සුවද කැකුළු

Thursday, February 16, 2012




බැද්දේ පුංචි පුංචි පැටවු අතර හිටිය හොදම දගකාරයෙක් තමයි හා පුංචා.  හැබැයි එයාගේ වයසෙම හිටපු මුව පැංචයි, වලස් පුංචයි දෙන්න නම් මෙයා තරම් දග නෑ. මුව පැංචා අනේ හැබෑම අහිංසකයා. මේ මුව පැංචයි වලස් පුංචයි ගැන නම් කැලෑ ගමේ වැඩිහිටියෝ බොහොම දෙනෙක් වර්ණනා කරනවා.  ඒ වුනාට මොකද අර දගමල්ල පුංචි හා පුංචා ගැන නම් සමහරු කතා කරන්නවත් කැමැත්තක් දැක්කුවේ නැහැ.  ඉතිං හිතාගන්න පුළුවන්නේ පුංචගේ තරම නේද?

අම්මයි තාත්තයි කියන කිසිම දෙයක් මෙයා ගානකටවත් ගන්නේම නැහැ.  එයාගෙ අම්මට නම් ඉවරයක් ඇත්තේම නැහැ මේ හා පුංචට කෑ ගහලා. ඇයි ඉතිං කොයි වෙලෙත් මොකක් හරි දගවැඩක් නේ කරන්නේ.  වෙලාවකට හා අම්මට බයේ බැහැ.  මේ පුංචට කරදරයක් වෙයි කියලා. 

චූටි පුතේ හා පැටියෝ උදෙන්ම නැගිටින්න පුතේ මේ උදුපියළිය ටික කන්න.  බලන්න ඔයා ඊයෙ රෑටත් නොකානේ නිදා ගත්තේ........හා අම්මා කිවුවා.  කොහෙද පුංචාට ඒවායේ ගානක්වත් නැහැ.

“අපෝ අදත් උදුපියළියද?  මොකද්ද අම්මේ හැමදාම උදුපියළිය කන්න පුළුවන්ද?  අර අල්ලපු ගමේ ගමමාමගේ එළවළු කොටුවේ හොද හොද අළුත් එළවළු තියෙනවා. තාත්තට කියන්නකෝ අම්මේ අපිට කන්න එයින් ටිකක් අරගෙන එන්න කියලා.  හැමදාම මේ වේළුන උදුපියළිය කාලා මට දැන් එපා වෙලා.  .......පැංචා ඔන්න මුළු කැලෑවම දෙවනත් වෙන්න කෑගහන්න පටන් ගත්තා.

අනේ මගේ හොද පුතානේ.....දැන් කෑගහන්නේ නැතිව නැගිටින්නකෝ. මම ඔයාට කන්න අළුත් එළවළු ටිකක් ගෙනැත් දෙන්නම්කෝ.....හා තාත්තා පුංචගේ ඔළුව අතගාලා කිව්වේ බොහෝම දුකෙන්.

“කොහෝම හරි.....කොහෝම හරි අද නම් මට අළුත් කැරට්, ගෝවා ඕනෙමයි...!!!!!!  පුංචා බිම පෙරළි පෙරළි කිවුවා. 

ඒත් පුතේ ගමරාළගේ කොටුව පැත්තේ නම් මගේ පුතා යන්න එපා.  එහේ ඉන්න බලු රාළ බොහෝම සැරයි. එයාගේ එක කටකටත් අපිව මදි වෙයි.  හා අම්මයි තාත්තයි දෙන්නම පුංචට අවවාද කලා.

“හූ.....හූ......හුහුහූ......හූ.....චිකේයියා......තාත්තා මාර බයගුල්ලෙක් නේ.  තාත්තා අර ගොං බලුරාළට බයයි නේද?  අනේ හූ.....හූ......!!!!!

බයයි තමයි මගේ පුංචෝ එයා බොහෝම වස සැර බලුරාළ කෙනෙක්. එයාට පුළුවන් අපිව හපලා මරලා දාන්න උනත් ඉතිං බය නොවී කොහොමද පැටියෝ?  එහෙම උනොත් මගේ පුංචට තාත්තෙක් නැති වෙනවානේ.  

“අපෝ තාත්තා බොරු කියන්නේ.  තාත්තා බලු හාමිට බයයි. ඒකයි ඔය බොරු කියන්නේ.  බලු හාමි හපන්නේ කොහොමද අපිට හයියෙන් දුවන්නත් පුළුවන්නේ......හා පුංචා දගකාර විදියට උඩ පැනලා කිවුවා. එයා බාගෙට වියළී තිබුණ උදුපියළිය ටික කෑවේ බොහෝම අමාරුවෙන්.

