සුවද කැකුළු

Sunday, December 25, 2011

වන අරණක කුඩා නිවස 1


ලෝරා ඉන්ගල්ස් වයිල්ඩර් විසින් සිය ජීවිත කතාව කෘති මාලාවක් ලෙසින් ලියා පල කරන ලදී. භාෂා ගණනාවකට පරිවර්තනය වූ  මේ කෘතීන් සිංහලයට පරිවර්තනය කලේ ගංගා නිරෝෂනී සුදුවැලිකන්දයි. ඒ කෘති මාලාවේ පළමු කොටස වන වන අරණක කුඩා නිවස පුංචි ඔයාලට කියවන්න මේ විදියට කිසිම වෙනසක් නොකර සටහන් කරනවා. කියවලා බලන්නකො ලස්සනද කියලා..



1 පරිච්ඡේදය

වන අරණක කුඩා නිවස

මීට වසර හැටකට එපිට, එකෝමත් එක කාලයක, විස්කොන්සින් මහ වනයේ ලී කොටවලින් තැනූ කුඩා අළු පැහැති නිවසක කුඩා දැරියක් ජීවත් වුවාය.
මහ වනයේ දැවැන්ත අදුරු ගස් නිවස වඩා නැගී සිටියේය.  ඒවාට එපිටිනි තවත් ගස් ද, ඒවාට එපිටින් තව තවත් ගස් ද පැතිරී තිබිණි.  දවසක් පුරා, සතියක් පුරා නොව සුළු මාසයක් පුරා වුවද තමාට හැකි තරම් දුරක් උතුරු දිගට ඇවිද යන මිනිමෙකුට, මහ වනය මිස අන් කිසිවක් හමු වන්නේ නැත.  එහි ගෙවල් නොවීය.  මං මාවත් නොවීය.  මිනිස්සු නොවූහ.  එහි දක්නට ලැබුනේ ගස් හා ඒවා අතර සිය නිවාස තනාගත් කැලෑ සතුන් පමණි.

වෘකයෝ, වලස්සු, හා විශාල කැලෑ බලල්ලු මහ වනයේ ජීවත් වූහ.  හික්මීයෝ, මින්ක් මුගටියෝ හා දිය බල්ලෝ දිය පාරවල් අසබඩ පදිංචිව සිටියහ.  නරින්ට කුඩා කදු ගැටවල ගුහා තිබූ අතර මුවෝ සැම තැනම නිදැල්ලේ ඇවිදිමින් සිටියහ. 

කුඩා ලී නිවසේ සිට නැගෙනහිරටත් බටහිරටත් සැතපුම් ගණනාවක් ඈතට යන තුරුම ගම් වැවී තිබූ අතර කුඩා ලී නිවාස කිහිපයක් පමණක් මහ වනයේ මායිමේ තැන තැන ඉදිවී තිබෙනු දක්නට ලැබිනි.

කුඩා දැරියගේ දෑසට පෙනෙන මානයේ පිහිටියේ එකම එක කුඩා නිවසක් පමණි.  ඒ ඈ ඇගේ පියාතේ, මවත්, වැඩිමහල් සොයුරිය මේරි හා බිළිදු සොහොයුරිය කේරීත් සමග ජීවත් වූ නිවසයි.  නිවස ඉදිරියෙන් කරත්ත පාරක් දිවෙයි.  කැරකෙමින් හා ඇද වෙමින් දිවෙන එය සතුන් ජීවත් වන මහ වනය මැදින් අතුරුදහන් වී යයි.  ඒත් එය යන්නේ කොතැනටද කියාවත් එහි අවසානය කුමක් වනු ඇතිද කියාවත් කුඩා දැරිය නොදත්තාය.
මේ කුඩා දැරිය ගේ නම ලෝරාය.  ඇය සිය පියාට අප්පච්චී කියාත්, සිය මවට අම්මා කියාත් ඇමතුවාය.  ඒ කාලයේ ඒ පළාතේ දරුවන් දැන් කාලයේ මෙන් පියාට හා මවට තාත්තී හා අම්මී කියා ඇමතුවේ නැත.

රාත්‍රියේ රෝද සහිත මිටි ඇදේ වැතිර නොනිදා වයන් දෙමින් සිටින ලෝරාට, ගස් එකිනෙකාට රහස් කියාගන්නා හඉ හැරෙන්නට අන් කිවියක් ම ඇසෙන්නේ නැත.  රාත්‍රි කාලයේ ඉදහිට ඈත දුරකින් වෘකයෙකු උඩ ු බුරනලු ඇසේ.  ඊළගට ඌ වඩාත් සමීපයට ඇවිදින් යළිත් උඩු බුරලයි.

එය බය උපදවන හඩක් විය.  ඒ වෘකයන් කුඩා දැරියන් ව කාදමන බව ලෝරා දැන සිටියාය.  එහෙත් ශක්තිමත් ලී බිත්ති තුළ ඇය සුරක්ෂිත වූවාය.  ඇගේ පියාගේ තුවක්කුව දොරට ඉහළින් එල්ලා ඇති අතර බහපත් මහලු ජාක් වෛරම් වැටුණු බුල්ඩෝග් වර්ගයේ බල්ලා - ඒ ඉදිරියේ වැතිරී මුර කරමින් සිටියි.  එවන් විටෙක ඇගේ පියා මෙසේ කියයි.

