ.  ඔවුන් ඒවා හදුන්වන්නේ ඔවුන්ගේ පින්තූර යනුවෙනි.

මුළු දවස පුරාම වෙහෙස වී සෙල්ලම් කළ ඔවුන්ට රාත්‍රිෙය් නින්දට යාමට පවා ඕනෑකමක් නොවීය.  එහෙත් ඔවුන් නිදාගත යුතුය.  නැති නම් නත්තල් සීයා එන්නේ නැත.  ඉතින් සිය මේස්, ගිනි උදුන අසල එල්ලා තැබූ ඔවුහු යාච්ඤා කොට නින්දට ගියහ.  ඇලිස්, එලා, මේරී, හා ලෝරා, බිම සාදන ලද විශාල ඇදක නිදාගත්හ.

පීටර්ට රෝද සහිත මිටි ඇද ලැබිණි.  එලිසා මහම්මාට හා පීටර් මහප්පාට විශාල ඇද වෙන් කොට තිබූ අතර අටුවේ බිම තවත් ඇදක් අප්පච්චීට හා අම්මාට නිදාගැනීම පිණිස සාදා තිබිණි.  පීටර් මහප්පා ගේ හිම යානයේ තිබූ මී හරක් මහින් මහන ලද පොරෝනා හා සියලු ම බ්ලැන්කෙට්ටු ගෙන ආ බැවින් හැම දෙනාටම පෙරවීමට ඇති තරම් පොරෝනා තිබිණි.

අප්පච්චී, අම්මා, එලිසා මහම්මා හා පීටර් මහප්පා ගිනිමැළය අසල වාඩිවී කතා කරමින් සිටියහ.  නින්දත් නොනින්දත් අතර සිටියදී පීටර් මහප්පා මෙසේ කියනු ලෝරාට ඇසිණි.

“මං ලේක් සිටිවලට ගිහිං ඉන්දැද්දී එලිසා එක දවසක් අනුනවයෙන් බේරිලා තියෙන්නේ.  දන්නවා නේද මං ඇති කරන අර ලොකු බල්ලා ප්‍රින්ස්?

ලෝරා එක්වරම නින්දෙන් පිබිදුනාය.  බල්ලන් පිළිබද කතා ඇසීමට ඈ කවදත් කැමැතිය.  මීයෙකු මෙන් නිහඩ ව වැතිරගත් ඇය ලී බිත්ති මත මද දීප්තියක් විහිදුවන ගිනිමැළයේ ආලෝකය දෙසට නෙත් හරවාගෙන, පීටර් මහප්පා ගේ කතාවට සවන් දුන්නාය.

“ඉතින්....පීටර් මහප්පා කියන්නට විය...“උදේ පාන්දර එලිසා වතුර ගේන්න උල්පතට යනවා නෙව.  එතකොට ප්‍රින්සුත් එයාගේ පස්සෙන් යනවා.  ඉතිං මේ කියන දවසේ, එලිසා වතුර ගේන්න උල්පතට යන පාරෙ දෙණිය අයිනට ගියා විතරයි, මෙන්න ප්‍රින්ස් එකපාරටම උගේ දත් වලින් එලිස ගේ සාය අල්ලාගෙන පිටිපස්සට අදින්න පටන්ගත්තා.

“දන්නවනේ ඌ කොයිතරං විසාල ද කියලා.  එලිසා ඌට කෑගෑවා.  ඒත් මේකා සාය අත අරින්නේ ම නෑ.  ඌ හොද හයිහක්තිය තියෙන එකෙක්.  ඉතිං එලිසට ඌව තල්ලු කරලා දාන්නත් බෑ.  ඉතිං මූ සායෙ කැල්ලක් ඉරිලා යනකං ම එලිසව පිටිපස්සට ඇද්දා.......

“අර මගේ නිල් පාට සාය....එලිසා මහම්මා කීවාය.

“දෙයියනේ...!  ඒ අම්මා ගේ කටහඩයි.
“ඌ ඒකේ පිටිපස්සේ පැත්තෙන් ලොකු කෑල්ලක් ම ඉරලා ගත්තා.  එලිසා මහම්මා කීවාය.  “මට හරිම කේන්තියි. ඌට හොද පාරවල් දෙකක් දෙන්නයි මට ඕන වුනේ.  ඒත් මූ මට ගෙරෙව්වා. 

“ප්‍රින්ස් ඔයාට ගෙරෙව්වා????අප්පච්චී ඇසුවේය

“නැත්නං...... එලිසා මහම්මා පිළිතුරු දුන්නාය. 
“ඉතිං, එලිසා ගාණක් ගන්නේ නැතිව ආයෙත් උල්පතට යන්න හැදුවා.  පීටර් මහප්පා යළිත් කතාව පටන්ගත්තේය.  ඒත් ප්‍රින්ස් මෙයාට ඉස්සරහින් පාරට පැනලා ගොරවනවලු.  මෙයා කොච්චර කලත්, බැන්නත් ඌ ගාණකටවත් අරං නෑ. ඌ දිගටම දත් විලිස්සාගෙන ගොරවනවා.  මෙයා ඌව පහු කරලා යන්න හැදුවා විතරයි. ඌ එකපාරටම මෙයාගේ ඉස්සරහට කඩ පැන්නා. ඒකෙන් එලිසා හොදටම බය උනා. 

“බයවුණේ නැත්තං නේ පුදුමේ!!!අම්මා කීවාය.

“ඌ කොච්චර දරුණු ද කිවුවොත්, මං හිතුවේ ඌ මාව කයි කියලා...එලිසා මහම්මා කීවාය.  “මං විශ්වාස කලේ ම ඌ මාව කයි කියලයි....

“මං කවදාවත් ඔහොම කතාවක් අහලා නෑ.  අම්මා කීවාය.  “ඉතිං දෙයියනේ ඔයා මොකද කෙරුවේ....
“මං ආපහු හැරිලා ගෙට ගිහිං දරුවොත් එක්ක දොර වහගත්තා.  එලිසා මහම්මා පිළිතුරු දුන්නාය. 