උදුපියළිය කාල ඉවර වුන ගමන්ම එයා එළියට දුවගෙන ගියා සෙල්ලම් කරන්න.  ඔන්න ඉතිං හා අම්මා ගේ දොර අස් පස් කරන අතරේ තාත්තා ලක ලෑස්ති වුනා පුංචට අළුත් එළවළු ටිකක් හොයන්න යන්න. ඉන්නෙත් එකම පැටියනේ.  ඉතිං ඒ ගොල්ලන් කැමති නැහැ. හා පුංචා දුකෙන් ඉන්නවට.  එයාලා හැම වෙලාවෙම බැලුවේ මොන විදියෙන් හරි හා පුංචව සතුටින් තියන්නමයි.

ඒ වුනාට හා පුංචගේ තාත්තට කැරට් හොයන්න යන්න වෙලාවෙක් ලැබුනේ නැහැ. මොකද දන්නවද?ටිකක් ඈත කැලෑව පැත්තෙන් හා පුංචා බෙරිහන් දෙනවා ඇහුනා.

“බුදු අම්මෝ......... අම්මේ තාත්තේ මාව බේරගන්නෝ......මෙන්න බලු රාළ මාව කන්න හදනවෝ....!!!!!!  හා පැංචගේ බැගෑපත් හඩ කැලෑව දෙවනත් කරමින් ඇසුනා.  ඉතිං හා අම්මයි තාත්තයි දුවගෙන දුවගෙන හා පුංචා ළගට යනකොට මෙන්න හා පුංචා ලේ පෙරාගෙන දුවගෙන එනවා.  

“ඇයි පුංචෝ ඇයි.......මගේ පැටියට මොකද උනේ......අනේ ඉක්මනට කියන්න පුංචෝ......හා අම්මා අඩමින්ම එහෙම ඇහුවා....

ඔන්න හා තාත්තා හා පුංචව වඩාගෙන වලස් වෙද මාමා ගාවට ගෙනිච්චා.  ඉතිං වලස් වෙද රාළ හා පුංචාගෙන් විස්තර ඇසුවා.  


“මම ගියා ගමරාළගේ එළවඵ කොටුවට කැරට් කන්න හිතාගෙන.  මම කොටුවට රිංගුවා විතරයි දන්නෙම නැතිව බලුරාළ මගේ ළගටම ඇවිත්.  මම දුවන්න හදනකොටම එයා මගේ කකුලේ එල්ලුනා.  අනේ තාත්තේ මගේ කකුල හොදටම රිදෙනවා...... ඉහි....ඉහි......ඉහි

පුතා උදේ මට හිනාවුනේ බලුරාළට බයයි කිවුවහම. දැන් දැක්කනේද අපි බලු රාළට බය ඇයි කියලා.....අම්මායි තාත්තායි කියනදේ ඇහුවා නම් මගේ පුතාට මෙහෙම වෙන්නේ නෑනේ.  කියලා හා අම්මයි තාත්තයි දෙන්නම කිවුවා.  වලස් රාළ කකුලට බෙහෙත් දැම්මට පස්සේ හා තාත්තා හා පුංචව වඩාගෙන අම්මවත් ඉස්සර කරගෙන ගෙදර ආවේ ආපහු ගමරාළගේ ගෙවල් පැත්තට හා පුංචා නොයන පොරොන්දුවත් අරගෙනම තමයි........

ඔන්න ඉතිං දැක්ක නේද අම්මා තාත්තා කියන දේ අහන්නේ නැති වුනාම වෙනදේ.....!!!!!!


Monday, February 13, 2012

5 පරිච්ජේදය


ඉරිදා

දැන් සීත සෘතුව දීර්ඝ වූවාක්. මෙනි. නිතරම නිවස තුළට වී කල් ගෙවන්නට වීමෙන් ලෝරා හා මේරී විඩාවට පත් වන්නට වූහ.  විශේෂයෙන්ම ඉරිදා දවසේ දී කාලය ගෙවුණේ ඉතා සෙමිනි.

සෑම ඉරිදාවකම ලෝරා හා මේරී ඔවුන්ගේ හොද ම ඇදුම්වලින් සැරසෙති.  ඔවුන් ගේ හිසකෙස් අලුත් පීත්ත පටි වලින් ගැටගසනු ලැබේ.  සෙනසුරාදා රාත්‍රියේ ස්නානය කරන ලද බැවින් ඔවුන් ඉතාමත් පිරිසිදු ය.

ග්‍රීස්ම සෘතුවේදී ඔවුහු උල්පතෙන් එන ජලයෙන් ස්නානය කළහ.  එහෙත් සීත සෘතුවේදී නාන බේසම පිරිසිදු හිමවලින් පුරවන අප්පච්චී, හිම දිය වී ජලය බවට පත් වනු පිණිස එය උදුන මත තබයි.  ඊළගට උණුසුම් උදුන සමීපයේ තබන ලද පුටු දෙකක් මත බ්ලැන්කෙට්ටුවක් දමා ආවරණය කරල ලද ස්ථානයේ අම්මා ලෝරාව නාවයි.  ඉන් පසු මේරී ව නාවයි. 
මේරීට වඩා කුඩා බැවින් ලෝරා පළමුව නාවනු ලැබුවාය.  නෑවීමෙන් පසු පිරිසිදු නිදන ගවුම අදින බැවින් ලෝරා, චාලට් සමග සෙනසුරාදා රාත්‍රිෙය් කලින් ම නින්දට යා යුතුය. 