“නිදාගන්න ලෝරා, ජැක් වෘකයන්ට ඇතුළට එන්න දෙන්නේ නෑ.  ඉතින් ලෝරා, මේරි අසළින් මිටි ඇදේ ඇතිරිලි යට උණුසුමට ගුලි ගැහී නින්දට වැටෙයි.

එක් රාත්‍රියක ඇය ව ඇදෙන් නැගිටුවාගත් ඇගේ පියා වෘකයන් පෙන්වනු පිණිස ඈව ජනේලය අසලට රැගෙන ගියේය.  උහු දෙදෙනෙක් නිවස ඉදිරිපිට වාඩිවී සිටියහ.  උන් පෙනුණේ දළ ලොමින් වැසුණු බල්ලන් ලෙසිනි.  සිය නාස් විශාල, දීප්තිමත් සද දෙසට එල්ල කරගත් උහු උඩු බුරලෑහ. 

ජැක් ගොරව ගොරවා දොර ඉදිරියේ එහා මෙහා යන්නට වූයේය.  උගේ පිට දිගේ ලොම් ඉලිප්පී තිබූ අතර ඌ තම තියුණු රෞද්‍ර දත් වෘකයන් දෙසට විලිස්සුවේය. උන් උඩු බුරලන්නට වූ නමුත් ඇතුළට ඒමට උන්ට නොහැකි විය.

නිවස සැප පහසු එකක් විය.  ඉහළ මාළයේ විශාල අටුවක් තිබිණි.  වැසි පොද වහල මත වැටී බෙර හඩ නංවන විටෙක එහි සෙල්ලම් කිරීම ඉතා ප්‍රිය ජනක විය.  පහළ මාලයේ කුඩා නිදන කාමරයක් හා විශාල කාමරයකි.  ලී පියනකින් වැසූ ජනේලයක් නිදන කාමරයේ විය.  විශාල කාමරයේ වීදුරු පියන් සහිත ජනේල දෙකක් වූ අතරථ එයට ඉදිරිපස දොර හා පසුපස දොර යනුවෙන් දොර දෙකක් ද විය.

නිවස වලසුන් ගෙන් හා මුවන් ගෙන් ආරක්ෂා කරගැනීම සදහා ගෙවත්ත වටා ශක්තිමත් ඉනි වැටක් ගසා තිබුනි.

නිවස ඉදිරිපස මිදුලේ විශාල මනරම් ඕක් ගස් දෙකක් විය.  සැම උදෑසනකම නින්දෙන් පිබිදුනු විගස ලෝරා ජනේලයෙන් පිටත බැලීම සදහා දුව ගිය අතර එක් උදෑසනක ඈ දුටුවේ විශාල ගස් දෙකේ අතු දෙකක එල්ලෙමසින් ඇති හැරුණු මුවන් දෙදෙනෙකි.

අප්පච්චී කලින් දවසේ මුවන්ට වෙඩි තබා තිබුනේය.  ඔහු රාත්‍රිෙය් උන්ව ගෙදර ගෙනැවිත් වෘකයන්ට මස් කෑමට නොහැකි වන සේ උනක්ව ගස්වල උස අතුවල එටල්ලන විටලෛා්රා නින්දට ගොස් සිටියාය.

එදා රාත්‍රිෙය් අප්පච්චිට, අම්මාට, ලෝරාට, හා මේරීට අලුත් මුව මස් තිබිනි.  එයට කොතරම් රසවත් ද යත්, ඒ සියල්ල ම කන්නට ඇත්නම් යැයි ලෝරා සිතුවායා.  එහෙත් මස්වලින් බොහොමයක් ලුණු දමා, දුම් ගසා , සීත සෟතුවේ දී ප්‍රයෝජනයට ගැනීම සදහා ගබඩා කර තැබිය යුතුය.

සීත සෘතුව ලං වෙමින් තිබේ.  දවස් වඩාත් කෙටි වන්නට වූ අතර රාත්‍රි කාලයේ දී තුහින, ජනෙල් පියන් මතට බඩගෑවේය.  ඉක්මනින්ම හිම වැටෙනු ඇත.  එවිට ලී නිවස සම්පූර්ණයන්ම හිම කතරේ සැගවී යනු ඇත.  විල හා දිය පාරවල් සීතලෙන් මිදෙනු ඇත.  දැඩි සීත කාලගුණය මැද අප්පච්ච්‍ට මස් සදහා දඩයමක් සොයාගැනීමට ලැබේද යන්න සැක සහිතය.
සිය ගුහාවල සැගවෙන වලසුන් මුඵ සීත සෘතුවේම ගොරව ගොරවා නිදනු ඇත.  ලේනුන් සිය ලොම් සහිත වලිග නාස් වඩා උණුසුමට ඔතාගෙන ගස් බෙනවල ඇති කූඩුවල ගුළි වෙනු ඇත.  මුවන් හා හාවුන් මහ කලබලයෙන් පැන පැන දුවනු ඇත.  අප්පච්චීට මුවකු අල්ලාගැනීමට හැකි වුවත්, ඌ සරත් සෘතුවේ ගැවසෙන මුවන් මෙන් මස් පිරුණු ,පෘෂ්ටිමත් එකෙකු වන්නේ නැත.  ඌ දුර්වල, කෙට්ටු එකෙකු වනු ඇත.