“ඇත්තට ප්‍රින්ස් අදුරන්නේ නැති අයට හරි දරුණුයි. පීටර් මහප්පා කීවේය. 
“ඒත් ඌ එළිසාටයි දරුවන්ටයි හරි ආදරෙයි.  ඌ එක්ක ඒගොල්ලන්ව දාලා ගියාම මගේ හිතට බයක් නැහැ.  මෙයා දොර අරින හැම පාරකම ඌ මෙයා දිහාට පැනලා ගොරවනවා.....
“ඌට පිස්සු හැදිලද?  අම්මා ඇසුවාය
“මාත් හිතුවෙ ඒකම තමයි....එලිසා මහම්මා කීවාය.
“මොනවා කරන්නද කියලා මට හිතාගන්න බැරිවුනා.  මං ළමයි එක්ක දොර වහගෙන ගේ ඇතුළට ම වෙලා හිටියා.  එළියට යන්නත් බයයි.  එදා අපට වතුරත් නෑ.  හිම ටිකක් දිය කරලා වතුර හදාගන්නත් එළියට යන්න එපැයි.  මං මහ සද්දෙන් දොර අරින කොයි වෙලාවේ හරි ප්‍රින්ස් මාව කෑලිවලට ඉරන්න වගේ කඩා පනිනවා....

“කොයි තරම් වෙලා එහෙම හිටියද? අප්පච්චී ඇසුවේය.
“මුළු දවසම හවස් වෙනකං ම එලිසා මහම්මා කීවාය.  පීටර් තුවක්කුව ගෙනිහිං තිබුනේ නැත්නම් මං එයාට වෙඩි තියනවා.
“හවස් වෙනකොට .....පීටර් මහප්පා කියන්නට විය.  ඌ දොර ඉස්සරහ දිගාවෙලා නිශ්ශබ්දව බලා හිටියා.  එලිසා හිතුවා ඌට නින්ද ගිහිං කියලා.  ඉතිං මෙයා ඌට හොරෙන් වතුර ටිකක් ගේන්න උල්පතට යන්න හිතුවා. 

ඉතිං එලිසා හෙමිහිට දොර ඇරියා.  ඒත් මූ ඇහැරිලයි ඉදලා තියෙන්නේ.  මෙයාගේ අතේ වතුර බාල්දිය තියෙනවා දැක්ක විතරයි ඌ නැගිටලා මෙයාට ඉස්සර වෙලා උදේ වගේම පාර දිගේ යන්න ගත්තා.  මෙන්න උල්පත ළග හිම තලාව දිගේ අදුන් දිවියෙකුගේ අළුත් අඩි පාරවල් තියෙනවා...
“ඒ අඩි පාරවල් මගේ අත තරං ලොකුයි...එලිසා මහම්මා කීවාය.

“ඔව් පීටර් මහප්පා කීවේය.  “ ඌ ලොකු එකෙක්.  උගේ අඩි පාරවල් තරං ලොකු ඒවා මං කවදාවත් දැකලා නෑ.  ප්‍රින්ස් උදේ එලිසට උල්පත ලගට යන්න දුන්නානං එහෙම, ඌ එලිසව කනවා.  ඒකේ කිසි සැකයක් නෑ.  මං අඩි පාරවල් දැක්කා.  ඌ උල්පත ළග ලොකු ඕක් ගහේ නැගගෙන බලාගෙන ඉදලා තියෙනවා.  කවුරුහරි සතෙක් වතුර බොන්න එනකං.  මෙයා ගියා නං එහෙම ඌ මෙයාගේ ඇගට පනිනවා.  ආයේ බොරු නෙවෙයි.

“මෙයා උගේ අඩි පාරවල් දකිනකොට ටිකක් රෑබෝ වෙලා.  ඉතිං වතුර බාල්දියකුත් අරගෙන ඉක්මනට ගෙදර ආවා.  ප්‍රින්ස් සැරින් සැරේ දෙණිය දිහා හැරි හැරී බල බලා, මෙයා ලගින්ම මෙයා පස්සෙන්ම ආවා.

“මං ඌව ගේ ඇතුලට ගත්තා.  එලිසා මහම්මා කීවාය. පීටර් එනතුරු ම අපි ගේ ඇතුලට වෙලා හිටියා.
“ඌව අල්ලාගත්තාද?   අප්පච්චී පීටර් මහප්පා ගෙන් ඇසුවේය.  “නෑ... පීටර් මහප්පා කීවේය. 
“මං තුවක්කුවත් අරගෙන හැම තැනම ගියා.  ඒත් හම්බ වුනේ නෑ.  මං උගේ අඩි පාරවල් හුගාක් දැක්කා.  ඌ මහ කැලේ දිගේ ඈතට ඈතට ගිහිං උතුරු දිහාවට ගිහිං තිබුනා....
මේ වන විට ඇලිස්, එලා හා මේරී ද පිබිදී සිටි අතර ලෝරා සිය පොරෝනාව තුළින් හිස පිටතට දමා ඇලිස් ගේ කනට මුව ලං කොට, “ මගේ අම්මෝ! ඔයගොල්ලෝ බය වුනේ නැද්ද? යි රහසින් ඇසුවාය.  

තමා බිය වූ බවත් එලා ඊට වඩා බිය වී සිටි බවත් ඇලිස් ලෝරාගේ කනට කොදුරා කීවාය.  තමා එවැනි දේවල්වලට බිය නැතැයි එලා ද ඈට රහසින් කීවාය.

“ඒ වුනාට ඔයා තමයි වතුර බොන්න ඕනෙ.  තිබහයි තිබහයි කියලා නාහෙන් ඇඩුවේ.  ඇලිස් කෙදිරුවාය.

ඔවුන් දිගටම මෙසේ රහස් කියා ගන්නා අතරේ අම්මා මෙසේ කියනු ඇසිණි.  “චාල්ස් අරගොල්ලෝ ඔයා සිංදුවක් කියන තුරු නිදා ගන්නේ නෑ....

ඉතිං අප්පච්චී සිය රවුකිඤ්ඤය අතට ගත්තේය.

කාමරය නිහඩතාවයෙන්, උණුසුමින් හා ගිණිමැලයේ ආලෝකයෙන් පිරී තිබිණි.  අම්මාගේ, එලිසා මහම්මාගේ හා පීටර් මහප්පා ගේ විශාල සෙවණැලි ගිනිමැළයේ ආලෝකය පතිත වූ බිත්ති මත ලෙළදෙයි.  අප්පච්චී ගේ රවුකිඤ්ඤය ප්‍රීතිමත් ස්වරයෙන් නාද නගන්නට විය.

අප්පච්චී රවුකිඤ්ඤයෙන් සල්ලි මවන කස්තුරි “ රතු වැස්සී .... “යක්ෂයාගේ සිහිනය... හා ආකැන්සස් සංචාරකයා යන ගීත වාදනය කලේය.  අප්පච්චී ගේ ලයාන්විත ගායනයත්, රවුකිඤ්ඤයේ මිහිරි නාදයත් අසමින් ලෝරා නින්දට වැටුණාය.

“මගේ ආදර නෙලි ග්‍රේ.... ඔවුන් ඔබව උදුරගෙන ගියා,
ආයේ කවදාවත් මට මගේ ආදරිය හමුවන්නේ නෑ.....