නාන බේසම කිලිටි වතුර ඉවත් කරන අප්පච්චී මේරී නාවනු පිණිස නැවත වතාවක් එය හිම වලින් පුරවයි.  මේරී නින්දට ගිය පසු අම්මාත් බ්ලැන්කෙට්ටුවෙන් ආවරණය කර ඇති ස්ථානයට වී ස්නානය කරන්නීය.  ඉන් පසු අප්පච්චී ස්නානය කරයි.  ඉතින් ඉරිදා දිනය සදහා ඔවුහු සියලු දෙනාම හොදින් පිරිසිදු වී සිටිති.

ඉරිදා දවසේ දී ලෝරා හා මේරී සෙල්ලම් කරන විට ඔවුන්ට දිවීම තහනම්ය.  කෑගෑම හෝ ශබ්ද කිරීම තහනම්ය.  මේරීට ඇගේ රෙදි කැබැලි ඇතිරිල්ල මැසිය නොහැකිය.  ඔවුන්ට නිශ්ශබ්ද ව කරදාසි බෝනික්කන් සමග සෙල්ලම් කල හැකිය.  ලෝරාට සිගිති කේරී සදහා අත්මේස් ගෙතිය නොහැකිය.  නමුත් බෝනික්කන් සදහා අලුතින් කිසිවක් සෑදිය නොහැකිය.  රෙදිවලින් බෝනික්කන්ට ඇදුම් මැසීම ඔවුන්ට තහනම් විය.  ඇල්පෙනෙතිවලින් පවා එය කිරීම තහනම් විය. 

අම්මා ඔවුන්ට බයිබල් කතාන්දර හෝ අප්පච්චී ගේ සත්ත්ව ලෝකයේ අසිරිය නම් කොළ පැහැති විශාල පොතෙන් සිංහයන්, කොටින් හා සුදු වලසුන් ගැන කතාන්දර කියා දෙන විට ඔවුන් නිහඩව ඒවාට සවන් දිය යුතුය.  ඔවුන්ට එහි පින්තූර බැලිය හැකිය.  ඔවුන් ගේ රෙදි බෝනික්කන් හෙමිහිට අල්ලාගෙන ඔවුන් සමග කතා කළ හැකිය.  එහෙත් ඒ හැරෙන්නට ඔවුනට කළ හැකි කිසිවක් නොවීය.
ලෝරා කරදාසි කවර සහිත විශාල බයිබලයේ පින්තූර බැලීමට වැඩිපුර ආසා කළාය.  ඒ පින්තූර අතරින් ඇගේ සිත තදින් ඇද බැදගත්තේ, ආදම් සතුන්ට නම් තබන චිත්‍රයයි.

ආදම් ගලක් උඩ වාඩිවී සිටියි.  සියලු ම සිවුපා සත්තු හා කුරුල්ලෝ, ලොකු පොඩි හැම දෙනාම තමා මොන සත්ත්ව වර්ගයාට අයත් දැයි දැනගන්නා තුරු උනන්දුවෙන් ඔහු දෙස බලා සිටිති.  ආදම් වෙතින් ඉතා සුවපහසු පෙනුමක් දිස්වෙයි.  සිය ඇදුම් පිරිසිදුව තබා ගැනීම සදහා කරදර වීමට ඔහුට ඕනෑ නැත.  මන්ද යත් ඔහුට ඇදුම් තිබුනේ නැත.  ඔහු ඇද සිටියේ යටි කය වැසෙන සේ සම් කඩක් පමණි.

“ආදම්ට ඉරිදට අදින්න හොදම ඇදුම් තිබුණද? ලෝරා අම්මාගෙන් ඇසුවාය.

“නෑ නෙව.  අම්මා කීවාය. “අසරණ ආදම්, එයාට අදින්න තිබුණෙ සතෙකුගේ හමක් විතරයි.

ලෝරාට ආදම් ගැන දුක හිතුනේ නැත.  තමාටත් අදින්නට සම් පමණක් තිබුණා නම් යැයි ඇය සිතුවාය.

එක් ඉරිදාවක සන්ධ්‍යා ආහාරයෙන් පසු ඈට තවදුරටත් නිසොල්මන් බලා සිටීමට නො හැකි විය.  ඇය ජැක් සමග සෙල්ලම් කිරීමට පටන් ගත්තාය.  මිනිත්තු කිහිපයකින් ඇය දුවන්නටත්, කෑගාන්නටත් වූවාය.  ඇගේ පුටුවේ වාඩිවී නිහඩව සිටින ලෙස අප්පච්චී ඈට කීවේය.   සිය පුටුවේ වාඩිගත් ලෝරා හඩන්නටත්, පුටුවට පයින් ගසන්නටත් වූවාය.

