සුවද කැකුළු

Friday, September 30, 2011

කුකුළු පැටියා හරි මුරන්ඩුයි


එකමත් එක කාලෙක රතු කිකිළියෙක් හිටියා.  එයාගේ කුකුළු පැටියා
හරිම මුරන්ඩුයි.  දවසක් ඉතිං මේ කුකුළු පැටියා රතු කිකිළිට හොරෙන්
තනියම කෑම හොයන්න ගියා.  ඒත් එයාගේ අම්මා
එයාට කියලා තියෙන්නේ තවම එයා පුංචි පැටියා නිසා තනියම කොහේවත්
යන්න එපා කියලා.  නමුත් මේ කුකුළු පැටියා අම්මා කියන දේ 
ඇහුවේ නැහැ.

ඔන්න ඉතිං එයා ඇවිදන් ගිහින් පුංචි කුණු ගොඩක් ඇවිස්සුවා.
පනුවෙක් වගේ මොකක්දෝ දෙයක් දැකලා එයා ඒක
හොටෙන් ඇද්දා. අපොයි දෙයියනේ
ඒ පනුවෙක් නෙමෙයිනේ. මී හාමි කෙනෙක්නේ.
“මට මගේ පාඩුවේ ඉන්න නොදි මොකද කුකුල් පැටියෝ මගේ වලිගෙන්
ඇද්දේ. උඹට පිස්සුද?  හිටපන් මං උඹට හොද වැඩක් කරන්න.
ඔන්න ඔහොම කියලු මී හාමි කුකුළු පැටියගේ ඇගට පැන්නා.



දෙයියනේ කුකුළු පැටියා හොදටම බය වුණා.  හොදවෙලාවට
ඒ වෙලාවෙම රතු කිකිළි එතැනට ආවා.  හැබැයි කුකුළු පැටියව බය 
කරන්න හැදුවට මී හාමි කුකුළු අම්මට නම් හොදටම බය වුනා.  බය වෙච්ච පාර
මී හාමි පැනලා දිවුවා. ඔන්න ඉන් පස්සේ නම් කුකුළු පැටියා කවදාවත්ම 
තනියෙන් කොහේවත් ගියේ නැහැ. අම්මා කියන දේ අහගෙන
හොද පැටියෙක් උනා.



Thursday, September 29, 2011

බළල් රාලට ‍පාඩමක්

ඉස්සර කාලේ බළල් රාල හිටියේ කැලෑවෙනේ.  ඉතින් එයාගෙන් පුංචි සතුන්ට
බොහෝම හිරිහැර වුනා.  ඔන්න ඉන් පස්සේ මේ පුංචි ඈයෝ ටික එකතුවෙලා
මේ කරදරේට මොකද කරන්නේ කියලා කල්පනා කලා.   එයාලා
බළල් රාළට කිවුවා “අපට හිරිහැර කරන්න එපා ....කියලා
ඒත් බලල් රාල මේ කතාවලට කන් දුන්නේ නැහැ.

දවසක් මේ කරදරේ ඉවසාගෙන ඉන්නම බැරි තැන පුංචි කුරුල්ලෝ, ලේන්නු එහෙම එකතු වෙලා
අලි රාළහාමිට පැමිණිලි කලා.  අලි රාළහාමිත් කීපවතාවක්ම බළල් රාළට අවවාද කලා.
කොයිතරම්ම කිවුවත් මේ බ ළල් රාළ නොවෙයිනේ කනකටවත් ගත්තේ.  
එයා හොරෙන් හොරෙන් පුංචි සත්තු අල්ලාගෙන කන පුරුද්ද අත්හැරියෙම නැහැ.

කොහොම  කොහොම හරි අලි රාළහාමි නැවත වරක් බලල් රාලට අවවාද කලා. 
ඒත් හිතුවක්කාර බළල් රාළ මේ කතන්දර වලට කන් දුන්නේ නැහැ.
ඔන්න ඉතිං අලි රාළහාමිට හොදටම කේන්ති ගියා. දන්නවද එයා මොනවද කලේ කියලා.
අර එයාගේ දිග හොඩයෙන් අල්ලලා බලල් රාළට හොදටම රිදෙන්න දෙක තුනක්
ගහලා කැලෙන් පන්නා දැම්මා.