පසුදා උදෑසන ඔවුහු සියලු දෙනාම එකම වේලාවේම වාගේ නින්දෙන් පිබිදුනාය.  රැයේ එල්ලා තැබූ මේස් කකුල් දෙස බැලූ ළමයි ඒවායේ කුමක් හෝ ඇති බව දුටුවහ.  නත්තල් සීයා රාත්‍රියේ මෙහි ඇවිදින් තිබේ.  ෆ්ලැනල් රෙදිවලින් මැසූ රාත්‍රි නිදන ඇදුම් ඇදගත් වනම ඇලිස්, එලා හා ලෝරාත්, රතු ෆ්ලැනල් නිදන කමිසය ඇදගත් පීටරුත් කෑගාමින් නත්තල් සීයා ගෙනැවිත් ඇත්තේ මොනවාදැයි බලන්නට දුව ගියහ. 

හැම මේස් කකුලකම දිලිසෙන රතු අත් මේස් කුට්ටම ක් හා රතු හා සුදු ඉරි වැටුණු දිග, සිහින් කෝටුවක හැඩයේ පැණි රස පෙපර්මින්ට් සූකිරි එකක් තිබිණි.  එහි වටේට ඉතා ශෝබන ලෙස කන්තු කපලාය.

ළමයින් කොතරම් සතුටට පත් වීද යත් ඔවුන්ට එක් වරම කතා කර ගැනීමට නො හැකි විය.  ඔවුන් දිළිසෙන ඇස්වලින් ඒ කදිම නත්තල් තෑගි දෙස බලා සිටියා පමණි.  ලෝරා අන් සැමටම වඩා සතුටට පත් ව සිටියාය.  ඇයට රෙදි බෝනික්කෙකු ද තෑගි වශයෙන් ලැබී තිබේ.

ඈ ඉතා ලස්සන බෝනික්කෙකි.  සුදු රෙද්දකින් සෑදූ මුහුණක් ද කළු පැහැති බොත්තම් ඇස් ද ඈට තිබිණි.  කළු පැන්සලකින් ඇගේ ඇහි බැමි ඇද තිබූ අතර, පෝක්බෙරි වලින් (සායම් සෑදීමට ගන්නා රතු ගෙඩි වර්ගයකි) සෑදූ රතු සායම්වලින් ඇගේ කම්මුප් හා දෙතොල් පාර කර තිබිණි.  ඇගේ හිසකේ ගොතන ලද ගැට ගැසුණු කළු කැටි නූලෙන් සෑදූ නිසා කැරලි වී ඇත.

ඇයට රතු ෆ්නැල් වලින් මැසූ මේස්ද, සපත්තු වෙනුවට කුඩා කළු රෙදි කඩකින් මැසූ යටි පතුල හා වළලුකර වැසුණු පා වැස්මක් ද විය.  ඇගේ ඇදුම මනහර රෝස හා නිල් පැහැති කපු රෙද්දෙන් නිම වී තිබිණි.

ඈ කොතරම් ලස්සන ලද යත් ලෝරාට වචනයක් කතා කර ගැනීමට නොහැකි විය.  බෝනික්කා දෑතින්ම බදාගෙන සිටි ඇයට අනෙක් සියල්ල ම මතක නැති විය.  හැම දෙනාම තමා දෙස බලා සිටින බව පවා ඈ දැනගත්තේ එලිසා මහම්මා මෙසේ කියන විටය. 

“බලන්නකෝ ඇස් ලොකු කරගෙන බලා ඉන්න හැටි!ලෝරා කුඩාම දැරිය බැවින් ඈට අත් මේස් හා රස කැවිලි සමග බෝනික්කෙකු ද තෑගි ලැබීම ගැන අනෙක් ගැහැණු ළමයින් ඊර්ෂ්‍යා වූයේ නැත.  සිගිති කේරී හා නැන්දා ගේ සිගිති දැරිය වන ඩොලී වාර්ඩන් හැරුණු විට එහි සිටි කුඩාම දැරිය ලෝරා ය.  සිගිති දැරියන් බෝනික්කන් සෙල්ලම් කිරීමට තවම කුඩා වැඩිය.  ඔවුන් කොතරම් කුඩා ද කියතොත්, නත්තල් සීයා ගැන පවා දන්නේ නැත.  සෑම උද්යෝගයකදීම ඔවුන් කලේ සිය කුඩා ඇගිලි මුවේ ලාගෙන ඒ මේ අත ඇඹරීම පමණි.

ලෝරා සිය බෝනික්කා අල්ලාගෙන ඇදේ කොනක හිදගත්තාය.  ඇය ඇගේ රතු අත් මේස්වලට හා සූකිරිවලට ආසා කලාය.  එහෙත් ඒ සියල්ලට ව වඩා ඈට බෝනික්කා වටී.  ඇය බෝනික්කාට චාලට් යනුවෙන් නම් තැබුවාය.

අනතුරුව ඔවුන් එකිනෙකා ගේ අත් මේස්වල හැඩ බලන්නට ද තම තමන්ගේ අත්වල ඒවා දමාගන්නට ද වූහ.  පීටර් ඔහු ගේ සූකිරි කෝටුවෙන් දැනටමත් විශාල කෑබැල්ලක් කා හමාර කර තිබූ නමුත් ඇලිස්, එලා මේරී හා ලෝරා බොහෝ වේලාවක් එහි රම බලනු පිණිස තම තමන්ගේ සූකිරි කෝටුව සෙමින් සෙමින් ලෙවකන්නට වූහ.

“හොදයි ! හොදයි! පීටර් මහප්පා කීවේය.  හොද හොද තෑගි වෙනුවට වේවැලක් තිබුණු එක ම මේස් කකුලක්වත් මෙහේ තිබුනේ නැද්ද?  හරි පුදුමයිනේ.  මේ ළමයි ඒ තරමටම හොද ළමයිද ආ?  

නත්තල් සීයා තමන් ගෙන් කිසිවෙකුටවත් තෑගි වෙනුවට වේවැලක් දෙනු ඇතැයි ඇත්තෙන්ම ඔවුහු විශ්වාස නොකලහ.  සමහර ළමයින්ට එසේ සිදු වෙයි.  එහෙත් ඔවුනට එසේ වන්නේ නැත.  හැම විටම, හාමදාස මුළු අවුරුද්ද පුරා හ හොද ළමයෙකු වීම ලේසි පහසු කාර්යයක් නොවේ.