“මට ඉරිදා පෙන්නන්න බෑ...ඇය කීවාය
අප්පච්චී කියවමින් සිටි පොත පහත දැමුවේය.  “ලෝරා....ඔහු දැඩි හඩකින් කතා කලේය.  “මෙහාට එන්න....

ඇය අසීරුවෙන් මෙන් ඇදි ඇදී ඔහු වෙත ගියාය.  අප්පච්චී තමාගේ පස්සා පැත්තට පහරක් ගසනු ඇතැයි ඇය සිතුවාය.  එහෙත් ඈ අප්පච්චී වෙත ගිය විට අනුකම්පා සහගත ලෙස මොහොතක් ඈ දෙස බලා සිටි අප්පච්චී, ඊළගට ඈව සිය දණහිස මත හිදුවාගෙන තුරුලු කරගත්තේය.  අනෙක් අතින් මේරීව අල්ලාගත් ඔහු මෙසේ කීවේය.

“ඔන්න මං ඔය දෙන්නට සීයගේ පුංචි කාලේ කතන්දරයක් කියන්නයි හදන්නේ....

සීයාගේ හිම යානය හා
ඌරාගේ කතාන්දරය

“ඔයගොල්ලන්ගේ සීයා පුංචි කාලෙදි, ඉරිදා දවස පටන්ගන්තේ දැන් වගේ ඉරිදා උදේට නෙවෙයි.  ඒ කාලේ ඉරිදා උදා වුණේ සෙනසුරාදා හැන්දෑවේ ඉර බැහැගෙන යනවත් එක්කමයි.  එතකොට හැම දෙනාම හැම වැඩක්ම නවත්තන්න ඕන.  සෙල්ලමුත් නවත්තන්න ඕන.

“රෑ කෑම කන වෙලාවට කවුරුත් කතා කලේ නෑ.  කෑමෙන් පස්සේ සීය ගේ තාත්තා බයිබලයෙන් කොටසක් හයියෙන් කියවනවා.  එතකොට හැම දෙනාම තම තමන්ගේ පුටුවල වාඩිවෙලා සද්ද නැතිව අහගෙන ඉන්නවා.  ඊළගට හැම දෙනාම දණ ගහනවා.  සීයගේ තාත්තා දිග යාඥාවක් කියනවා.  එයා “ආමෙන් කිවුවට පස්සේ හැම දෙනාම නැගිටලා ඉටිපන්දමක් අරගෙන නින්දට යනවා.  සෙල්ලම් නොකර, හිනාවක් කතාවක් නැතිව ඒ ගොල්ලන් කෙළින්ම නින්දට යන්න ඕන.

“ඉරිදා උදේට ඒගොල්ල කෑම කෑවේ හීතල වෙච්ච කෑම, මොකද ඉරිදාට ගෙදර මොකවත් උයන්නේ නැති හින්දා.  ඊළගට හැම දෙනාම හොද ඇදුම් ඇදලා පල්ලි යනවා.  ඉරිදට අස්සයෝ බදින්නේ නැහැ.  ඒකත් වැඩක්.  ඉරිදට කිසිම වැඩක් කරන්නේ නෑ නෙව.  ඉතින් ඒගොල්ලෝ පයින් ම තමයි පල්ලියට ගියේ.

“ඒගොල්ලෝ කෙලින්ම ඉස්සරහ බලාගෙන කිසිම සද්දයක් නැතුව හෙමින් හෙමින් ඇවිදින්න ඕන.  විහිළු කරන්න බෑ හිනා වෙන්න බෑ, සීයායි එයාගේ සහෝදරයො දෙන්නයි ඉස්සරහින් යනවා.  ඒ ගොල්ලන්ගේ තාත්තයි, අම්මයි පිටිපස්සෙන් එනවා.

පල්ලියේදී සීයායි සහෝදරයෝ දෙන්නයි පැය දෙකක් තිස්සේ හරියට වාඩිවෙලා පූජාව අහන්න ඕන.  බංකුවල දගලන්න බෑ.  කකුල් පද්දන්න බෑ.  ඔළුව හරව හරව පල්ලියේ ජනේල දිහා, බිත්ති දිහා සිවිලිම දිහා බලන්න තහනම්.

ඒගොල්ල සද්ද බද්ද නැතුව, අතක් පයක් හොලවන්නේ නැතුව වාඩිවෙලා ඉන්න ඕන.  එක තප්පරේකටවත් දේශකතුමාගෙන් ඇස් අහක් කරන්න තහනම්.

“පූජාව ඉවර වුණාට පස්සේ ඒ ගොල්ලෝ හෙමිහිට ගෙදර ආවා.  ඒගොල්ලන්ට පාරෙ එන ගමන් කතා කරන්න පුළුවන්.  හැබැයි හෙමින්, නිකමටවත් හිනා වෙන්න බෑ.  ගෙදර ගිහින් ඒගොල්ලෝ කලින් දා උයපු සීතල දවල් කෑම කෑවා.  ඊළගට මුළු හැන්දෑ වරුවම එක පෙළට බංකුවක වාඩිවෙලා කැතීකීස්මේ (ආගම පාඩම්) පාඩම් කරන්න ඕන.  අන්තිමේදී ඉර බැහැගෙන ගිහින් ඉරිදා දවස ඉවර වෙනකම්ම එහෙම තමයි.

