සුවද කැකුළු

Wednesday, December 28, 2011

සීත දවස් හා සීත රාත්‍රීන් (2 වැනි පරිච්ජේදය)

 

2 පරිච්ජේදය

සීත දවස් හා සීත රාත්‍රීන්

හිම වැටීම ආරම්භ වූ අතර පරිසරය දැඩි සීතලකින් යුතු විය.  සෑම උදෑසනකම සිය තුවක්කුව හා උගුල් අතැතිව නිවසින් පිටවන අප්පච්චී, මහ වනයේ ඇවිද හික්මීයන්ට හා මින්ක් මුගටියන්ට දියා පාරවල් දිගේ කුඩා උගුල් අටවමින් ද, වනයේ නරිනට හා වෘකයන්ට මධ්‍යම ප්‍රමාණයේ උගුල් අටවමින්ද කාලය ගත කලේය.  සීත කාලය ගත කිරීම සදහා වලසුන් සියල්ලන්ම උන්ගේ ගුහාවල යන්නට පෙර තර වලසකු අල්ලාගැනීමේ බලාපොරොත්තුවෙන් ඔහු විශාල වලස් උගුල් ද අටවා තැබුවේය. 

එක් උදෑසනක නිවසට  ආ ඔහු සිය අශ්වයින් හා හිම යානය ගෙන යළිත් කඩිමුඩියේ පිටත්ව ගියේය.  ඔහු වලසකු දඩයම් කර තිබේ.  ලෝරා හා මේරි ඉතා සතුටට පත් වී උඩ පනිමින් අත්පුඩි තළන්නට වූහ.  මේරි කෑගෑවාය.

“මට ඕන කකුලක්, මට ඕනේ කකුලක්!
වලස් කකුලක් කොතරම් විශාල දැයි මේරි දැනසිටියේ නැත. 
අප්පච්චී ආපසු නිවසට එන විට ඔහු ගේ ගැලේ වලසකු පමණක් නොව ඌරෙක්ද සිටියේය.  තුවක්කුව උරහිසේ රදවාගෙන විශාල වලස් උගුල් අතින් ගෙන වනය මැදින් යමින් සිටි අප්පච්චී, හිමෙන් වැසුනු විශාල පයින් (දේවදාර ගස් වර්ගයක්) ගසක් අසලට ආවේය.  ගසට පිටුපසින් සිටියේ වලසායි.

මොහොතකට පෙර ඌරා මරා දැමු වලසා ඌ ගිලදැමීම සදහා ඌව මුවට ලං කරමින් සිටියේය.  වලසා දෑතින් යමක් ඔසවන්නාක් මෙන් තමා ගේ ඉදිරි ගාත්වලින් ඌරා ඔසවාගෙන පසුපස ගාත්වලින් වාඩිවී සිටි බව අප්පච්චී කීවේය.

අප්පච්චී වලසාට වෙඩි තැබුවේය.  ඌට ඌරකු ලැබුණේ කෙසේද යන්නවත්, ඌරා කාට අයිති එකෙකුද යන්නනවත් දැගගැනීමට හැකියාවක් නැත.

“ඉතිං මං ඌව බේකන් හදන්න ගෙදර ගෙනාවා,  යි අප්පච්චී කීවේය.

දැන් දීර්ඝ කාලයටකට සෑහෙන තරම් අලුත් මස් නිවසේ තිබේ.  දිවා කාලය හා රාත්‍රි කාලය දැඩි සීතලෙන් මිරිකී තිබිණ.  පෙට්ටියක අසුරන ලද ඌරු මස් හා පිටුපස මිදුලේ කුඩා මඩුවේ එල්ලා ඇති වලස් මස්, ගල් මෙන් සවි වී තුබූ අතර ඒවායේ අයිස් දිය වී ගියේ නැත.

දිවා ආහාරය සදහා අම්මාට අලුත් මස් අවශ්‍ය වූ විට අප්පච්චී පොරවක් ගෙන මිදුනු වලස් මස් හෝ ඌරු මස් කුට්ටියක් කපා දුන්නේය.  එහෙත් සොසේජස් ගුළි, ලුණු දැමූ ඌරු මස් හෝ දුම් ගැසූ හැම් හා මුව මස් මඩුවෙන් හෝ අටුවෙන් ගැනීම අම්මාට තනිව කළ හැකි විය.