“ළමයින්ට විහිළු කරන්න එපා පීටර්...එලිසා මහම්මා කීවාය.  අම්මා, “ලෝරා අක්කලාට ඔයා ගේ බෝනික්කව අල්ලන්න දෙන්නේ නැද්ද? යි ඇසුවාය.  ඈ එයින් අදහස් කලේ කුඩා දැරියන් එතරම් ආත්මාර්ථකාමී නොවිය යුතු බවයි.

ඉතින් ලෝරා ඇගේ ලස්සන බෝනික්කා අතට ගන්නට මේරීට ඉඩ දුන්නාය.  ඊළගට ඇලිස්ද, එලාද, මොහොතකට බෝනික්කා අතට ගෙන බැලූහ.  ශෝභන ඇදුම සිනිදුවට අල්ලා බැලූ ඔවුහු රතු ෆ්ලැනල් මේස් කකුල්, පා වැසුම් හා කැරලි ගැසුණු කෙටි නූලෙන් සැදූ හිසකේ අගය කරන්නට වූහ.  ලෝරාට සතුටක් දැනුණේ අන්තිමේදී චාලට් ඇගේ දෑතේ යළිත් සුරක්ෂිතවූ පසුවය.

අප්පච්චීට හා පීටර් මහප්පාට  ද අලුත් උණුසුම් අත් මේස් ජෝඩුව ගණනේ ලැබී තිබිණි.  ඒවායේ රතු හා සුදු කුඩා කොටු මසා ඇත.  ඒවා මැසුවේ අම්මා හා එළිසා මහම්මාය. 

එලිසා මහම්මා කරාබු නැටි ගැසූ විශාල රතු ඇපල් කූඩයක් අම්මාට ගෙනැවිත් තිබුණාය.

ඉන් හමන ප්‍රණීත සුවද!!!! කරාබු නැටි නිසා ඇපල් නරක් නොවී, නැවුම්, මිහිරි රසයෙන් කල් තබා ගත හැකිය.  එබැවින් ඇපල් අපතේ යන්නේ නැත.

අම්මා, ඈ විසින් සාදන ලද ඇල්පෙනෙති ගසන කුඩා පොතක් එලිසා මහම්මාට තෑගි කළාය.  එහි කවරය සේද රෙදි කැබැලිවලින් සාදා තිබූ අතර, ඉදිකටු ගැසිම සදහා ඇති පිටු මෘදු ෆ්ලැනල් රෙදිවලින් සාදා තිබිණි.  ඨ්ලැනල් රෙදි ඉදිකටු මලකඩ කෑමෙන් වලකයි.

ඔවුහු සියලු දෙනාම අම්මාගේ ලස්සන රාක්කය අගය කළහ.  මීට වඩා වෙනස් කැටයම් කපා ඒ ආකාරයටම රාක්කයක් සාදා දෙන ලෙස එලිසා මහම්මා පීටර් මහප්පාට කීවාය.

නත්තල් සීයා ඔවුන්ට කිසිවක් තෑගි කර තිබුණේ නැත.  නත්තල් සීයා වැඩිහිටියන්ට තෑගි දෙන්නේ නැත.  ඒ ඔවුන් අයහපත් අය නිසා නොවේ.  අප්පච්චී හා අම්මා ඉතා හොද අය වෙති.  එහෙත් ඔවුන් වැඩිහිටියන් නිසා ඔවුන් තම තමන් අතර තෑගි හුවමාරු කරගත යුතුය.

අනතුරුව සියලු දෙනාම සුළු වේලාවකට තෑගි පසෙක තැබූහ.  අප්පච්චී පීටර් මහප්පා සමග ඉස්තාලයේ වැඩපළ කිරීම සදහා පිටත්ව ගිය අතර ඇලිස් හා එලා ඇදවල් සකස් කිරීම සදහා එලිසා මහම්මාට සහාය වූහ.  ඒ අතර ලෝරා හා මේරී, අම්මා උදෑසන ආහාර පිළියෙල කරන තුරු කෑම මේසය සූදානම් කළහ.

උදෑසන ආහාරය සදහා පෑන් කේක් සාදා තිබිණි.  අම්මා දරුවන් සදහා පෑන් කේක් මිනිසා බැගින් සාදා දුන්නාය.  එක් එක්කෙනාට සිය පිගාන ද රැගෙන උදුන අසලට එන ලෙස කී අම්මා, හැන්දක් පුරවාගත් බිත්තර හා කිරි දමා උකු කළ පිටිවලින් අත්, කකුල්, හා හිස සහිත මිනිසෙකු සෑදුවාය.  ඈ උණු කේක් තැටිය හත තබා කුඩා මිනිසා ඉක්මනින් හා පරිස්සමට අනෙක් පිට හරවන ආකාරය බලා සිටින්නට ආසාය.  කදිමට පිලිස්සුණු පසු ඇය දුම් දමන පෑන් කේක් මිනිසා උණු උණුවේම ඔවුන්ගේ පිගන්වලට දැමුවාය.

පීටර් දැනටමත් ඔහුගේ පෑන් කේක් මිනිසා ගේ හිස කා දමා හමාරය.  එහෙත්, ඇලිස් එලා, මේරි, හා ලෝරා ඔවුන්ගේ පෑන් කේක් මිනිසා සිහින් කැබලිවලට කඩමින් ඉතා සෙමින් කන්නට වූහ.  මුලින් අත්, කකුල් හා සිරුර කෑ ඔවුහු, හිස අවසානයට කන්නට ඉතිරි කොටගත්හ. 

අද කාලගුණය ඉතා සීතල බැවින් ඔවුන්ට පිටතට ගොස් සෙල්ලම් කිරීමට බැරිය.  එහෙත් අතපත ගාමින් ලස්සණ බලන්නට අලුත් අත් මේස් හා කෑමට රස කැවිලි ඔවුන්ට නිවසේ තිබේ.  එක පොකුට බිම වාඩිගත් ඔවුහු, බයිබලයේ පින්තූර බලමින්ද, අප්පච්චී ගේ විශාල කොළ පැහැති පොතේ ඇති විවිධාකාර සතුන්ගේ හා පක්ෂීන් ගේ පින්තූර බලමින් ද කාලය ගෙවන්නට වූහ.  ලෝරා ඒ හැම විටම චාලට් ව සිය දෑතේ තබාගෙන සිටියාය. 

අනතුරුව එළැඹියේ නත්තල් දිවා භෝජනයයි.  ඇලිස්, එලා, පීටර්, මේරි හා ලෝරා කෑම මේසයේදී එකදු වදනක් හෝ කතා නොකළහ. ළමයින් යනු අනෙක් අය විසින් දැකිය යුතු හා අනෙක් අයට කටහඩ නොඇසිය යුතු පිරිසක් බව ඔවුහු දැනසිටියහ.  එහෙත් ඔවුන්ට දෙවැනි වරටත් කෑම ඉන්නා සිටීමට අවශ්‍ය නොවීය.  අම්මා හා එලිසා මහම්මා සෑම ආහාරයකින්ම ඔවුන්ගේ පිගන් පුරවා ඔවුන්ට කෑමට හැකි සෑම රසවත් ආහාරයක්ම සිතූ සේ කෑමට ඉඩ හලහ.