“ඔන්න ඉතිං සීයගේ ගේ තියෙන්නේ උස කන්දක් බැහැගෙන බාගයක් දුර ගියපු තැන.  කන්ද මුදුනේ ඉදන් පල්ලෙහාට වැටුණු පාර ලෙසර ඉස්සරහ දොර ළගින් යනවා.  සීත කාලෙට පල්ලෙහාට ලෙස්සලා යන්න කියාපු තැන එතැන.  ඊයගොල්ලන්ට හිතාගත්තැකි නෙව.

“එක සතියක සීයයි එයාගේ සහෝදරයො දෙන්න ජේම්සුයි, ජෝර්ජුයි එකතු වෙලා අලුත් හිම යානයක් හැදුවා.  සෙල්ලම් කරන වෙලාවට ඒගොල්ලෝ කෙරුවේ ඒක හදපු එක තමයි.  ඒක ඒගොල්ලෝ හදපු හොදම හිම යානේ.  ඒක කොච්චර දිගද කිවුවොත් එක්කෙනා පිටිපස්සේ එක්කෙනා ගානේ තුන්දෙනාටම වාඩිවෙන්න පුළුවන්.  ඒක හදලා ඉවර කරලා සෙනසුරාදා හවස කන්ද පමහළට පදින්න තමයි ඒගොල්ලෝ හිතාගෙන හිටියේ.  හැම සෙනසුරාදා දවසකම ඒ ගොල්ලන්ට සෙල්ලම් කරන්න පැය දෙක තුනක් තිබුණා.

“ඒත් ඒ සතියේ ඒ ගොල්ලන් ගේ තාත්තා ගස් කපන්න මහ කැලේට ගියා.  එයා හුගක් මහන්සි වෙලා වැඩ කෙරුවා.  ඉතින් පුතාලවත් ඒ වැඩේට එකතු කරගත්තා.  ඒ ගොල්ලෝ උදේට කරන්න තියෙන ඉස්තාලේ වැඩපළ සේරම ලාම්පු එළියෙන් කරලා උදේම කැලේටය ගියා.  ඉර පායනකොටත් ඒගොල්ලෝ කැලේට ගිහින් බරටම වැඩ කෙරුවා.  මේ විදියට රෑ වෙනකම්ම වැඩ කෙරුවා.  ඊළගට ඉස්තාලේ වැඩපළ කරන්න තිබුණා.  රෑ කෑමෙන් පස්සේ ඒ ගොල්ලෝ නිදාගන්න යන්න ඕන.  මොකෝ පහුවෙනි දා උදෙන්ම නැගිටින්න ඕන නොවැ.

 සෙනසුරාදා හවස් වෙනකම්ම හිම යානෙ වැඩ කරගන්න ඒගොල්ලන්ට බැරි වුණා.  ඒගොල්ලෝ පුළුවන් තරම් දහිරිය දාලා යානේ හැදුවා.  ඒත් සෙනසුරාදා ඉර බහින්න කලින් ඒක ඉවර කරගන්න බැරි වුනා. 

ඉර බැස්සට පස්සේ කන්දේ හිම යානේ පදින්න ඒගොල්ලන්ට බැහැ.  එකපාරක්වත් බැහැ.  එතකොට සබත ( ඉරිදා දිනයේ කතෝලිකයන්ගේ ආගමික චාරිත්‍ර) කඩ කලා වෙනවා.  ඉතින් ඒගොල්ලෝ හිම යානේ ගේ පිටිපස්සේ මඩුවේ දැම්මා.  ඉරිදා පහුවෙලා එළියට ගන්න හිතාගෙන.

පහුවෙනිදා පල්ලියේ පූජාවට ගිහින් ඒගොල්ලෝ කකුල් පද්දන්නේ නැතුව දේශකතුමා දිහා ම බලාගෙන හිතුවේ මොකක් ගැන ද කියලා දන්නවද, හිම යානේ ගැන.  ගෙදරදී දවල් කෑම කන වෙලාවෙදි ඒගොල්ලන්ට වෙන දෙයක් කල්පනා වුනේ නැහැ.  කෑමෙන් පස්සේ ඒගොල්ලන් ගේ තාත්තා බයිබලේ කියවන්න වාඩිවුනා.  සීයයි, ජේම්සුයි, ජෝර්ජුයි, මීයෝ වගේ නිස්සද්ද ව තමන් ගේ බංකුවේ වාඩිවෙලා කැතිකීස්මේ කියෙවුවා.  හැබැයි ඒගොල්ලන් ගේ හිතේ තිබුණේ හිම යානේ ගැන.