එවන් සමයක, මහා සීතලේ, හිමෙන් වැසුනු මහ වනය පුරා මුළු දවසම තනියම දඩයමේ ගොසින් අම්මාට, මේරීට, හා ලෝරාට කෑමට කිසිවක් සොයා ගත නොහැකි ව රාත්‍රිෙය් හිස් අතින් නිවසට ඒමට අප්පච්චීට සිදුවනු ඇත. 

ඒ නිසා සීත සෘතුව උදා වීමට පෙර, කුඩා නිවසේ හැකි තරම් ආහාර ගබඩා කර තැබීම අත්‍යාවශ්‍ය විය.

පරිස්සමට මුවා හම ගැසූ අප්පච්චී, එයට ලුණු දමා හම දිග හැර තැබ ුවේය.  හ් හම්වලින් ඔහු සිනිදු, පදම් කළ හම් සාදනු ඇත.  ඊ ළගට මස් කපන්නට වූ ඔහු, කැපූ මස් කැබලි ලෑල්ලක් මත තබමින් ලුණු ඉස්සේය.
ගෙවත්ත කෙළවර විශාල බෙනයක් සහිත ගසක කදකින් කපාගත් උසැති කොටයක් තිබිණි.  අප්පච්චී තමාට හැම අන්තයකින්ම අත දිගු කළ හැකි තරම් දුරට ඒ කොටය තුළ ඇණ ගැසුවේය.  ඊ ළගට එය කෙළින් සිටවූ ඔහු එහි උඩට කුඩා පියස්සක් සවි කොට කොටයේ පහළට වන්නට එක් පැත්තකින් කුඩා දොරක් කැපුවේය.  කැපූ දොරට සරනේරු සවි කළ ඔහු ඊ ලගට එය විවරයට සවි කලේය.  ගසේ පොත්ත ද සහිත එය කොටයේ කුඩා දොර විය. 

දින කිහිපයක් තිස්සේ මුව මස් වලට ලුණු දැමූ අප්පච්චී, මස් කැබැලිවල එක් කොනකින් සිදුරක් සාදා ඒ තුළින් නූලක් දැමුවේය.  ලෝරා ඔහු එය කරන අයුරු බලා සිටියාය.  ඊළගට ඔහු බෙනය සහිත කොටය තුළ ඇති ඇණවල මස් එල්ලනු ඇය බලා සිටියාය.

කුඩා දොරින් අත ඇතුළට දැමූ ඔහු, තමාට අත පෙවියට හැකි තාක් දුරින් ඇති ඇණවල මස් එටල්ලුවේය.  අනතුරුව කොටයටට ඉණිමගක් හේත්තු කොට උඩට නැග, වහලය එක් පැත්තකින් ගලයා අත ඇතුළට සමා, ඉහළ ඇති ඇණවල මස් එල්ලුවේය. 

අනතුරුව යළිත් වහලය තිබූ පරිදි සකස් කළ එහු ඉණිමගෙන් බැස ලෝරාට මෙසේ කීවේය‍
“දර කපන තැනට දුවලා ගිහිං අමු හිකරි ලී පතුරු ටිකක් අරං එන්න - අලුත් පිරිසිදු, කොළ පාට ඒවා...
ඉතිං අප්පච්චි දර කපන ස්ථානයට දිව ගිය ලෝරා ඇගේ ඒප්‍රණය අලුත් මිහිරි සුවදැති දර පතුරුවලින් පුරවාගත්තාය.
බෙනය සහිත කොටසේ කුඩා දොර ඇතුලෙන් පොතු කැබැලි හා පාසි එක්කර ගිනි මැළයක් ගැසූ අප්පච්චී ඉතා පරිස්සමට දර පතුරු කිහිපයක් එයට ඇතුළු කලේය.
අමු දර පතුරු වහා ඇවිලෙනු වෙනුට ගිනි පිට නොවී දැවෙමින්, බෙනය සහිත කොටය ගනකමැති විශාල දුමාරයකින් පිරෙව්වේය.  අප්පච්චී දොර වැසුවේය.  එය වටා වූ කුඩා විවරය තුළ සිහින් දුමාරයක් ඇහිරී තිබූ අතර, වහලය තුළින් සිහින් දුමාරයක් ගලා ආවේය.  එහෙත් එයින් වැඩි දුම් ප්‍රමාණයක් මස් කැබලිවලින් වසාගෙන තිබිණ.

“හොද හිකරි දුම තරං හොද, වෙන දුමක් නෑ...අප්පච්චී කීවේය.  “හිකරි දුම් ගැහුවම ඕනම කාලගුණේකදී ඕනම තැනක තියාගන්න පුළුවං හොද මුව මස් හදාගන්න ඇහැකි.