හිම නොනවත්වාම වැටෙන්නට විය.  අන්තිමේදී ඒවා සුළගේ ගසාගෙන විත් නිවස වටා හිම ගොඩැල්ලක් සෑදී තිබිණ.  උදෑසන ජනෙල් වීදුරු වටා හිම වලින් ගස්වල, මල් වල හා සුරංගනාවියන් ගේ මනහර පිංතූර ඇදී තිබෙනු දැකගත හැකි විය.

සියලු දෙනා නින්දට ගිය පසු රාත්‍රි කාලයේ දී පැමිණෙන ජැක් ෆ්‍රොස්ට් ඒ පින්තූර අදින බව අම්මා කීවාය.  ජැක් හිම මෙන් සුදු , දිලිසෙන උල් තොප්පියක් හා මුව සමින් සැදූ දණහිස දක්වා උස බූට් සපත්තු පළදින කුඩා මිනිසෙකු ලෙස ලෝරා ගේ සිතේ මැවී තිබිණ.  ඔහුගේ කබාය සුදු පැහැතිය.  අත් මේස් සුදු පැහැතිය.  ඔහුගේ පිටේ තුවක්කුවක් නැත.  එහෙත් ඔහුගේ දෑත් වල දිස්න දෙන උල් ආයුධ වෙයි.  ඔහු පින්තූර අදින්නේ ඒවායිනි.

අම්මාගේ දිදාලය ගෙන ලෝරා හා මේරී ද වීදුරුවල රැදුනු හිම මත රවුම් හැඩයේ ලස්සන රූප අදින්නට විය.  එහෙත් ඔවුහු කිසි විටෙකත් ජැක් විසින් රාත්‍රිෙය් අදින ලද රූපවලට කිසිදු හානියක් නොකලහ.

ඔවුහු සිය මුව ජනෙල් වීදුරුවට තබා හුස්ම පිම්බ විට හිම දිය වී ගොස් බිදිති ලෙස වෑස්සී වීදුරුව දිගේ පහළට ගලා ගියේය.  පිටත හිම පතනයක්, සුදු හිම මත සිහින් නිල් පැහැයක් සෙවණැලි මෙන් නැගී සිටින නග්න හා කළුවන් විශාල ගසුත් එවිට ඔවුනට දැකගත හැකි වෙයි.

ලෝරා හා මේරී ගෙදර දොර වැඩපල සදහා අම්මාට සහාය වූහ.  හැම උදෑමනකම ඔවුහු  පිගන් කෝප්ප පිසදැමූහ.  මේරි ලෝරාට වඩා වැඩිමහල් බැවින් ඈ පිගන්වලින් වැඩි කොටස පිසදැමූ නමුත්, ලෝරා හැමවිටම පරිස්සමට ඇගේ කුඩා කෝප්පයත්, පිගානත් පිසදැමුවාය.

පිගන් සියල්ල පිසදමා අඩුක් කළ පසු රෝද සහිත මිටි ඇද සකස් කරනු ලැබේ.  ලෝරා හා මේරි ඇද දෙපස සිටගෙන ඇතිරිලි සකස් කොට, ඒවා ඇද පාමුලින් හා දෙපසින් මනාව නවා යට කොට, කොට්ට හොදින් ගසා ඒවා නිසි තැන තබති.  ඊලගට අම්මා මිටි ඇද එයට නියමිත ස්ථානය නූ විශාල ඇද යටට තල්ලු කරයි.
මේ කටයුත්ත හමාර වූ පසු අම්මා එදිනට නියමිත වැඩ කොටස අරඹයි.  සෑම දිනකම එදිනට නියමිත කොටසක් තිබිණ.  අම්මා නිතර මෙසේ කීවාය.

“ සදුදා එන්නේ රෙදි සෝදන්නයි
අගහරුවාදා ඇදුම් මදින්නයි
බදාදා ඉරුනු ඇදුම් මහන්නයි
බ්‍රහස්පතින්දා බටර් හදන්නයි
සිකුරාදා නම් පිරිසිදු වෙන්නයි
සෙනසුරාදා රස පාන් හදන්නයි
ඉදිරා එන්නේ විවේක ගන්නයි

ලෝරා සතියේ සියලුම දවස් අතරින් බටර් හදන දිනයටත්, පාන් පුළුස්සන දිනයටත් වඩා ප්‍රිය කළාය. 