ඉන්පස්සේ බළල් රාලට ඉන්න තැනක් නැහැනේ. එයා ගමට ආවා.  බළල් රාළ ගෙවල් වල ඉන්න
පුරුදු වුනේ එදා ඉදන් තමයි.  අලි රාළහාමි එයාට දඩුවම් කල විදිය මතක් වෙනකොට අදටත් 
බළල් රාළට ඤාව් ගාල කෑගැහෙනවා.
ඒත් අර සත්තු දඩයම් කරන නරක පුරුද්ද නම් එයා තාම අත්හැරලා නැහැ.


Tuesday, September 27, 2011

තිත්තයන් මැල්ලුමයි - කුරක්කන් පිට්ටුයි

අන්දරේ ඉතිං මුඵ දවස පුරාම ඉන්නේ රජ වාසලේනේ. ඒ හින්දාම රජවාසල අන්දරේට අමුතු තැනක් නෙමෙයි.  අනෙක් අතට බලනකොට රජ වාසලේ ඇත්තන්ට අන්දරේ කියන්නේ අමුතු පුද්ගලයෙකුත් නෙමෙයි. නිතර දකින කෙනා නේ.  අන්දරේ එක්ක කතා බහ කරන්න විහිළුවක් කියන්න, ඒ විතරක් නෙමෙයි ඕනෑම රහසක් කියන්නත් රජ වාසලේ කිසිම කෙනෙක් බය උනේම නැහැ.

ඔන්න ඉතිං එක දවසක් රජ බිසව අන්දරේට කතා කලා.  හොදට වටපිට බලලා කවුරුත් නැති බව තහවුරු කරගත්තා.

“අන්දරේ....මම උඹට එන්න කිවුවේ රහසක් කියන්නයි...හැබැයි මේ වගක් කාටවත් කියන්නෙ එහෙම නැහැ.  මේ කතාව රජතුමාවත් දන්නේ නැහැ. දන්නේ අපි දෙන්නා විතරමයි... බිසව එහෙම කිවුවා.

“හොදයි බිසවුන් වහන්ස, මම සියලුම රහස් රකින්නම්.  මා හට පවසනු මැනවි.  කියලා අන්දරේ රජ බිසවට කිවුවා.

“මට ආසයි අන්දරේ කුරක්කන් පිට්ටුත් එක්ක තිත්තයන් මැල්ලුමක් කන්න.  උඹට පුළුවන්නේ ඇඹේනියට කියලා මට ටිකක් හදවලා දෙන්න.  අග බිසව ඇහුවා.

“අපොයි ඕක සුළු දෙයක්නේ.  මම හදවලා ගෙනැත් දෙන්නම්....අන්දරේ කිව්වා.

රජවාසලින් එළියට ආපු අන්දරේ ගමේ තිබුණ හැම ගෙදරකටම ගියා.  

“අපේ රජ්ජුරුවන් වහන්සේගේ බිසවුන් වහන්සේට කුරක්කන් පිට්ටුයි, තිත්තයන් මැල්ලුමකුයි කන්න ආස හිතිලා.  තම තමන්ට හැකි ආකාරයට කුරක්කන් පිට්ටුයි, තිත්තයන් මැල්ලුමකුයි හදාගෙන කද බැදගෙන හෙට දවල්ට ආවොත් හොදයි.....අන්දරේ හැමෝටම පණිවුඩේ කිවුවා.  ආයේ ඉතිං රජ නියෝගයක් කිසිම කෙනෙක් කඩන්නේ නැහැනේ.  ඇයි ඉතිං රාජ උදහසට ලක්වෙනවා නොවැ.  කොයිතරම්ම වැඩ තිබුනත් පහුවදා ඒ හැමදේම පැත්තකට දාලා කුරක්කන් පිට්ටුයි, තිත්තයන් මැල්ලුමයි හදන්න ගත්තා.

ඉතිං ඔන්න එදා රජ තුමායි දේවියයි සදලු තලේ කතා බහ කරමින් ඉන්නකොට රජමාලිගාවේ ප්‍රධාන දොරටුව පැත්තෙන් ලොකු ගාලගෝට්ටියක හඩක් ඇහුනා.  බැලින්නම් විශාල පිරිසක් දොරටුව ලග රැස් වෙලා ඉන්නවා.  හැම කෙනාගෙම කරේ බරට බරේ දන් කදක්.  දන් කදවල් තියාගත්තු මිනිස්සු වැල නොකැඩි රජවාසල පැත්තට එනවා.  