අනතුරුව සිය තුවක්කුව ගත් ඔහු පොරොව උරහිසේ එල්ලාගෙන තවත් ගස් කිහිපයක් කැපීම සදහා එළිමහන් ප්‍රදේශයට ගියේය.
ලෝරා සහ අම්මා දින කිහිපයක් පුරා ගිනිමැළයට අවුළුවා තබාගැනීමට වග බලාගත්තාය.  දුමාරය කුඩා විවරයන් තුළින් පිටතට ගලා ඒම නතර වූ විට ලෝරා තවත් හිකරි දර පතුරු ගෙනා අතර අම්මා මස් යටින් වූ ගිනිමැළයට ඒවා ඇතුළු කළාය.  සෑම මොහොතකම ගෙවත්ත පුරා සියුම් දුම් සුවදක් පැතිර තිබූ අතර දොර විවර කළ විට ගනැති දුමාරය සහිත මස් සුවදක් පිටතට ගලා ආවේය.

අන්තිමේදී මුව මස් හොදින් දුම් ගැසී ඇති බව අප්පච්චී කීවේය.  ඉන්පසු ඔවුන් ගිනිමැළය නිවී යන්නට හැරිය අතර අප්පච්චී ගස් බෙනය තුළින් සියලු ම මස් තීරු හා කැබලි පිටතට ගත්තේය. සෑම කැබැල්ලක්ද කරදාසිවලින් හොදින් එතූ අම්මා ඒවා සුරක්ෂිත ව හා වියළි ව තබනු පිණිස අටුවේ එල්ලුවාය.

එක් උදෑසනක අරුණාලෝකය වැටෙන්නටත් පෙර අශ්වයින් ගැලක බැද බැහැරක ගිය අප්පච්චී රාත්‍රියේ යළි නිවසට ආවේ ගැල පුරවාගත් මාළුත් සමගය.  ගැලේ විශාල පෙට්ටියේ මාළු ගොඩගසා තිබූ අතර සමහර උන් ලෝරා තරම් විශාල විය.  අප්පච්චී පෙපින් විලට ගොස් දැල් දමා ඒ සියලුම මාළු අල්ලා තිබුණේය.

අම්මා කොරපොතු සහිත සුදු මාළුවෙකු ගෙන එක කටුවක් හෝ ඉතිරි නොවන පරිදි කටු සියල්ල හැර එය විශාල කැබලිවලට කැපුවාය.  ඒ ලෝරාට හා මේරීටය.  ඔවුන් සියලු දෙනාම අලුත් මාළුවලින් සන්තර්පනය වූහ.  ඔවුන් නොකෑ අලුත් මාළු සියල්ල ලුණු දමා සීත සෘතුවට ගනු පිණිස බැරල්වල අසුරන ලදී.

අප්පච්චී ඌරකු ඇති කලේය.  ඌ මහ වනයේ ඇවිදිමින් ඕක් ගෙඩිවලින් හා අල හා මුල් කමින් ජීවත් වූවේය.  දැන් ඌ අල්ලාගත් අප්පච්චී ඌ තර කිරීම පිණිස ලීවලින් සාදන ලද කොටුවක දමා තිබුණේය.  ඌරුමස් සීත කිරීමට තරම් සීතල කාළගුණයක් ඇතිවූ සැනින් ඔහු ඌ මරනු ඇත.

එක් මැදියම් රැයෙක පිබිදුනු ලෝරාට ඌරා දැඩි වේදනාවෙන් කෑගානු ඇසුණේය.  ඇදෙන් බිමට පැන්න අප්පච්චී බිත්තියෙන් සිය තුවක්කුය වහා අතට ගෙන ගෙවත්තට දිවුවේය.  තුවක්කුව වරක් දෙවරක් පත්තු වනු ඊ ළගට ලෝරාට ඇසිණ.
ආපසු නිවසට ආ අප්පච්චී සිදු වූයේ කුමක් දැයි විස්තර කලේය.  විශාල කලු වලසකු ඌරු කොටුව අසල සිටිනු අප්පච්චී දැක තිබේ.  වලසා, ඌරා අල්ලාගැනීම සදහා ඌ වෙත ළං වූවේය.  තරු එළියෙන් මෙය දුටු අප්පච්චී වහා වෙඩි තැබුවේය.  එහෙත් ආලෝකය ඉතා මලානික වූ අතර ඔහු ගේ ඉක්මන්කම නිසා ඔහුට වලහා මග හැරුණේය.  ඌ කිසිම අනතුරක් නැතිව වනයට පැන ගියේය.

අප්පච්චී වලසා අල්ලාගැනීමට නොහැකි වීම ගැන ලෝරා දුක් වූවාය.  ඈ වලස් මස්වලට ඉතා කැමතිය.  අප්පච්චී ද ඒ පිළිබදව කනගාටු වු නමුත් මෙසේ කීවේය. 

“මොක උනත් මං බේකන් ටික ඉතුරු කරගත්තා නොවැ...
කුඩා නිවස පිටුපස ඇති එළවළු කොටුව මුළු ග්‍රීස්ම කාලය පුරාම සරුවට වැඩී තිබිණ.  එය නිවසට ඉතා ආසන්නයෙන් තිබූ බැවින් දවල් කාලයේදී මුවන්ට වැට පැන ඇතුලට විත් එළවළු කෑමට නොහැකිවිය.  රාත්‍රී කාලයේ උන්ට ඒ වෙත ලං වීමටවත් ඉඩ තැබුවේ ජැක් නම් නොවේ.  ඉදහිට දවසක උදෑසන කැරට් හා ගෝවා පදුරු අතරේ කුඩා කුර සලකුණු දක්නට ලැබිණ.  එහෙත් ජැක් ගේ පා සලකුණු ද එහි වූ අතර එළවළු කොටුවට ආ මුවෝ යළිත් ඈතට පැනගොස් තිබුණහ.