සිත කාලයේ කිරි යොදය, ග්‍රීස්ම සෘතුවේ දී මෙන් කහ පැහැයක් ගන්නේ නැත.  එබැවින් ඒවායින් හදන බටර් සුදු පැහැති වන අතර කදිම පෙනුමක් ද නැත.  තමාගේ කෑම මේසය මත ඇති සියලුම දේ ලස්සණට තබාගැනීමට කැමති අම්මා ඒ නිසා සීත කාලයේ දී බටර්වලට පාට දැමුවාය.

කිරි යොදය පිගන් මැටියෙන් කළ උසැති කිරි හැළියකට දමා එය උණුසුම් වීම සදහා උදුන අසලින් තැබූ අම්මා ඉන් පසු තැඹිලි පැහැති දිග කැරම් අලයක් සෝදා එහි පොත්ත සූරා දැමුවාය.  අනතුරුව ඇය එය හිල් වූ පරණ බෙලෙක් බදුනක පතුලේ තබා ගාන්නට වූවාය.  බෙලෙක් බදුනේ පතුල සම්පූර්ණයෙන්ම ඇණවලින් විද සිදුරු සාදා සකසම් කොට දුන්නේ අප්පච්චීය.  කැරට් අලය සම්පූර්ණයෙන්ම සිදුරු සහිත රළු පතුලේ ගෑ අම්මා, බදුන එසවූ විට එහි මෘදු යුෂ සහිත ගාගත් කැරට් රැල් විය.

උදුන මත වූ කුඩා කිරි බදුනට මෙසේ ගාගත් කැරට් දැමූ අම්මා කිරි උණු වූ විට කිරි හා කැරට් රෙදි බෑගයකට වත්කලාය.  ඊළගට දීප්තිමත් කහ පැහැති කිරි, කිරි හැළියට අල්ලා මිරිකුවාය.  කිරි යොදය වර්ණවත් විය.  දැන් බටර් කහ පැහැති වනු ඇත.

කිරි මිරිකාගත් පසු කැරට් කෑමට ලෝරාට හා මේරීට අවසර ලැබිණි.  තමා වැඩිමල් නිසා තමාට වැඩි පංගුව ලැබිය යුතු බව මේරි කල්පනා කලාය.  ලෝරා කීමේ තමා කුඩා බැවින් .තමාට වැඩි කොටස ලැබිය යුතු බවයි.  එහෙත් එය සමානව බෙදාගත යුතු බව අම්මා කීවාය.  එය ඉතා ප්‍රණීත ආහාරයක් විය.  

යොදය කහ පැහැ ගැන්වූ පසු ලීයෙන් තැනූ මත් දඩුව උණු දියේ දමා සේදූ අම්මා, එය කිරි හැළියට දමා කිරි හැළිය වසන ලී පියන ඒ තුළින් පහළට දැමුවාය.  මේ පියන මැද කුඩා රවුම් සිදුරක් තිබූ අතර අම්මා ඒ තුළින් මත් දඩුව ඉහළ පහළ ගෙන යමින් නොනවත්වාම කිරි මත් ගාන්නට වූවාය.

ඇය දීර්ඝ වේලාවක් කිරි මත් ගෑවාය.  අම්මා විවේක ගන්නා විට මේරි කිරි මත් ගෑවාය.  එහෙත් ලෝරාට මත් දඩුව එසවීමට නොහැකි තරමට බර විය. 

මුලින්ම කුඩා රවුම වටා රැදුනු කිරි යොදය ගන හා මෘදු බවක් ගත්තේය.  බොහෝ වේලාවකට පසු ඒවා කුඩා කැටිති බවට පත් වන්නට විය.  ඊ ළගට අම්මා ඉතා සෙමින් මත් ගාන්නට වූවාය.  මත් දඩුව මත කහ පැහැති බටර් කුඩා කැටිති ලෙස රැදී තිබෙනු පෙනිණි.

අම්මා කිරි හැළියේ පියන ඉවත් කළ විට බටර් රන් පැහැති ගුළියක් ලෙසින් කිරි මෝරුවල පතුළට බැස තිබුනි.  ඊළගට එක් කොනක් පැතැලි වන සේ සකස් කළ දිග මිටක් සහිත හැන්දෙන් බටර් ගුළිය ඉවතට ගෙන ලී බදුනක දැමූ අම්මා, ලී හැන්දෙන් එය ඒ මේ අත පෙරළමින් වතුර පිරිසිදු පැහැයක් ගන්නා තුරු ම බටර් ගුළිය කිහිප වතාවක්ම සේදුවාය.  ඉන් පසුව ඇය එයට ලුණු එක් කළාය.