“නත්තල එන්නේ අවුරුද්දකට වතාවයිනේ....එලිසා මහම්මා කීවාය.

එලිසා මහම්මාට පීටර් මහප්පාට හා ඥාති සොයුරු සොයුරියන්ට ආපිට බොහෝ දුර යාමට ඇති හෙයින් දිවා ආහාරය ඉක්මනින්ම ගන්නා ලදී.

“අස්සයන්ගේ පිහිට තමයි....!!!පීටර් මහප්පා කීවේය.  “උන් හයියෙන් යන තරමට රෑ බෝවෙන්න කලියෙන් ගෙදර යන්න ඇහැක් වේවි.

ආහාර ගැනීම අවසන් වූ විගස පීටර් මහප්පා හා අප්පච්චී හිම යානයට අශ්වයින් බැදීම පිණිස නික්ම ගියහ.  ඒ අතර අම්මා හා එලිසා මහම්මා ආගේ දරුවන්ට ඇදුම් ඇන්දවූහ. 

ඔවුහු හැදගෙන සිටින ලොම් මේස් කකුල් හා පාවහන්වලට උඩින් බරැති ලොම් මේස් කකුල් ඇදගත්හ.  ඊළගට අත් මේස්, කබා, උණුසුම් හිස් වැසුම් හා සළු ඇදගෙන, ගෙල වඩා මෆ්ලර් බැදගෙන,ගොරෝසු ලොම් සළුවලින් සිය මුහුණු ආවරණය කරගත්හ.  අම්මා ඔවුන්ගේ අත් උණුසුම් ව තබනු පිණිස ඉතා උණුසුමැති පිලිස්සු අර්තාපල් ගෙඩි ඔවුන්ගේ කබා සාක්කුවලට දැමුවාය.  හිම යානයේ දී දෙපා අසලින් තබනු පිළිස එලිසා මහම්මාගේ පැතලි ඉස්ත්‍රික්ක පෝරණුව මත තබන ලදී. 

අනතුරුව ඔවුහු සියලු දෙනා සැප පහසු හා උණුසුමැති විශාල හිම යානයට ගොඩවූහ.  අප්පච්චී අවසන් පොරෝනාව ඔවුන් වඩා හොදින් වැසෙන සේ දැමුවේය.

“ආයුබෝවන්!!!ආයුබෝවන්!!!!ඔවුහු ආචාර කලහ.  යානය පිටත් විය අශ්වයින් කෙළිලොන් ලෙස හැල්මේ යන්නට වූ අතර හිම යානයේ සීනු මිහිරි හඩින් පැද්දෙන්නට විය.

මද වේලාවකට පසු සීනුවල ප්‍රීතිමත් හඩ වියැකී ගියේය.  නත්තල ගෙවී ගොස් හමාරය.  එහෙත් එය ඉතාමත් ම ප්‍රීතිමත් නත්තලකි.!!!!

Wednesday, January 11, 2012

3 පරිච්ජේදය

දිග රයිෆලය

අප්පච්චී සෑම සන්ධ්‍යාවකම කතාන්තර කීමට පෙර ඊලග දිනයේ දඩයමේ යාම සදහා අවශ්‍ය පතරොම් සකස් කලේය.

ලෝරා හා මේරී ඔහුට සහාය වූහ.  ඔවුහු දිගැති මිට සහිත විශාල හැන්ද , ඊයම් කැබලි සහිත පෙට්ටිය හා පතරොම් අච්චුව ඔහුට ගෙනැවිත් දුන්හ.  ඊළගට ඔහු පෝරණුව මත ඇනතියාගෙන පතරොම් හදන .තුරු ඔවුහු , ඔහු දෙපසින් හිදගෙන බලා සිටියහ.

පළමුව විශාල හැන්දට ඊයම් කැබලි දමා ගිනි අගුරුවලට අල්ලා උණු කරන ඔහු,  ඊයම්  උණු වූ පසු ඒවා පරිස්සමෙන් පතරොම් අච්චුවේ කුඩා සිදුරට වත්කරයි.  මොහොතක් බලා සිටින ඔහු ඊළගට අච්චුව හැර, දිලිසෙන සුලු අලුත් පතරොමක් පෝරණුව මතට දමයි.

පතරොම ඇල්ලිය නොහැකි තරමට රත් වී ඇත.  එහෙත් එය සිත් පොලඹවමින් දිලිසෙන්නට වූ අතර ලෝරාට හා මේරිට එය නොඅල්ලා සිටීමට නොහැකි විය.  ඔවුහු එය අල්ලා ඇගිලි පුච්චාගත්හ.  එහෙත් අලුත් පතරොමක් කිසි දා නොඇල්ලිය යුතු යැයි අප්පච්චී අවවාද කර තිබූ හෙයින්, ඔවුහු ඒ පිළිබද ව කිසිවක් නොකීහ.  ඔවුන් අත් පුච්චාගත්තේ නම් එය ඔවුන්ගේ වරදයි.  ඔවුන් ඔහුට කීකරු විය යුතුය.  ඉතින් සිය පිච්චුණු ඇගිලි සිසිල් වීම සදහා මුව තුළ ලාගන්නා ඔවුහු, අප්පච්චී තවත් පතරොම් සාදන අයුරු බලා සිටින්නට වූහ.

අප්පච්චී පතරොම් සෑදීම නවත්වන්නටත් පෙර පෝරණුව මත දිලිසෙන පතරොම් විශාල ප්‍රමාණයක් ගොඩගැසී තිබිණි.  ඒවායේ රස්නය නිවෙන තුරු තැබූ ඔහු සිය ලොකු දුනු පිහියෙන් අච්චුවේ සිදුරේ රැදී ඇති කුඩා කැබැලි සූරන්නට විය.  ඉතා තුනී ඊයම් පතුරු සියල්ල එක් කළ  ඔහු ලබන වාරයේ පතරොම් සාදන විට උණු කිරීම සදහා ඒවා පරිස්සම් කොට තැබුවේය.

සාදා නිම කළ පතරොම් ඔහු සිය පතරොම් මඩිස්සලයේ බහාලූයේය.  එය අප්පච්චී විසින් දඩයම් කරන ලද මුවකුගේ සමකින් අම්මා සෑදූ කදිම පෙනුමැති කුඩා මල්ලකි.