දැන් සීත රාත්‍රීන් උදාවී ඇති බැවින් අර්තාපල් කැරට් බීට් ටර්නිප් හා ගෝවා ආදී එළවළු එකට එක්කොට බිම් ගෙයි ගබඩා කර තබන ලදී.

රතු ලූනු ඒවායේ ඉහළ කෙළවරින් එකට අල්ලා ගොතා දිග වැල් ආකාරයෙන් සාදා නූල්වල අමුණා රැළි ලෙස අටුවේ එල්ලා ඇති මාළු මිරිස් අසලින් එල්ලා තිබිණි.  තැඹිලි කහ හා කොළ පැහැයෙන් දිදුලන වට්ටක්කා හා ස්කොෂ් ගෙඩි අටුවේ කොනක ගොඩ ගසා ඇත.

ලුණු දැමූ මාළු බැරල් ආහාර ගබඩාවේ තබා තිබූ අතර කහ පැහැති චීස් ආහාර ගබඩාවේ රාක්කවල අසුරා තිබිණ.
එක් දිනයක හෙන්රි මාමා අසු පිට නැගී වනය මැදින් නිවසට ආවේය.  ඔහු පැමිණියේ අප්පච්චිගේ මස් මැරීමට උදව් වීම සදහාය.  අම්මා ගේ විශාල මස් පිහිය දැනටමත් හොදින් මුවහත තබා තිබූ අතර හෙන්රි මාමා පොලී නැන්දා ගේ මස් පිහිය ගෙනැවිත් තිබුණේය.

ඌරු කොටුව අසල ගිණිමැලයක් ගැසූ අප්පච්චී හා හෙන්රි මාමා රත් වනු පිණිස විශාල වතුර බදුනක් ඒ මත තැබූහ.  වතුර උතුරාගෙන එන විට ඔවුහු ඌරා මැරීම පිණිස ගියම.  ගෙතුළට දිව ගිය ලෝරා ඇගේ හිස ඇදේ ඔබාගෙන ඌරා ගේ කෑගෑම නොඇසෙනු වස් සිය ඇගිලිවලින් කන් වසා ගත්තාය.


මේකෙන් ඌට රිදෙන්නේ නැහැ ලෝරා...යි අප්පච්චී කීවේය.  “ අපි හරි ඉක්මනට ඒ වැඩේ කරනවා, එහෙත් උගේ වේදනාබර හඩ ඇසීමට ඈට ඕනෑ නොවීය.  

මොහොතකට පසු ඇය විපරමින් යුතුව සිය ඇගිලි කන්වලින් ඉවතට ගෙන සවන් දුන්නාය.  ඌරා උගේ කෑගෑම නවත්වා තිබුණේය.  එතැන් පටන් මස් මැරීමේ කාලය ඉතා විනෝදජනක විය.

එය බලන්නට හා කරන්නට බොහෝ දේ තිබූ ඉතා කාර්යබහුල දවසක් විය.  හෙන්රි මාමා හා අප්පච්චී විනෝදයෙන් සිටියහ.  අද දිවා ආහාරය සදහා ඌරා ගේ ඉළ ඇට කන්නට ලැබෙනු ඇත.  ලෝරාට හා මේරීට හුළං බොක්ක හා ඌරු වලිගය දෙන බවට අප්පච්චී පොරොන්දු වූවේය.

ඌරා මැරුණු විගස අප්පච්චී හා හෙන්රි මාමා එකතුව ඌරා හොදින් තැම්බෙන තුරු උතුරන වතුරේ ඌ ඒ මේ අත පෙරළූහ.  අනතුරුව ඌ ලෑල්ලක් මත දිගා කළ ඔවුහු සිය පිහිවලින් උගේ සිරුර සූරන්නට විය.  සිරුරේ සියලුම ලෝස ගැලවී ගියේය.  ඉන් පසුව ඌරා ගසක එල්ලූ ඔවුහු, උගේ බොකු ඉවත් කර ඌ සිසිල් වීම සදහා තැබූහ.

ඌ සිසිල් වු පසු බිමට ගත් ඔවුහු ඌරා මස් කරන්නට වූහ.  එහි හැම්, උරහිස්, බේකන්, ඉළ ඇට හා උදරය විය.  එසේම හදවත, පීකුදු, හා හෙඩ් චීස් සෑදීම සදහා හිස ද තිබූ අතර සොසේජස් සෑදීම සදහා ගන්නා කුඩා කැබැලිවලින් තාච්චුවක් පිරී තිබිණි.

පිටුපස මිදුලේ මඩුව තුළ වූ ලෑල්ලක් මස් අතුරා, සෑම කැබැල්ලකටම ලුණු ඉසින ලදී.  හැම් හා උරහිස් ලුණු දියේ දමා ඒවා මුව මස් මෙන් දුම් ගසනු පිණිස බෙනය සහිත කොටය තුළට දමන ලදී.
“හිකරි දුම් ගහපු හැම් තරම්, හොද හැම් කොහේවත් නෑ,... අප්පච්චී කීවේය.