දැන් ඇත්තේ බටර් සෑදීමේ හොදම කොටසයි.  අම්මා බටර් , අච්චුවකට වත්කරන්නේ දැන්ය.  ලීවලින් සෑදූ බටර් අච්චුව පතුලේ ස්ට්‍රෝබෙරි  ගෙඩියක හා කොළ දෙකක රූපයක් කැටයම් කර තිබිණි.

අම්මා ලී හැන්දට බටර් ගෙන අච්චුව හොදින් පිරෙන තුරුම එයට දැමුවාය.  ඉන් පසු එය පිගානක් මත අනෙක් පැත්තට හැරවූ ඇය, ලිහිල් යටි පැත්තේ ඇති මිට ඇතුළට තල්ලු කළාය.  තදට ඇසිරුණු රන්වන් පැහැති කුඩා බටර් කුට්ටි මුදුනේ කැටයම් වූ ස්ට්‍රොබෙරි ගෙඩිය හා එහි කොළ සමග පිටතට ආවේය.

ලෝරා හා මේරි අම්මා දෙපසින් සිටගෙන හුස්ම ගන්නට අමතක වූවාක් මෙන් බලා සිටියහ.  අම්මා බටර් සියල්ල අච්චුවට දමා යටි අතට හරවා ඔසවන විට මතුපිට ස්ට්‍රෝබෙරි ගෙඩිය හා කොළ සිත්තම් වූ රන්වන් කුඩා බටර් කුට්ටි පිගාන මත දිලිසෙන්නට වෙයි.  ඊ ළගට අම්මා ඔවුන් දෙදෙනාටම රසවත් නැවුම් බටර් කිරි බොන්නට දුන්නාය.

සෙනසුරාදා දවස්වල අම්මා පාන් සාදන විට කුඩා පාන් ගෙඩියක් සෑදීම සදහා දෙදෙනාටම පිටි මෝලියෙන් කුඩා ගුලි දෙකක් බැගින් ලැබෙයි.  පුංචි විස්කෝතු සෑදිම සදහා විස්කෝතු මෝලියෙන් ද ඇබිත්ත බැගින් ලැබෙයි.  වරක් ලෝරා ඇගේ කුඩා තාච්චුවේ පස්තෑලක්ද සෑදුවාය.


දවසේ වැඩ හමාර වූ පසු අම්මා ඉදහිටෙක කරදාසිවලින් බෝනික්කන් කපා ඔවුනට සෙල්ලම් කරන්නට දුන්නාය.  ගනකමැති සුදු කරදාසිවලින් බෝනික්කන් කැපූ ඇය පැන්සලකින් ඔවුන්ගේ මුහුණු ඇන්දාය.  ඊළගට පාට කරදාසි කැබැලිවලින් ඇදුම් , තොප්පි, පීත්ත පටි හා ලේස් කැපුවාය.  එවිට ලෝරාට හා මේරීට ඔවුන්ගේ බෝනික්කන් ලස්සනට සැරසිය හැකිය.


එහෙත් මේ සියල්ලටම වඩා හොදම කාලය උදා වන්නේ අප්පච්චී ගෙදර පැමිණි පසු රාත්‍රියේය.

හිමෙන් වැසුනු වනය පුරා බර අඩි තබමින් තැන තැන ඇවිද රාත්‍රියේ ගෙදර එන විට ඔහුගේ උඩු රැවුළ දෙකොනේ කුඩා හිම කැට රැදී තිබේ.  සිය තුවක්කුව දොරට උඩින් බිත්තියේ එල්ලා හම් තොප්පියත්, කබායත්, අත් මේසුත් ගලවා පසෙක දමන ඔහු මෙසේ කියයි.

“කෝ මගේ බාගයක් බීපු ඇබිත්තං පැණි රස සයිඩර් (ඇපල් යුෂයෙන් සාදන බීම වර්ගයක්) බෝතලේ?
ඔහු මෙසේ අමතන්නේ ලෝරාටය.  ඒ ඈ ඉතා කුඩා බැවිනි.