ඉර අහසේ බොහොම දීප්තිමත්ව බැබළෙනවා.  සිනිදු හිම දිළිසෙනවා. ඒගොල්ලන්ට ඒවා ජනේලෙන් පේනවා.  ඒක හිම යානෙ පදින්න කියාපු දවස.  ඒගොල්ලෝ කැතිකීස්මේ දිහා බලාගෙන, අලුත් හිම යානේ ගැන කල්පනා කෙරුවා.  මේ ඉරිදා නං ඉවර වෙන ඉරිදාවක් නෙවෙයි.

හුග වෙලාවකට පස්සේ ඒගොල්ලන්ට ගොරවන සද්දයක් ඇහුණා.  බලනකොට තාත්තා හොදටම නිදි.  එයාගේ ඔළුව පුටු ඇන්දට බර කරගෙන එයා ගොරව ගොරව නිදි.

ජේම්ස්, ජෝර්ජ්, දිහා බලලා බංකුවෙන් නැගිටලා ඇගිලිවලින් රහසින් ඇවිදගෙන කාමරේ පිටිපස්සේ දොරෙන් එළියට ගියා.  සීයා දිහා බලලා ජෝර්ජුත් හෙමිහිට අඩි තිය තියා ජේම්ස් පස්සේ ගියා.  අන්තිමේදී සීයත් බයෙන් බයෙන් තාත්තා දිහා බලබලා අර දෙන්නා පස්සෙන් මිදුලට ගියා.

ඒගොල්ලෝ ඉක්මනට අලුත් හිම යානේ එළියට අරගෙන කන්ද මුදුනට ගියා.  එක පාරක්වත් හිම යානේ පදින්නයි ඒගොල්ලන්ට ඕන වුනේ.  එහෙම කරලා, තාත්තා ඇහැරෙන්න කලියෙන් හිම යානෙ පැත්තකට දාලා ආයෙමත් බංකුවෙ වාඩිවෙලා කැතිකීස්මෙ පාඩම් කරන්න පුළුවන් කියලා ඒගොල්ලො හිතුවා.

ජේම්ස් හිම යානෙ ඉස්සරහින් වාඩිවුනා.  ඊළගට ජෝර්ජ්, ඊළගට සීයා.  මොකෝ එයා නෙව පුංචි ම පුංචි ළමයා.  ඔන්න හිම යානේ යන්න පටන්ගත්තා.  මුලින්ම හෙමින්, ඊළගට හයියෙන්, තවත් හයියෙන් දැන් ඒක කන්ද බෑවුමේ පල්ලෙහාට දුවනවා.  ඉගිල්ලෙනවා.  ඒත් ළමයි කෑගැහුවේ නෑ.  ඒගොල්ලෝ තාත්ත ව ඇහැරවන්නේ නැතුව නිස්සද්දව ගේ පහු කරගෙන යන්න ඕනෙනේ.

හිම තලාවේ ළිස්සන ධාවකවල පුංචි ගුරු ගුරු සද්දෙයි.  වේගෙන් පහුවෙන හුළගේ සද්දෙයි ඇරෙන්න වෙන කිසිම සද්දයක් නෑ.

හිම යානේ ගේ පහු කරගෙන යන්න ඔන්න මෙන්න තියෙද්දි ලොකු කළු පාට ඌරෙක් කැලෑවෙන් එළියට දුවගෙන ආවා.  ඌ පාර මැද නැවතිලා බලා ඉන්නවා.
  
හිම යානේ යන වේගෙ තරම කොච්චරද කිවුවොත් ඒක නවත්තගන්න බෑ.  ආපහු හරවන්න වෙලාවකුත් නෑ.  ඉතිං මොකෝ වුනේ යානේ ඌරු තඩියා ළගට ගිහිං ඌවත් ඒකට නග්ගගත්තා.  මහ හයියෙන් කෑගාගෙන ඌ ජේම්ස් ගේ කකුල් උඩ ලැග්ගේ නැතැයි.  කොච්චර හරි උගේ කෑගෑම නතර වුනේ නෑ.  ඌ දගින් දිගටම  මහා අමිහිරි සද්දෙකින් කෑගෑවා.  ර්.....රී...රී.....ඊ ...ඊ.....ඊ......ඊ.....ඊ.........ඊ.....ඊ.......!!!!!!!!!

ඒගොල්ලෝ වේගෙන් ගේ පහුකරගෙන ගියා.  ඌරා ඉස්සරහා වාඩිවෙලා ඉන්නවා.  ඊළගට ජේම්ස්, ඊළගට ජෝර්ජ්, ඊළගට සීයා.  එතකොට ඒගොල්ලෝ දැක්කා තාත්තා දොර ලග හිටගෙන බලා ඉන්නවා.  ඒගොල්ලන්ට හිම යානේ නවත්තන්න බෑ.  හැංගෙන්නත් බෑ.  මොකවත් කියන්න වෙලාවකුත් නැහැ.  දිගටම බෙරිහන් දෙන ඌරත් එක්ක ම ඒගොල්ලෝ කන්ද පල්ලමට රූටනවා.

