හා බබා ගං ඉවුරට ඇවිත් වැවිලා තියෙන උදුපියළිය ටික ටික කනවා. හා බබයි, ලේන් බබයි, බට්ටි කිරිල්ලියි තුන් දෙනාම අනිත් කුරුළු බබාලගේ සිංදු අහගෙන ඉන්නේ හරිම ආසාවකින්. ඒවා අහලා ඒ ගොල්ලන් තාලෙට නටනවා. උඩ පනිනවා. හරිම විනෝදයි.
ඉන්පස්සේ ඔන්න තුන්දෙනාම එකතු වෙලා සෙල්ලම් කරන්න පටන් ගන්නවා.
“අපි අද මොකද කරන්නේ.....ලේන් බබා හා බබාගෙනුයි බට්ටිච්චිගෙනුයි ඇහුවා. එතකොට හා බබා කිවුවා
“අපි ඔට්ටුවට තියමු කියලා..... ඔන්න ඉතිං ඒකට තුන්දෙනාට කැමති වුනා. ඒ වුනාට මේ පුංචි පැටවුන්ගේ අම්මලා එයාලට කියලා තිබුනේ ගං ඉවුරෙන් හුගාක් ඈත කැලෑවට යන්න එපා කියලා. ඒ වුනාට දන්නවද? එයාලට අම්මලාගේ අවවාදේ අමතක වුනානේ. ඇයි ඉතිං සෙල්ලම් කරන්න ගියාම කොයි බබත් එහෙමයිනේ නේද? පුංචි ඔයාලත් එහෙමනේ.
දැන් ඉතිං ඉස්සරවෙලාම අල්ලන්න තිබුනේ ලේන් පැංචට. ඒ හින්දා හා බබයි බට්ටිච්චියි දුවන්න පටන් ගත්තා.
“හූ....හූ......පුළුවන්නම් අල්ලන්න......අපි මෙහේ.......ඔන්න ලේන් බබාත් අර යාළුවෝ දෙන්නාගේ පස්සෙන්ම දිවුවා. අනේ හරි වැඩේනේ උනේ. මෙහෙම දුවනකොට දන්නෙම නැතිව හා බබා අනෙක් යාළුවන්ගෙන් මග ඇරිලා හුගාක් ඈතට ගිහින්. අපොයි එතකොටයි හා බබාට මතක් උනේ කැලෑවේ කපටි රජා ගැන අම්මා කියලා තියෙන දේවල්. අනේ දැං මොකද කරන්නේ. හා බබාට හරිම බයයි.
ඒ අතරේ ලේන් බබායි, බට්ටි කිරිල්ලියි දෙන්නත් හොදටෝම බය වෙලා. ඇයි ඉතිං යාළුවා පේන්න නැහැනේ. ඒ දෙන්නත් හා බබා හොයන්න පටන් ගත්තා. බට්ටි කිරිල්ලි එයාගේ පුංචි අත්තටු දෙක රිදෙනකම්ම පියඹ පියාඹ හා බබාව හෙව්වා.
ඒ අතරේ ලේන් පැංචත් නිකන් හිටියේ එයා ගස් උඩ නැගලා අත්තෙන් අත්තට පනිමින් යාළු බබාව හැමතැනම හොයනවා.
ඒ වෙලාවේ කැලෑවේ අතරමං වෙලා ඉන්න හා බබාව කැලේ කපටි රජා නරියා දැක්කා. හා බබාව දැක්කම නරි රාළට බොහෝම සන්තෝෂයි. හුග දවසකින් හා මස් වල රහ බලන්න බැරිවුනා. මූ පොඩි නිසා මට ලේසියෙන්ම අල්ලගෙන කන්න පුළුවන්. එහෙම නරි රාළ හිතුවා. හා බබා හිටියේ තනියම නිසා එයාව ලේසියෙන්ම නරියා අල්ලා ගත්තා.
අපොයි දෙයියනේ හා බබාට දැන් හෙල්ලෙන්නවත් බැහැ. අනේ එයාට හොදටම බය හිතුනා. ඉන් පස්සේ නරි රාළ වැලකින් හා බබාගේ අත්දෙකයි, කකුල් දෙකයි බැදලා අරගෙන ගියා.
මේ කපටි රාළගේ ගුහාව තිබුනේ කැලේ අයිනේ. ඒ නිසා නරි රාළට මහන්සි දැනිලා හා බබාවත් ගහක් මුල දමලා එයාත් ගහමුල නිදන්න ගත්තා. ඇගට දැනුන මහන්සිය නිසාම එයාට හොදටම නින්ද ගියා.
හා බබා බොහෝම දුකෙන් අඩ අඩා ඉන්නවා. එයාගේ පුංචි අත් දෙකයි, පුංචි කකුල් දෙකයි හොදටම තද වෙන්න බැදලනේ තියෙන්නේ ඉතිං හා බබාට උන කිසිම දෙයක් ලේන් පැංචාවත් බට්ටිච්චි බබාවත් දන්නේ නැහැ. ඒ දෙන්නා යාළුවාව තවමත් හොයනවා.
ඔන්න ඔය අතරේ හදිසියේම ලේන් බබා දැක්කා හා පුංචව. එයාට තේරුනා වෙලා තියෙන වැඩේ. ලේන් පුංචා සද්දයක් නොකර හා බබා ගාවට ආවා. එතකොටම බට්ටි කිරිල්ලිත් එතැනට ආවා. ලේන් බබා එයාගේ දත් වලින් ඉක්මනින්ම බැමි කපන්න පටන් ගත්තා. එයාට බට්ටි කිරිල්ලි අපූරු සහයෝගයක් දුන්නා. ඒ අතරෙම නරි රාළ ඇහැරෙයිද කියලාත් හොද කල්පනාවෙන් හිටියේ. ටික වෙලාවකින් ලේන් බබාට පුළුවන් වුනා හා බබාගේ බැමි කපලා එයාව බේරගන්න.
ඉන්පස්සේ මේ යාළුවෝ තුන්දෙනා කපටි නරි රාළගේ අතපය ගැටගහලා දැම්මා. දැන් ඉතිං තුන්දෙනාටම හරිම සතුටුයි.
එයාලා ජයග්‍රාහී ලීලාවෙන් අත්වැල් බැදගෙන ගෙදර ගියා. ඔන්න එදා ඉතිං කපටි නරි රාළ මේ පුංචි පැටව් තුන්දෙනාට පැරදුනා....!!!!