පතරොම් සෑදූ පසු අප්පච්චී බිත්තියේ එල්ලා ඇති සිය තුවක්කුව ගෙන එය පිරිසිදු කිරීමට පටන් ගති.  හිමෙන් වැසී ගිය වනයේ මුළු දවසම ගත කිරීම නිසා එහි තෙත් බවක් ඇති වී තිබිය හැකිය.  තුවක්කු කානුව තුළ වෙඩි බේත්වලින් ඇති වන කුණු බැදී ඇති බව නම් නිසැකය.

ඉතින් තුවක්කු කානුව යටින් තුවක්කු කටේ වෙඩි බේත් එබීමට යොදන බටය ඉවතට ගත් අප්පච්චී. එහි කෙළවරට පිරිසිදු රෙදිකඩක් බැන්දේය.  පෝරණුව මත වූ තාච්චුව තුළ තුවක්කුවේ මහත කොන තැබූ ඔහු, කේතලයේ ඇති උතුරන වතුර තුවක්කු කානුව තුළට වත්කලේය.  ඊළගට වෙඩි බේත් එබීමට යොදන බටය එය ඇතුළට රිංගවූ ඔහු, එය ඒ මේ අත කරකවමින් අතුල්ලන්නට වූවේය.  තුවක්කුවට පතරොම් පිරවූ පසු එහි ඇබය වසන කුඩා සිදුර තුළින් වෙඩි බේත් දුම පිටතට ගලායමින්, උණු වතුර කළු පැහැගැන්වෙන තුරුම ඔහු එය ඇතිල්ලුවේය.

අප්පච්චී තව තවත් වතුර වත්කරමින් වතුර පිරිසිදු පැහැයක් ගන්නා තුරුම වෙඩි බේත් එබීමට යොදන බටය වටේ ඔතන ලද රෙදිකඩෙන් තුවක්කු කානුව සෝදන්නට වූවේය.  අන්තිමේදී තුවක්කුව පිරිසිදු විය.  රත් වූ වානේ ක්ෂණයකින් වියැළීයන බැවින් වතුර නිරන්තරයෙන්ම උතුරමින් තිබීම අත්‍යාවශ්‍ය විය.

ඊළගට තෙල් ගල්වන ලද  පිරිසිදු රෙදි කඩක් වෙඩි බේත් එබීමට යොදන බටය වටේ එතූ අප්පච්චී, තුවක්කු කානුව රත් ව තිබියදීම එය ඒ තුළට ඇතුළු කොට තෙල් ගැල්වූවේය.  ඊළගට තෙල් ගල්වන ලද තවත් පිරිසිදු රෙදිකඩකින් සෑම අගලක්ම තෙල් ගැල්වී මටසිලිටු වන තුරු තුවක්කුවේ පිටත හොදින් ඇතිල්ලුවේය.  ඊටත් පසු ව තුවක්කු බදේ ලීය දීප්තිමත්ව දිස්නය දෙන තුරුම එය ද අතුල්ලමින් ඔප දැමුවේය.

දැන් යළිත් වරක් තුවක්කුවට පතරොම් පිරවීමට එහු සූදානම්ය.  ලෝරා හා මේරී ඔහුට උදව් කල යුතු විය.  නැගී සිටි අප්පච්චී දිග තුවක්කුවේ මහත කොන පහළට සිටින සේ සෘජුව තබාගෙන තමා දෙපස සිටගෙන බලා සිටින ලෝරාට හා මේරීට මෙසේ කීවේය.

“ දැන් ඔයගොල්ල හොදට බලාගෙන ඉන්න ඕන.  මං වැරැද්දක් කෙරුවොත් මට කියන්න.

ඉතින් ඔවුහු ඉතා සැලකිල්ලෙන් බලා සිටියහ.  එහෙත් ඔහු අතින් කිසිදු වරදක් සිදු වූයේ නැත.
ලෝරා වෙඩි බේත් පුරවන ලද ඔප දැමූ මටසිලිටු හරක් අග ඔහු අතට දුන්නාය.  එහි ඉහළ කෙළවර කුඩා ලෝහ ඇබයක් විය.  ඇබය පුරවා වෙඩි බේත් ගත් අප්පච්චී එය තුවක්කු කානුව තුලට වත්කලේය.  අනතුරුව තුවක්කුව මදක් සෙලවූ ඔහු කානුවට තට්ටු කොට වෙඩි බේත් සියල්ල පතුලට බැස ඇති බව සැක හැර දැනගත්තේය.

“කෝ මගේ රෙදි කෑලි පෙට්ටිය?  ඔහු ඇසුවේය.  මේරි තෙල් ගල්වන ලද රෙදි කැබැලි පිරුණු කුඩා බෙලෙක් පෙට්ටිය ඔහු අතට දුන්නාය.  මේ තෙල් ගැල්වූ කුඩා රෙදි කැබැල්ලක් ගත් අප්පච්චී එය තුවක්කු කට මත තබා දිලිසෙන අලුත් පතරොමක් ඒ මත තැබුවේය.  ඉන් පසු වෙඩි බේත් ඔබන ලද බටය ආධාරයෙන් පතරොම හා රෙදි කඩ තුවක්කු කානුව තුලට තල්ලු කලේය.

අනතුරුව ඔහු වෙඩි බේත්වලට තද වී සිටින සේ පතරොමට හා රෙදි කැබැල්ලට වැරෙන් තට්ටු කලේය.  ඔහු වෙඩි ‍බේත් ඔබන බටයට තට්ටු කරන විට එය තුවක්කු කානුව තුළට පෙරළී ගියේය.  අප්පච්චී එය ගෙන යළිත් ඇතුළට එබුවේය.  ඔහු මෙය දීර්ඝ වේලාවක් තිස්සේ කලේය.

ඊළගට ඔමු වෙඩි බේත් ඔබන බටය තුවක්කු කානුවේ ඊට නියමිත ස්ථානයේ යළිත් තැබුවේය.  සිය සාක්කුවෙන් ඇබ පෙට්ටියක් ගත් ඔහු තුවක්කුවේ ගිනි මිටිය ඔසවා ඊට යටින් ඇති සිදුර තුළින් කුඩා දිලිසෙන ඇබයක් ඇතුළු කලේය.

ඔහු ගිනිමිටිය ඉතා සෙමින් හා පරිස්සමෙන් පහළට වැටෙන්නට සැලැස්සුවේය.  එය වේගයෙන් පහළට වැටුණේ නම් ඩෝං!! හඩක් නගාගෙන තුවක්කුව පත්තු වනු ඇත.