කන්ද පල්ලමේ හිම යානේ නැවතුනා.  ඌරා ජේම්ස් ගේ කකුල්  උඩින් නැගිටලා කෑගගා  කැලේ බිදගෙන දිවුවා. 

පිරිමි ළමයි තුන්දෙනා හිමිහිට කතාවක් නැතුව කන්ද නැගලා හිම යානේ පැත්තක දාලා හොරු වගේ ගේ ඇතුළට ගිහින් බංකුවේ වාඩිවුනා.  තාත්තා එයාගේ බයිබලේ කියවනවා.  එයා වචනයක්වත් කතා නොකර ඒගොල්ල දිහා බැලුවා.

ඊළගට එයා ආයෙමත් බයිබලේ කියවන්න පටන්ගත්තා.  අර තුන්දෙනා කැතිකීස්මේ පාඩම් කෙරුවා.

ඒත් ඉර බැහැගෙන ගිහින් සබත් දවස ඉවර වුනාට පස්සේ තාත්තා ඒගොල්ලන්ව දර මඩුවට එක්කගෙන ගිහින් පස්ස පැත්තට හොදටම තැළුවා.  ඉස්සෙල්ම ජේම්ස්ට, ඊළගට ජෝර්ජ්ට, අන්තිමේදී සීයට.

ඉතින් දැක්කා නේද ලෝරයි, මේරියි අප්පච්චී කීවේය.  හොද ළමයි වෙන එක අමාරු වැඩක් කියලා ඔයගොල්ලට හිතේවි.  ඒත් සීයගේ පොඩි කාලෙට වඩා දැන් කාලෙ හොද ළමයි වෙන එක එච්චර අමාරු නැති එක ගැන ඔයගොල්න් සන්තෝස වෙන්න ඕන.  තේරුනාද?

පුංචි ගෑණු ළමයිනුත් ඒ තරමටම හොද වෙන්න ඕනද? යි ලෝරා ඇසුවාය.  එවිට අම්මා මෙසේ කීවාය.
පුංචි ගෑණු ළමයින්ට ඒක හුගක් අමාරුයි.  මොකෝ ඒගොල්ලෝ ඉරිදා විතරක් නෙවෙයි. අනෙක් හැම දවසෙමත් හොද නෝනලා වගේ හැසිරෙන්න ඕන. පුංචි ගෑණු ළමයින්ට පිරිමි ළමයින්ට වගේ හිම යානේ ළිස්සලා යන්න බෑ.  ගෑණු ළමයි ගෙදර ඉදගෙන මහන්න ගොතන්න ඕන.

දැන් දෙන්නම දුවලා ගිහින් අම්මට කියලා ඇදුම් මාරු කරගෙන නිදාගන්න.  යි කී අප්පච්චී සිය රවුකිඤ්ඤය එහි පෙට්ටියෙන් ඉවතට ගත්තේය.

ලෝරා හා මේරී රෝද සහිත මිටි ඇදේ වැතිරී ඉරිදා ගීතිකාවන්ට සවන් දුන්හ.  රවුකිඤ්ඤය පවා සතියේ දිනවල වයන ගීත ඉරිදා දිනවල වාදනය නොකළ යුතුය.

අප්පච්චී රවුකිඤ්ඤය වයමින් සමිදානෝ මා පවු බරින් මුදවාගත් සේක.  නම් ගීතිකාව ගැයුවේය.  ඊළගට ඔහු මෙසේ ගයන්නට විය.
තෑගි දිනන්නට සටනේ යෙදෙමින්
අන් අය ලේ ගංගජ මැද පිහිනන අතරේ
සමිදානෝ මා අහසට ඔසවාගෙන
සහනය පිරි මල් යහනක සතපාවිද?

සංගිතයේ තාලයට අනුව ලෝරා ගේ සිත පාවෙන්නට විය.  ඊළගට සට සට හඩක් ඇයට ඇසිණි.  අම්මා උදුන අසල උදේ ආහාර පිළියෙල කරමින් සිටියාය.  ඒ සදුදා උදෑසනයි.  ආයෙත් සතියක් යනතුරු ඉරිදා උදා වන්නේ නැත.

ඒ උදෑසන උදේ ආහාරයට පැමිණි අප්පච්චී ලෝරා අල්ලාගෙන තමාට ඇගේ පස්සා පැත්තට හොද පාරක් දිය යුතු බව කීවේය.

පළමුව අද ඇගේ උපන් දිනය බව විස්තර කළ ඔහු, මේ අවුරුද්දේ දී ඈට හොද පාරක් ලැබුණේ නැති නම් ලබන අවුරුද්දේදී ඈට හොදට හැදෙන්නේ නැති බව කීවේය.  ඉන් පසු ඔහු ඈට යන්තම්වත් නොරිදෙන පරිදි ඉතා සෙමින් හා මෘදු ව ඇගේ පස්සා පැත්තට තලන්නට වූයේය. 