ඔහු වෙත දුව යන ලෝරා හා මේරි ඔහුගේ දණහිස මතට නැග ඔහු ගිනිමැළය අසල වාඩිවී උණුසුම් වන තුරු එහි වාඩිවී සිටිති.  අනතුරුව යළිත් සිය කබාය, තොප්පිය හා අත් මේස් දමාගනක්නා ඔහු ඉස්තාලයේ කටයුතු කිරීමට හා ගිනිමැළය දැල්වීම සදහා ඇති තරම් දර ගෙන ඒමට පිටතට යයි.

ඉදහිටෙක උගුලකට කිසිවෙකු  හසුවී නැති බැවින් ඉක්මනින් උගුල් පරික්ෂා කර අවසන් වූ දවසක හෝ වෙනදාට වඩා ඉක්මනින් දඩයමක් හමු වූ දවසක හෝ අප්පච්චී වේලාසනින් ගෙදර එයි.   එවිට ලෝරා හා මේරී සමග සෙල්ලම් කිරීමට ඔහුට ඕනෑතරම් වේලාව තිබේ.

මේ සෙල්ලම් අතරින් ඔවුන් ආසා කළ එක් සෙල්ලමක් වූයේ, පිස්සු බල්ලා නමින් හැදින්වූ සෙල්ලමයි.  අප්පච්චී සිය ගනැති දුඹුරුවන් හිසකෙස් අතරින් ඇගිලි යවා හිසකෙස් අවුල් කරගනියි.  ඊ ළගට ඔහු ගොරව ගොරවා ලෝරාට හා මේරීට පැනගත නොහැකි වයන සේ ඔවුන් මුල්ලකට හිරකොට අල්ලාගැනීම සදහා මුළු කාමරය පුරාම දණගායි.

ඔවුහු ඔහුට හසුනොවී ඉවතට පනිමින් කඩිමුඩියේ දුවන්නට වෙති.  එහෙත් එක්වරක් ඔහු ගිනි උදුන පිටුපස ඇති පෙට්ටගමට කොටු කර ඔවුන් දෙදෙනාව අල්ලාගත්තේය.  ඔවුනට අප්පච්චී පසුකර යාමට නොහැකි විය.  පැනයන්නට වෙනත් මාර්ගයක් ද නැත.

දැන් අප්පච්චී භයංකාර ලෙස ගොරවන්නට වූයේය.  ඔහුගේ කොණ්ඩය අවුල් වී,දෑස් රෞද්‍ර පෙනුමක් ගෙන තිබිණි.  හරියටම ඇත්තටම වාගේය. මේරී කොතරම් බියට පත්වී සිටියාද යත් , ඈට සෙලවීමට පවා නොහැකි විය.  එහෙත් අප්පච්චී ඔවුන් ළගට එද්දී මහ හඩින් කෑගෑ ලෝරාථ මේරී ද අතින් ඇදගෙන පෙට්ටගම දිගේ බඩගාමින් උමතුවෙන් මෙන් ඊට උඩින් පැන්නාය.

එක්වරම පිස්සු බල්ලා සම්පූර්ණයෙන්ම අතුරුදහන්වී සිටියේය.  අප්පච්චී පමණක් සිටගෙන ඔහුගේ නිල් පැහැති දිලිසෙන ඇස්වලින් ලෝරා දෙස බලා සිටියේය.

“කළා හොදයි නේද!  ඔහු ඈට කීවේය.  බාගයක් බීපු මගේ ඇබිත්තං සයිඩර් බෝතලේ ඔයා හරිම දගකාරී!  පුංචි ප්‍රංශ අස්සයෙක් වගෙ ඔයා හරිම ශක්තිමත් නෙව!

ඔය විදියට ළමයි බය කරන්න එපා, චාල්ස්, ....අම්මා කීවාය.  “බලන්න ඒගොල්ලන් ගේ ඇස්වල ලොකු....
ඔවුන් දෙස බැලූ අප්පච්චී සිය අවුකිඤ්ඤය අතට ගත්තේය.  ඔහු එය වයමින් ගයන්නට වූයේය.
“ඉරි වැටිච්ච කලිසමකුත් ඇදගෙන
යැන්ක් ඩුඩ්ල් නගරයට ගියැයි
දකින දකින තැන ගෙවල් ය ඇත්තේ
එනිසා නගරය පෙනුනෙ නැතෙයි...

පිස්සු බල්ලා පිළිබද හැම දෙයක්ම ලෝරාට හා මේරීට අමතකව ගියේය.
“නගරයේදි ඔහු දුටු කාලතුවක්කු
මේපල් කදක් තරමටම ලොකුයි
එය හරවන්නට ඒ මේ පැත්තට
මහ ගොන් බාන් දෙකක් ඕනෑ වෙයි....