දැන් පතරොම් පුරවන ලද තුවක්කුව අප්පච්චී විසින් දොරට ඉහළින් ඇති කොකුවල එල්ලන ලදී. 

අප්පච්චී නිවසේ සිටින විට තුවක්කුව නිතරම දොරට ඉහළින් ඇති ඒ ලී කොකු දෙකේ හරහට එල්ලා තබනු ලැබේ.  සිය පිහියෙන් අමු ලීයක් කපා ඒ කොකු සෑදු අප්පච්චී ඊළගට ඒවායේ සෘජු දෙකෙළවර ලී කොටවල සිදුරු තුළට ඇතුළු කලේය.  දැන් කොකු සහිත දෙකෙළවර උඩු අතට නැමී තුවක්කුව සුරක්ෂිතව අල්ලාගෙන සිටියි. 

සැම විටම පතරොම් පුරවා තුවක්කුව නිතරම දොරට ඉහළින් එල්ලා තබන ලද්දේ අප්පච්චීට අවඹ්‍ය ඕනෑම වේලාවක ඉක්මනින් හා පහසුවෙන් තුවක්කුව ගැනීම සදහාය. 

මහ වනයට යන්නට පෙර අප්පච්චී තමාගේ පතරොම් පිරුණු මඩිස්සලයත්, රෙදි කැබැලි දැමූ බෙලෙක් පෙට්ටිය හා ඇබ පෙට්ටියත් තමාගේ සාක්කුවල ඇත්ද යන්න සැක හැර දැනගත්තේය.  වෙඩි බේත් සහිත අග හා කුඩා මුවහත් කෙටේරිය ඔහුගේ බද පටියේ එල්ලා තිබූ අතර පතරොම් පිරුණු තුවක්කුව ඔහුගේ උරහිසේ රැදී තිබිණි.

සතෙකුට වෙඩි තැබූ කොයි මොහොතක වුව ඔහු යළිත් තුවක්කුවට පතරොම් දැමිය යුතුය.  වෙඩි බේත් කොපමණ ඇද්දැයි බැලිය යුතුය.  එය තුවක්කුවට දමා පහළට බසින සේ සෙලවිය යුතුය.  රෙදිකඩ හා පතරොම ඇතුළට දමා තදට සිටින සේ තට්ටු කළ යුතුය.  ඊළගට ගිනිමිටිය  යටින් අලුත් ඇබයක් දැමිය යුතුය.  ඒ සියල්ල කළ යුත්තේ යළිත් වෙඩි තැබීමට පෙරාතුවය.  වලසෙකුට හෝ අදුන් දිවියෙකුට වෙඩි තබන විට ඔහු එක වෙඩි පහරකින් උන් මරා දැමිය යුතුය.  තුවාල වූ වලසෙකුට හෝ දිවියෙකුට, වෙඩික්කාරයාට සිය තුවක්කුවට යළිත් පතරොම් දමන්නටවත් ඉඩ නොතබා ඔහු වෙත පැන ඔහු මරා දැමිය හැකිය.

එහෙත් අප්පච්චී තනිව ම මහ වනයට ගිය කිසිවිටෙක ලෝරා හා මේරී බිය නොවූහ.  හැම විටම ඔහු එක වෙඩි පහරින් වලසුන් හා අදුන් දිවියන් මරාදමන බව ඔවුහු දැනසිටියහ.

පතරොම් සාදා තුවක්කුවට පිරවූ පසු එළැඹෙන්නේ කතාන්දර කීමේ වාරයයි.

“අපිට කැලෑවට ගිහින් බයවෙච්ච කතාන්දරේ කියන්න....යි ලෝරා ඔහුට ආයාචනා කරන්නට වූවාය.
අප්පච්චී ඈ දෙම බලා දැස් කුඩා කළේය.  “අපෝ බෑ!!!!යි ඔහු කීවේය.  “මං මුරන්ඩු කොල්ලෙක් කාලේ කරපු දේවල් ගැන ඔයගොල්ලෝ අහන්න ඕන නැහැ....

“අනේ අපි ආසයි...අපි ආසයි....ලෝරා හා මේරි‍් ඇවිටිලි කරන්නට වූහ.  ඉතින් අප්පච්චී කතාන්දරය කීමට පටන් ගත්තේය. 

අප්පච්චී කැලෑවේදී බය වූ හැටි

“ඔන්න ඉතිං මං පොඩි කොල්ලා කාලේ , මං මේරිට වැඩිය ලොකු නෑ.  හැම හැන්දෑවකම කැලේට ගිහිං එළදෙන්නු එකතු කරගෙන උන්ව ගෙදර දක්කාගෙන එන්න වුනා.  මගේ තාත්තා මට කිවුවා, කැලෑවේ තැන තැන සෙල්ලමට එහෙම යන්නේ නෑ, එළදෙන්නු දක්කගෙන කළුවර වැටෙන්න කලින් ඉක්මනට ගෙදර එන්න ඕන කියලා.  මොකද කැලෑවේ වලස්සු, වෘකයෝ, දිවියෝ පිරිලා හිටියා.

“එක දවසක් මං වෙනදාටත් වඩා කලින් කැලේට ගියා.  ඉතිං මං හිතුවා ගෙදර යන්න තව වෙලාව තියෙනවා නෙව කියලා.  කැලෑවේ බලන්න ජාති ඕන තරම් තියෙනවා.  ඉතිං කළුවර වැටීගෙන එනවා කියලා මට අමතක වුනා.  රතු ලේන්නු ගස්වල ඉන්නවා මං දැක්කා.  දඩු ලේන්නු ගස්වල කොළ අස්සේ දඩිබිඩියේ දුවනවා.  පුංචි හා පැටවු තණ බිස්සේ සෙල්ලම් කරනවා.  ඔයගොල්ලො දන්නවනේ පුංචි හා පැටවු නිදාගන්න කලින් එකට එකතු වෙලා සෙල්ලම් කරනවා නෙව.

“ඉතිං මං දක්ස දඩයක්කාරයෙක් වෙලා කැලෑ සතුන්ගෙයි, ඉන්දියන්කාරයින්ගෙයි පස්සෙන් එළවගෙන ගියා.  මං කෙරුවේ ඉන්දියන්කාරයෝ එක්ක සටන් කරන සෙල්ලමයි.  කැලෑව වනචාරී මිනිස්සුන්ගෙන් පිරෙන තුරු මං සෙල්ලම් කෙරුවා.  ඔන්න එක පාරටම මට ඇහුනා කුරුල්ලෝ සුභ රාත්‍රියක් කියලා කිචි බිචි ගානවා.  පාර හොදටම කළු පාටයි.  මුළු කැලැවම අන්ධකාර වෙලා.