ඔහු හුළං බොක්ක පිම්බුවේය. එය කුඩා සුදු බැලූනයක් මෙන් වූ අතර , ඔහු එහි කෙළවර නූලකින් තදට බැද සෙල්ලම් කිරීම සදහා මේරීට හා ලෝරාට දුන්නේය.  ඔවුහු එය උඩ දමමින්, අත්වලින් එහාට මෙහාට ගසමින් සෙල්ලම් කරන්නට වූහ.  නැති නම් එය බිම දිගේ පැන පැන ගිය අතර එවිට ඔවුනට එයට පයින් ගැසීමට හැකි විය.  එහෙත් බැලූනයට වඩා ඌරු වලිගය ඔවුනට විශාල ප්‍රීතියක් ගෙන දුන්නේය.

ඔවුනට දීම සදහා පරිස්සමට ඌරු වලිගය හම ගැමූ අප්පච්චී, එහි විශාල කෙළවරට උල් ලීයක් ඇතුළු කලේය.  පෝරණුවේ ඉදිරිපස කොටස විවර කල අම්මා ගිනියම් අගුරු කැට එක්කොට යකඩ උදුනට දැමුවාය.  අනතුරුව ලෝරා හා මේරි මාරුවෙන් මාරුවට ඌරු වලිගය ගිනි අගුරුවලට උඩින් අල්ලාගෙන සිටින්නට වූහ.

සුරු සුරු හඩ නගමින් බැදෙන්නට වූ ඌරු වලිගයේ තෙල්, බිදිති ලෙසින් වෑස්සී අගුරු කැට මහත් දීප්තියෙන් අවුළුවයි.  රස්නය වැදී ඔවුන්ගේ අත් හා මුහුණු ඉතා උණුසුම් ව තිබූ අතර ලෝරා ඇගේ ඇගිල්ලක් පුලුස්සාගත්තාය.  එහෙත් ඇගේ සිතේ වූ උද්යෝගය කොතරම්ද යත්, ඈට ඒ පිළිබදව තැකීමක් නොවීය.  ඌරු වලිගය පිලිස්සීම විශාල ප්‍රීතියක් ඇති කළ අතර, මාරුවෙන් මාරුවට එය පිලිස්සීමෙ වාරය සාධාරණව ලබාගැනීම දෙදෙනාටම අසීරු කටයුත්තක් විය. 

අන්තිමේදී ඒ කාර්යය අවසන් විය.  ඌරු වලිගය ඉතා මනහර ලෙස සම්පුර්ණයෙන්ම දුඹුරුවන් වී තිබිණි.  එපමණක්ද නොව එයින් නැගෙන ප්‍රණීත සුවද!!! එය නිවීම සදහා ගෙවත්තට ගෙන ගිය ඔවුහු එය හොදින් නිවෙන්නටත් පෙර ම එහි රස බලන්නට ගොස් දිව පුච්චාගත්හ. 

කටුවල සෑම කුඩා මස් කැබැල්ලක් ගානේම අනුභව කළ ඔවුහු, ඉතිරි වූ කටු ජැක්ට කන්නට දුන්හ.  එය ඌරු වලිගයේ අවසානය විය.  ලබන අවුරුද්ද වන තෙක් තවත් වලිගයක් ආහාරයට ලැබෙන්නේ නැත.

දිවා ආහාරයෙන් පසු හෙන්රි මාමා පිටත්ව ගියේය.  ඊළගට අප්පච්චී තමාගේ එදිනෙදා කටයුතු සදහා මහ වනයට ගියේය.  එහෙත් ලෝරාට, මේරීට හා අම්මාට මස් මැරීමේ සමය ආරම්භ වූවා පමණි.  අම්මාට කිරිමට තවත් වැඩ රාශියක් තිබූ අතර ලෝරා හා මේරී ඈට උදවු වුහ.

ඒ දවස පුරාමත් ඊලග දවසේත් අම්මා උදුන මත තබන ලද විශාල යකඩ හැළිවල ඌරු තෙල් සෑදුවාය.  ලෝරා හා මේරී ළිපට දර ගෙන ඇවිදින් ගින්න හොදින් දැල්වීමේ කාර්යය බාරගත්හ.  ඌරු තෙල් සදහා රස්නය අවශ්‍ය නමුත් විශාල රස්නයක් නොලැබිය යුතුය.  එසේ වුවහොත් ඌරු තෙල් පිලිස්සී යනු ඇත.  විශාල හැළිවල ඇති ඌරු තෙල් හීන් හඩක් නගමින් මද ගින්නේ බැදිය යුතු නමුත්, එයින් දුමක් පිට නොවිය යුතුය.  අම්මා වරින් වර දුඹුරු පැහැ ගැන්වුනු බැදුනු ඌරු මස්වල පිට සිවිය ඉවත් කලාය.  අනතුරුව ඒ සියල්ල රෙදි කඩකට දැමූ ඇය, අන්තිම තෙල් බිංදුවත් එනතුරු එය හොදින් මිරිකුවාය.  ඉන්පසු තෙල් මිරිකාගත් ඌරු මස්වල පිට සිවිය පසෙකින් තැබුවාය.  ජොනි කේක් රස ගැන්වීම සදහා ඈ පසුව ඒවා ප්‍රයෝජනයට ගනු ඇත.