එකයි, දෙකයි, තුනයි, හතරයි, පහයි, හයයි  ඔහු ගණන් කරමින් හෙමිහිට ඈට තැලුවේය. එක් එක් වසර වෙනුවෙන් එක පහරක් ගණනේ ලැබිනි.  අන්තිමේදී ඇගේ ඉදිරි වැඩීම සදහා ඔහු ඈට ලොකු පහරක් දුන්නේය.

අනතුරුව ඔහු ලීයකින් ඉතා ශෝභන ලෙස කපා සකස් කළ කුඩා ලී මිනිමෙකු ඈට තෑගි කලේය.  ඔහු චාලට් ගේ මිතුරා වනු ඇත.  අම්මා කුඩා කේක් ගෙඩි පහක් ඈට දුන්නාය.  එක් එක් කේක් ගෙඩිය ලෝරා ඈ හා අප්පච්චී සමග සිටි එක් එක් වසර වෙනුවෙනි.  මේරී චාලට්ට ඇන්දවීම සදහා අලුත් ගවුමක් ඈට තෑගි කළාය.  මේරි එය මසන කල ලෝරා සිතුවේ ඈ ඒ මසන්නේ ඇගේ රෙදි කැබලි ඇතිරිල්ල කියායි.

ඒ රාත්‍රියේ විශේෂ උපන්දින තෑග්ගක් වශයෙන් අප්පච්චී, පොප් ඔන්න වීසල් පැනලා ගියා යන ගීතය ඈ වෙනුවෙන් වාදනය කලේය.

ඔහු වාදනය කරන අතරේ ලෝරා හා මේරී ඔහුගේ දෙදණ මත හිදගෙන සිටියහ.  ඔන්න බලන්න.....ඔහු කීවේය.  බලන්න බාගදා ඔයගොල්ලන්ට පෙනේවි වීසල් එකපාරටම පැනලා යන හැටි නඅතුරුව ඔහු මෙසේ ගයන්නට විය.

නූල් පන්දුවට පැන්සයයි
ඉදිකටුවට පැන්සයයි
සල්ලි ඉවර වුනේ එහෙම තමයි.......

දැන් වෙලාව හරි බැවින් ලෝරා හා මේරී වඩාත් ඉදිරියට නැමී බලන්නට වූහ.
පොප් (රවුකිඤ්ඤයේ තතක් මත වූ අප්පච්චිගේ ඇගිල්ලෙන් හඩක් නැගිණි)
ඔන්න වීසල් පැනලා ගියා....!!!!!(ඉතා පැහැදිලි ලෙස රවුකිඤ්ඤය නාද නැගුවේය.)
එහෙත් අප්පච්චී සිය ඇගිල්ලෙන් තත පිරිමැද පොප් යන හඩ නංවනු ලෝරා හා මේරී දුටුවේ නැත.

අනේ ආයෙමත් කරන්න, ආයෙමත් කරන්න!!!!යි ඔවුහු බැගෑපත් වන්නට වූහ.  අප්පච්චී නිල් පැහැති දැස්වලින් සිනාසුණු අතර ඔහු ගයන අතරේ රවුකිඤ්ඤය දිගටම නාද නැගුවේය.

සපතේරුව ගේ මෙසේ වටේ
වීසල් පස්සේ වදුරා යයි එළවා
දේශකයා සපතේරුව ගේ බිරිදට පිඔලා
පොප් ඔන්න වීසල් පැනලා ගියා

ඒ වතාවේත් අප්පච්චී ගේ ඇගිල්ල තත පිරිමදිනු ඔවුන් දුටුවේ නැත.  ඔවුනට සොයා ගැනීමට බැරි තරම් ඉක්මනින් ඔහු එය කලේය. 

ඉතින් සිනාසෙමින් නිදන්නට ගිය ඔවුහු ඇදේ වැතිරී අප්පච්චිගේ ගායනයටත් රවුකඤ්ඤයේ වාදනයටත් සවන් දුන්නේය. 
එක් මහලු කල්ලෙක් හිටියා
ඔහුගේ නම නෙඩ් මාමා
ඈත ඈත කාලයකට ඉස්සර ඔහු මිය ඇදුනා
ගන සැරේට කෙස් වැවෙනා තැන නම් හිස වේ
ඒත් ඔහුගේ හිස් මුදුනේ කෙස් ගසක්වත් නැත්තේ
ඔහුගේ ඇගිලිත් හරියට
අකුලේ ඇති කෝටු වාගේ හරිම දිගයි
පිටට පෙනෙන්නේ ඔහුට ඇස් දෙකක් නෑ වාගෙයි
හෝ....කේක්....කන්නට දත් නැති හින්දා
ඔහු කේක් ගෙඩියත් පැත්තට තැබුවයි

ඉස්කෝප්ප නගුල් පෝරු අතට අරන්
රවුකිඤ්ඤය වීණා පතයි බිම තියපල්ලා
නෙඩ් මාමට තව කරන්න කිසිම වැඩක් නෑ
හොද කල්ලන් ගිය තැනටම ඔහුත් ගිහිල්ලා.....