“දැන් ඉතිං ඉක්මනට එළදෙන්නු ගෙදර ගෙනියන්න ඕන නෙව.  නැත්නං උන්ව මඩුවට ගාල් ගරන්න කලින් හොදටම රෑ වෙනවා.  ඒත් මට උන්ව හොයාගන්න බැරි වුනා!.

“මං හොදට කන් දුන්නා.  ඒත් මට උන්ගේ ගෙජ්ජි සද්දේ ඇහුනේ නෑ.  මං උන්ට කතා කෙරුවා.  කතා කෙරුවා.  ඒත් උන් ආවේ නෑ.

“හැම පැත්තම කළුවරයි.  ඒ මදිවට කැලෑ සත්තු. මං හොදටම බය උනා.  ඒත් එළදෙන්නු නැතිව ගෙදර ගිහිං තාත්තට කියන්නත් මට බයයි.  ඉතිං මං උන්ට කතා කර කර මුළු කැලෑව පුරාම දිවුවා.  ටිකෙන් ටික හෙවණැලි ලොකු වුනා.  තවත් කළුවර වුනා.  කැලෑව එක පාරටම විසාල වුණා වගෙයි මට දැනුනේ.  ගසුයි පදුරුයි වෙනදට වඩා අමුතු වෙලා වගේ මට පෙනුනා.

“එළදෙන්නු කොහේවත් නෑ. මං කදුවලට නැගලා උන්ව හොය හොයා කෑගැහුවා.  කළුවර දෙණි අස්සේ ගිහිං උන්ව හෙව්වා.  අඩගැහුවා.  නැවතිලා උන්ගේ ගෙජ්ජි සද්දේ ඇහෙනවද කියලා කන් දුන්නා.  ඒත් ගස්වල කොළ සර සර ගාන සද්දේ මිසක් මුකුත් ම ඇහෙන්නේ නෑ.

“එතකොට මට ඇහුනා කවුදෝ හයියෙන් හුස්ම ගන්න සද්දයක්.  මං හිතුවේ මට පිටිපස්සේ කළුවරට මුවාවෙලා දිවියෙක් ඉන්නවා කියලයි.  ඒත් ඒ ඇහිලා තියෙන්නේ මං හුස්ම ගන්න සද්දෙමයි.

“සපත්තු නැති මගේ කකුල්වල කටු පදුරු ඇනිලා සීරිලා තිබුණා.  මං පදුරු අස්සෙන් දුවද්දී ඒවයේ අතු මගේ ඇගේ හයියෙන් වැදුනා.  ඒත් මං දිගටම දිවුවා.  උන්ව හොය හොයා උන්ට කතා කර කර දිවුවා.  “සුකී! සුකී!
“එකපාරටම මගේ ඔළුවට උඩින් කටහඩක් ඇහුනා.  හූ...හූ.....
“මගේ ඔළුවේ කෙස් කෙලින් උනා.  හූ...හූ... ඒ කටහඩ ආයෙත් ඇහෙනවා.  මං පණ එපා කියලා දුවන් පටන් ගත්තා!

“එළදෙන්නු ගැන මට එහෙම පිටින්ම මතක නැති වුණා.  මට ඕන වුනේ මේ කළු පාට කැලෑවෙන් එළියට පැනලා ගෙදර දුවන්නයි.
“ඒත් අර කටහඩ මගේ පස්සෙන්ම ඇවිත් ආයෙමත් කියනවා.  හූ.....හූ.....ඌෟෟෟෟ
“මං දුවන්න පුළුවන් අන්තිම වේගෙන් දිවුවා.  හුස්ම ගන්න බැරි වෙනකං දිවුවා.  නවතින්නේ නැතිවම දිවුවා.  මොකෙක්දෝ මගේ කකුලකින් අල්ලාගත්තා.  මං උඩ පැන පැන නවතින්නේ නැතිවම දිවුවා.  කොටින්ම වෘකයෙක්ටවත් මාව අල්ලගන්න බෑ.

“අන්තිමේදී මං කැලෑවෙන් එළියට ආවා.  ඇවිල්ලා නතර වුනේ හරක් මඩුව ගාව.  මෙන්න සේරම එළදෙන්නු මඩුවේ දොර ගාව හිටගෙන ඉන්නවා.  මං උන්ව ඇතුළට දාලා ගෙදර දිවුවා. 

“මගේ තාත්තා මං දිහා බලලා මෙහෙම අහනවා.  ඉළන්දාරියා මොකද පරක්කු වුනේ?  මග දිගේ නටනටා හිටියද?

“මං මගේ කකුල දිහා බැලුවා. එතකොටයි මං දැක්කේ මගේ කකුලේ ඇගිල්ලක නියපොත්තක් එහෙම පිටින්ම කැඩිලා ගිහිං. කොච්චර බය වෙලාද කිව්වොත්, ඒ වෙලාවේ මට ඒ තුවාලේ රිදුනෙවත් නෑ“
මෙතැන දී අප්පච්චී හැමදාමත් කතාව නතර කොට ලෝරා මෙසේ කියන තුරු බලා සිටියි. 
“අනේ අප්පච්චී ඉතිරි ටිකත් කියන්නකෝ....

“හොදයි... අප්පච්චී කීවේය.  ඉතිං ඔයගොල්ලන් ගේ සීයා මිදුලට ගිහිං කැපුවේ නැතැයි ලොකු කෝටුවක්. ඊළගට ගෙට ඇවිදිං මගේ පස්ස පැත්තට හොදටම ගුටි දුන්නා.  එදායින් පස්සේ තාත්තා කියන දේ අහන්න මං හොදට මතක තියාගත්තා.

“වයස අවුරුදු නවයක ලොකු කොලුවෙකුට කීකරු වෙන්න පුරුදු වෙන එක මහ දෙයක් නෙවෙයි....ඔහු කීවේය.  “මේ කතාව ඔයගොල්ලන්ටත් හොද පාඩමක්.  ඔහු කියන්නට විය.  දීලා තියෙන අවවාද පිළිපැද්දොත් ඔයගොල්ලන්ට කිසිම කරදරයක් වෙන්නේ නෑ


“ඔව් ඔව් අප්පච්චී!!!! අප්පච්චි ගේ දණහිස මත උඩ පනිමින් ලෝරා කියයි.  “ඉතිං සීයා කිවුවා මං කියනදේ ඇහුවනං කළුවර වැටුණට පස්සේ මහ කැලෑවේ නටනටා ඉන්නේ නෑනේ.  එහෙම වුනානම් ඔය විදියට බස්සෙකුගේ ඇඩිල්ලට බය වෙන්නෙත් නෑ නෙව...කියලා.