ඒවායින් වෙඩි තබා හැම විට
වෙඩි බේතුත් මලු ගාණක් යයි
තාත්තගේ තුවක්කුව වගේ හඩ නැගෙයි
හැබැයි ඊට වැඩියෙන් සද්දයි....

අප්පච්චි සිය පාදයකින් තාල තබන්නට වූ අතර ලෝරා ඔහු ගයන විට ඔහුගේ සංගීතයට අනුව අත්පුඩි තැළුවාය.

“යැන්කි ඩුඩ්ල් ඩී ඩෝ මම ගයන්නෙමි
යැන්කි ඩූඩ්ල් මම ගයන්නෙමි
යැන්කි ඩුඩ්ල් ඩී ඩෝ මම ගයන්නෙමි
යැන්කි ඩුඩ්ල් මම ගයන්නෙමි!!!

දරුණු මහ වනය මැද හිමෙන් වැසී ගිය සීතල අරක්ගත් භූමියේ හුදෙකලා වූ කුඩා ලී නිවස උණුසුමින්, සුව පහසුවෙන් හා සනීපදායක බවින් පිරුණේ විය.  අප්පච්චී , අම්මා, මේරී, ලෝරා හා කුඩා කේරී විශේෂයෙන්ම රාත්‍රි කාලයේ දී එහි සුව පහසුවෙන් හා සතුටින් සිටියහ.

උදුනේ දීප්තිමත්ව දැල්වෙන ගින්න විසින් සීතලෙන් හා අන්ධකාරයෙන් පමණක් නොව කැලෑ සතුන්ගෙන් ද ඔවුන් ව ආරක්ෂා කරන ලදී.  වයිරම් වැටුණු බ්ල්ඩෝග් වර්ගයේ බල්ලා ජැක් හා බ්ලැක් සූසන් ගිනි උදුනේ ගිනි දැල් දෙසට ඇසි පිය ගසමින් වැතිර සිටියහ.


සිය පැද්දෙන පුටුවේ වාඩිගත් අම්මා මේසය මත වූ ලාම්පුවේ එළියෙන් කිසිවක් මසයි. ලාම්පුව දීප්තිමත් හා දිස්නය දෙන සුළු විය.  එහි භූමිතෙල් දමන ලද වීදුරු බදුන පතුලේ ලුණු කැට ඇත.  භුමිතෙල්වලට ලුණු කැට දමන්නේ භූමිතෙල් පිපිරියාම වැලැක්වීම සදහාය.  භූමිතෙල් බදුනට ශෝබන පෙනුමක් ගෙනදීම සදහා ලුණු කැට අතරට රතු ෆ්ලැනල් රෙදි කැබැලි දමන ලදී.  ඇත්තටම එය ශෝබනය.

ඉතා පිරිසිදු හා කාන්තිය විහිදුවන වීදුරු චිමිනිය සහිත ලාම්පුව දෙස බලා සිටින්නට ලෝරා ප්‍රිය කලාය.  එහි කහ පැහැති දැල්ල ඉතා ශක්තිමත් ව දැල්වෙයි.  කුඩා ෆ්ලැනල් රෙදි කැබැලි නිසා එහි පිරිසිදු භූමිතෙල් සහිත බදුන රතු පැහැ ගැන්වී ඇත.  ගිනි උදුනේ ගින්න දෙස බලා සිටින්නටද ලෝරා ප්‍රිය කලාය.  එය නිරන්තරයෙන්ම සෙලවෙයි.  වෙනස් වෙයි.  එය කහ පැහැයෙන්, රතු පැහැයෙන් හා ඉදහිටෙක කොළ පැහැයෙන් දර කොට පරයමින් ඉහළ නගිමින් ද රන්වන් පැහැති හා රක්ත වර්ණ අගුරු කැට නිල් පැහැයකින් වසාගනිමින් ද දැල්වෙයි.

ඊලගට අප්පච්චී කතාන්තර කීම අරඹයි.  

ලෝරා හා මේරී කතාන්දරයක් කියන්නයි කියමින් ඔහුට බැගෑපත් වන විට ඔවුන් සිය දෙදණ මත හිදුවාගන්නා ඔහු ඔවුන් මහ හඩින් සිනාසෙන තුරුම සිය දිගු රැවුළු කෙදි ඔවුන් ගේ මුහුණු මත අතුල්ලමින් කිති කවයි.  ඔහුගේ නිල් දෑස් ප්‍රිතියෙන් පිරී ඇත.