ඌරු මසේ පිට සිවිය ඉතා රසවත් ආහාරයක් වූ නමුත් ලෝරා හා මේරී එය යන්තම් රස බැලුවා පමණි.  ඒවා කුඩා දැරියන්ට කෑමට බර වැඩි බව අම්මා කීවාය.

ඌරු හිස පරිස්සමෙන් සූරා පිරිසිදු කළ අම්මා, කටුවල මස් සියල්ල ගැලවී යන තුරු එය තැම්බුවාය.  ඊළගට මස් සියල්ල ලී කෝප්පයකට දමා සිය මන්නයෙන් ඒවා ඉතා සිහින් වනතුරු කෙටුවාය.  දෙවනුව එයට ගම්මිරිස් ලුණු හා කුළුබඩු එක්කොට පදම් කලාය.  ඊළගට එයට මස් තැම්බූ වතුර ද මිශ්‍ර කළ ඇය, එය තාච්චුවක දමා සිසිල් වන්නට තැබුවාය.  ඒවා සිසිල් වූ පසු කැබලිවලට කපනු ලැබේ.  හෙඩ් චීස් යනුවෙන් හදුන්වන්නේ ඒවාය.

විශාල මස් කැබලිවලින් ඉතිරි වූ සිහින් මහත කුඩා මස් කැබලි සියල්ල එකතු කළ අම්මා එවා ඉතා සිහින් වනතුරු පිහියෙන් කැපුවාය.  අනතුරුව ගම්මිරිස් හා ලුණු ද ගෙවත්තෙන් කඩාගන්නා ලද සේජ්(මින්චි වැනි පැලෑටි වර්ගයකි) කොළ ද දමා එය පදම් කලාය.  ඊළගට එය හොදින් මිශ්‍ර වන තෙක් සිය අත්වලින් මිශ්‍රණය එහා මෙහා පෙරළමින් කළවම් කොට ගුළි ගැසුවාය.  අනතුරුව ඒ ගුලි තාච්චුවක දමා මඩුවේ තැබුවාය.  මඩුවේදී සීතලෙන් මිදෙන ඒ මස් මුළු සීත සෘතුව පුරාම කෑමට ගනු සදහා ප්‍රණීත ආහාරයක් වනු ඇත.  ඒ සොසේජස්ය.

මස් මරන කාලය අවසන් වූ විට සොසේජස් හා හෙඩ් චීස් ද ඌරු තෙල් පිරුණු විශාල බුජම් ද මඩුවේ තබන ලද ලුණු දැමූ සුදු ඌරු මස් පීප්ප හා අටුවේ එල්ලන ලද දුම් ගැසූ හැම් හා උරහිස් ද ඔවුන් සතුව තිබිණි.

දීර්ඝ සීත සෘතුවේදී ප්‍රයෝජනයට ගැනීම සදහා ගබඩා කරන ලද හොද ආහාර වර්ගවලින් කුඩා නිවස සෑහෙන තරම් පිරී තිබිණ.  අටුව සේම ගබඩා කාමරය මඩුව හා බිම් ගෙය ද ආහාරවලින් පිරිලාය.

පිටත අධික සීතල විසින් ගිලගෙන ඇති බැවින් දැන් ලෝරා හා මේරී නිවස තුළට වී සෙල්ලම් කළ යුතු වූහ.  පිටත ගස්වල දුඹුරු පැහැති කොළ සියල්ල බිමට වැටෙමින් තිබේ.  පෝරණුවේ ගිනිමැළය කිසිවිටෙකත් නොනිවන ලදී.  උදෑසන වන තුරුම ගිනි අගුරු නොනිවී තබාගැනීම සදහා රාත්‍රිෙය් අප්පච්චී පෝරණුව වටා අළු ගොඩ ගැසුවේය.

අටුව සෙල්ලම් කිරීම සදහා ඉතා මනහර ස්ථානයක් විය.  විශාල රවුම්, පාට පාටැති වට්ටක්කා ගෙඩි විසින් මේස හා පුටුවල අඩුව පිරිමසන ලදී.  මාළු මිරිස් හා රතු ළූණු හිසට ඉහලින් එල්ලෙයි.  කරදාසිවල ඔතන ලද හැම් හා මුව මස් උඩ එල්ලා ඇත.  පොකුරු වශයෙන් එල්ලා ඇති වියළි පැළෑටි ඉවුම් පිහුම් සදහා කුළු බඩු වශයෙන් ගනු ලබන පැළෑටි හා බෙහෙතට ගනු ලබන තිත්ත පැළෑටි ආදිය ඒ ස්ථානයට දූවිලි සහිත කුළුබඩු සුවදක් ගෙන දුන්නේය.

ගෙවත්තේ එහා මෙහා හමමින්, නිරන්තරයෙන්ම හුදෙකලාව පිරුණු රාවයක් නංවන සුළග සීතලය.  එහෙත් ලෝරා හා මේරී සෙල්ලම් කරන වට්ටක්කා හා ස්කොෂ් කැකිරි පිරුණ අටුව ඇතුළු මුළු නිවස පුරා උණුසුම් හා සැප පහසුව නොඅඩුව තිබිණ.

මේරි ලෝරාට වඩා වයසින් වැඩිමහල් වූ අතර ඈට නෙටී නම් රෙදි බෝනික්කෙක් සිටියාය.  ලෝරාට තිබුණේ ලේන්සුවකින් මසන ලද තිරිගු කරලක මැද නාරටියක් පමණි.  එහෙත් ඇය හොද බෝනික්කෙක් වූවාය.  ඇගේ නම සූසන්ය.  සූසන් ඉරිගු කරලේ මැද නාරටියක් වූයේ ඇගේ වරදකින් නොවේ.  ඉදහිටක නෙටී ඇල්ලීමට මේරි ලෝරාට අවසර දුන්නාය.  එහෙත් ඈ එය කලේ සූසන් ලග පාතක දකින්නට නැති විටෙක පමණි.

මේ සියල්ලටම වඩා හොදම කාලය රාත්‍රියයි.  රෑ කෑමෙන් පසු මඩුවෙන් සිය උගුල් පිටතට ගන්නා අප්පච්චී, ගිනිමැළය අසල හිදගෙන ඒවායේ තෙල් ගල්වයි.  ඒවා දීප්තිමත් වනතුරු ඔපදමන අප්පච්චී වලස් තෙල්වල ගිල්වන ලද පිහාටුවකින් ඒවායේ හනුවල ඇති අසව්වල හා යකඩ කූරුවල ඇති දුනුවල තෙල් ගැල්ලුවේය.

ඔහු සතුව කුඩා උගුල් මධ්‍යම ප්‍රමාණයේ උගුල් හා වලසුන් අල්ලන විශාල උගුල්ද විය.  ඒවායේ හනුවල දැති තිබූ අතර මිනිසෙකු ගේ පයකට අසු වුවහොත් ඔහු ගේ පය වුවත් එයින් කැඩී යා හැකි බව අප්පච්චී කීවේය.

උගුල්වල තෙල් ගල්වන අතරේ අප්පච්චී ලෝරාට හා මේරීට පුංචි පුංචි විහිළුත්, කතාන්තරත් කියා දුන්නේය.  ඉන්පසුව ඔහු රවුකිඤ්ඤව වයයි.

නිවසේ දොරවල් හා ජනේල තදින් වසා තිබූ අතර, සීතල ඇතුළට ඒමෙන් වැළැක්වීම සදහා ජනේල රාමුවල කුඩා විවරවලට රෙද්දක් ඔබා තිබිණි.  එහෙත් ඔවුන්ගේ සුරතල් බැළලිය, බ්ලැක් සූසන් නිවසේ ඉදිරිපස දොරේ පහළින් වූ කුඩා විවරයේ පැද්දෙන දොරින් වරෙක පිටතට යමින්ද, වරෙක ඇතුළට එමින්ද ඈට කැමති හැටියට රැයෙත් දවාලෙත් සක්මන් කළාය.  ඈ නිතර ම වේගයෙන් ගමන් කළ බැවින් ඈට පිටුපසින් වැසෙන දොරට කිසිවිටෙකත් ඇගේ වලිගය අල්ලාගැනීමට නොහැකි විය.

එක් රාත්‍රියක උගුල්වල තෙල්ගල්වමින් සිටි අප්පච්චී බ්ලැක් සූසන් ඇතුළට එනු දැක මෙසේ කීවේය.

“ඔන්න එක මනුස්සයෙකුට බළල්ලු දෙන්නෙක් හිටියා.  ලොකු එකෙකුයි පුංචි එකෙකුයි...
ලෝරා හා මේරී කතාන්දරයේ ඉතිරි කොටස අසනු කැමැත්තෙන් ඔහු වෙත දිව ගොස් ඔහු ගේ දෙදණට බර වූහ.  “එයාට බළල්ලු දෙන්නෙක් හිටියා. අප්පච්චී යළිත් කීවේය.  “ලොකු බළලෙකුයි පුංචි බළලෙකුයි.  ඉතිං මේ මනුස්සයා ලොකු බළලට යන්න එයාගේ දොරේ ලොකු සිදුරක් හැදුවා.  ඊලගට පුංචි බළලට යන්න පුංචි සිදුරක් හැදුවා.  අප්පච්චී මෙතැනදී කතාව නතර කලේය. 

“ඒත් ඇයි පුංචි බළලට යන්න බැරි? මේරි කියන්නට වූවාය.
“ලොකු බළලා එයාට යන්න දෙන්නේ නැහැනේ. ලෝරා මැදට පැන්නාය.
“ලෝරා ඔන්න නරක වැඩක් කරනවා.  කවදාවත් තව කෙනෙක් කතා කරන කොට මැදට පනින්න එපා. අප්පච්චී කීවේය. 
 
“ඒත් මං දන්නවා....ඔහු කතා කරන්නට විය.  ඔය දෙන්නටම තමන්ගේ දොරේ බළලුන්ට සිදුරු දෙකක් හදාපු මනුස්සයට වඩා දැනුං තේරු තියෙනවා.

අනතුරුව උගුල් පසෙක තැබූ අප්පච්චී පෙට්ටියෙන් සිය රවුකිඤ්ඤය පිටතට ගෙන එය වයන්නට වූයේය.  එය සියල්ලටම වඩා හොදම කාලයයි.

No comments:

Post a Comment