එක් රාත්‍රියක බ්ලැක් සුසන් ගිනිමැළය ඉදිරියේ දිග ඇදී සිය නිය විහිදුවනු බලාසිටි අප්පච්චී මෙසේ කීවේය.
“ඔයගොල්ලො දන්නවද අදුන් දිවියා බළලෙක් කියලා.  ලොකු යෝධ කැලෑ බළලෙක්ය කියලා!!!
“නෑ,යි ලෝරා කීවාය.
“ඔන්න එහෙනං දැන් දැනගන්නකෝ,“  අප්පච්චී කීවේය. 
“නිකං හිතන්න, බ්ලැක් සූසන්, ජැක්ට වැඩිය  ලොකු වෙලා, ජැක්ට වඩා නපුරු විදියට ගොරවනවා කියලා.  අන්න එතකොට බ්ලැක් සූසන් අදුන් දිවියා වගේ තමයි“

ලෝරා හා මේරී වඩා සුව පහසු ලෙස සිය දෙදණ මත හිදුවාගත් ඔහු  “ මං කියන්නංකෝ සීයයි, අදුන් දිවියයි ගැන කතාව...යි කීවේය.
“ඔයාගේ සීයද? ලෝරා ඇසුවාය.
“නෑ ලෝරා, ඔයාගේ සීයා , මගේ තාත්තා...
“ආ....යි කී ලෝරා අප්පච්චිගේ බාහුවට තවත් තෙරපුණාය.  ඇය සිය සීයා හදුනයි.  ඔහු මහ වනයේ ඉතා ඈත පිහිටි විශාල නිවසක ජීවත් වෙයි.  අප්පච්චී කතාව කීමට පටන්ගත්තේය.

සියා සහ අදුන් දිවියාගේ කතාන්තරය

“එක දවසක් ඔයගොල්ලන්ගේ සීයා නගරෙට ගියා, ආපහු ගෙදර එනකොට හවස් වුනා.  මහ කැලෑව මැද්දෙන් අස්සයා පිටේ එනකොට හොදටම කළුවර වැටිලා.  කොච්චර කළුවරද කියනවා නං පාර පේනනෙත් නැති තරං. ඔන්න එක පාරටම සියට ඇහෙනවා අදුන් දිවියෙක් කෑගානවා.  සීයා හොදටම බව වුනා.  ඒ වෙලාවේ එයාගේ අතේ තුවක්කුව තිබුණෙත් නැහැ.

“කොහොමද අදුන් දිවියා කෑගාන්නනේ?  ලෝරා ඇසුවාය.
“හරියට ගෑනියෙක් වගේ...අප්පච්චී කීවේට.  “මෙන්න මෙහෙම......ඊළගට ඔහු ඒ අයුරින් කෑගැවේය.  ලෝරා හා මේරි බියෙන් වෙව්ලන්නට වූහ.

අම්මා වහා සිය පුටුවෙන් නැගිට “ දෙවියනේ චාල්ස්...!කීවාය.
එහෙත් ඒ අයුරින් බිය වීමට ලෝරා හා මේරී ප්‍රිය කලහ.

“සීයා ව පිටේ තියාගත්ත අස්සයා හයියෙන් දිව්වා.  ඌත් හොදටම බයවෙලයි හිටියේ.  ඒත් අදුන් දිවියාගෙන් බේරිලා යන්න ඌට බැරිවුනා.  අදුන් දිවියා කළු පාට කැලෑව පීරගෙන ඌ පස්සේ ආවා.  ඌට හොදටම බඩගිනි වෙලයි හිටියේ.  ඉතින් ඌ අස්සයා දුවන වේගයෙන්ම දුවගෙන ආවා.  ඔන්න ඌ එකපාරකට පාරේ ඒ පැත්තේ ඉදගෙන කෑගානවා.  තව පාරකට මේ පැත්තේ ඉදගෙන කෑගානවා.  කොහොම වුනත් ඌ දැන් ඉන්නේ සීයා ළගමයි.


“සීයා ඉස්සරහට බරවෙලා තව තවත් හයියෙන් අස්සයා පැන්නුවා.  අස්සයා ඌට දුවන්න පුළුවං උපරිම වේගයෙන් දුවනවා.  ඒත් අදුන් දිවියා තවමත් ළගම ඉදගෙන කෑගානවා.
“එකපාරටම සීයා ඌව දැක්කා.  ඌ සීයාගේ ඔළුවට උඩින් ගහෙන් ගහට පනිනවා. 
“ඌ මහ විසාල කළු අදුන් දිවියෙක්. බ්ලැක් සූසන් මීයෙක් අල්ලන්න පනිනවා වගේ ඌ අහසේ එහාට මෙහාට පනිනවා.  ඌ බ්ලැක් සූසන්ට වඩා දහගුණයක් විතර විශාලයි.  කොච්චර ලොකුද කියනවා නං සීයගේ ඇගට පැන්නනං ඌට උගේ යෝධ කඩු වගේ නියපොතුවලින් සූරලා, උල් දත්වලින් හපලා සීයව මරලා දාන්න පුළුවන්.

“ඉතිං අස්සයා පිටේ ඉන්න සීයා බළලෙක් ගෙන් බේරිලා යන මීයෙක් වගේ උගෙන් බේරිලා දුවනවා....
“අදුන් දිවියා තවත් කෑගෑවේ නෑ.  සීයා ආයෙත් ඌව දැක්කෙත් නෑ.  ඒත් කළුවර කැලේ පීරගෙන ඌ පිටිපස්සෙන් පැන පැන එනවා කියලා සීයා දන්නවා.  තවමත් අස්සයා ඌට පුළුවන් වේගයෙන් දුවනවා. 

“ඔන්න අන්තිමේදී අස්සයා සීයගේ ගෙදරටම ආවා.  දිවියා දුන්නක් වගේ පනිනවා සීයා දැක්කා.  සීයා දොර ඉස්සරහදී අස්සයගේ පිටෙන් පැනලා කඩාගෙන බිදගෙන දොරෙන් ඇතුළට ගිහිං දිවියට එන්න නොදී දොර වහගත්තා.  මෙන්න එකපාරටම අදුන් දිවියා අස්සයාගේ පිටට පැන්නා. 

“අස්සයා මහා භයංකාර විදියට කෑගාගෙන දුවන්න පටන් ගත්තා.  ඌ අදුන් දිවියවත් පිටේ තියාගෙන මහ කැලේට දිව්වා.  දිවියා උගේ පිටේ එල්ලිලා නියපොතු වලින් අස්සය ගේ පිට ඉරලා දැම්මා.  ඒත් සීයා බිත්තියේ එල්ලලා තියෙන තුවක්කුව අරගෙන ජනේලයෙන් වෙඩි තිබ්බා.   එක පාරින්ම අදුන් දිවියා මැරිලා වැටුණා.

“තුවක්කුව නැතුව ආයේ නං මහ කැලේට යන්නේ නෑ කියලා සීයා කිවුවා...“
අප්පච්චී මේ කතාන්දරය කියන විට ලෝරා හා මේරී වෙවුලමින් ඔහුට තව තවත් තුරුලු වී සිටියහ.  ඔහුගේ දෙදණ මත හිදගෙන ඔහුගේ ශක්තිමත් බාහු යුග්මයෙන් වට වී සිටින විට ඔවුහු සුරක්ෂිත ව හා සුවදායකව සිටියහ.

බ්ලැක් සූසන් පෝරණුව මත හිදගෙන පුරු පුරු හඩ නගමින් ද , යහපත් ජැක් ඈ අසලින් දිගාවී ද සිටින ඒ මොහොතේ උනුසුම් ගිනිමැළය සමීපයේ හිද ඔහුට තුරුලුවී සිටීමට ඔවුහු ප්‍රිය කලහ.  වෘක උඩුබුරලෑමක් ඇසෙන  විට ජැක් ගේ හිස එසවෙන අතර, උගේ පිට දිගේ මවිල් ඉලිප්පෙයි.  එහෙත් මහ වනයේ අන්ධකාරය හා සීතල තුලින් නැගෙන ඒ හුදෙකලා හඩ අසා සිටින ලෝරා හා මේරී බියට පත් වූයේ නැත.

ලීවලින් තැනූ කුඩා නිවස තුළ ඔවුහු උණුසුමින් සුරක්ෂිතව සිටියහ.  නිවස වඩා හිම ගොඩ ගැසී තිබිණි.  සුළග හමමින් තිබිණි.  එහෙත් ගිනිමැළය නිසා ඒවාට නිවස තුලට ඒමට නොහැකි විය.