රජ්ජුරුවන්ට හරිම පුදුමයි මේ වැඩේට. මේ තරම් පුද පඩුරු අරන් එන්න තරම් කාරණාවක් ගැන රජතුමා කල්පනා කලා. එහෙම හේතුවක් එතුමාට නිකමටවත් මතක් වෙන්නේම නැහැ.  රජතුමා සේවකයෙකු යැවුවා විස්තර දැනගෙන එන්න කියලා.  ටික වෙලාවකින් රජු ලගට පැමිණි සේවකයා නමස්කාර කරලා මේ විදියට කිවුවා.

“අවසර දේවයන් වහන්ස, බිසවුන් වහන්සේට කන්න ආසයි කී කුරක්කන්  පිට්ටුයි, තිත්තයන් මැල්ලුමයි කද බැදගෙනයි මිනිස්සු ඇවිත් තියෙන්නේ.....

රජු ලග හිටපු බිසව ලැජ්ජාවෙන් මුහුණ රතු කරගත්තා.  බිසවගෙන් විස්තර දැනගත් රජතුමා මේකත් මේ අන්දරේගේ විහිළුවක්ම බව තේරුම් ගත්තා. එතුමාටත් හොදටම හිනා වෙච්ච වැඩේට.

Monday, September 26, 2011

ගොනා වගේ...

අන්දරේ ගැන පුංචි ඈයෝ කවුරුත් අහලා තියෙනවානේ.  ඔන්න ඉතිං එදා අන්දරේගේ ගෙදර බොහෝම වැඩ අධික වුන දවසක්.  මොකද දන්නවද අන්දරේට අක්කා කෙනෙක් ඉන්නවානේ. මේ අක්කව එක්කගෙන යන්න මනමාලයෙක් එනවා.  ඒ හින්දයි මේ තරම් කලබල.
හිරු එළිය වැටෙන්නටත් කලින් අවදිවුන අන්දරේගේ ගෙදර ඈයෝ බොහෝම කලබලයෙන් එහාට දුවනවා. මෙහාට දුවනවා. ඒ තරමටම වැඩ. හැමෝම එක එක වැඩ වල යෙදිලා හිටියේ. සමහරු බඩු මුට්ටු පිහදානවා, තවත් අය ගෙමිදුල පිරිසිදු කරනවා, 

මේ හැම කාරණාවකටම වඩා වැදගත් දේ තමා කුස්සිය පැත්ත. අහල පහල ගෙවල්වල නැන්දලා අක්කලා නංගිලා ඇවිත් උදව්වට. කුස්සිය පිරිලා.  හැමෝම කම්මැලි කමක් නැතිව බොහෝම කඩිසරව වැඩ ටික කරගෙන යනවා.  මේ අයගෙන් සමහරක් රෑ හරි නින්දකුත් නැතිවම වැඩ කරනවා.  

අන්දරේ තාම ඉතිං පුංචි කොලු ගැටයෙක්නේ .  එයාට මේ වෙන දේවල් ගැන හරිම පුදුමයි.  මොකද ඉතිං වෙනදට මේ තරම් කලබලයක් දකින්න ලැබෙන්නේ නැහැනේ. අන්දරේ හෙමින් හෙමින් ගියා කුස්සිය පැත්තට.  අන්දරේව දැකපු ගමන්ම අම්මා පුතා ලගට දුවගෙන ආවා.  

“පේනවා නේද පුතේ? අද ගෙදරට අමුත්තෝ එනවනේ.  ඉතිං වෙනදා වගේ හිතුවක්කාර වැඩ කරන්න හිතන්න වත් එපා හරිද ? අනික තමයි ගෙදරට එන අයට විහිළු කරන්න හෙම යනවා නෙමෙයි.  තේරුණාද???? එහෙම වුනොත් අපටමනේ ලැජ්ජාව.  උඹ උඹේ පාඩුවේ ගොනා වගේ හිටපන් මයේ පුතේ හරිද????
අම්මා එහෙම පුතාට කියලා දුන්නා.

අන්දරෙත් හොදයි අම්මා මම අම්මා කියපු විදියටම ඉන්නම්කෝ.....කියලා ඔහු කිව්වා.  

ටිකක් දහවල් වේගන එනකොට ඔන්න ලස්සන පාට පාට ඇදුම් අදගත්තු නෑදෑයින්ගෙන් ගෙදර පිරිලා.  තවත් ටික වෙලාවක් යනකොට මනමාලයාගේ නෑදෑයිනුත් ආවා.  මගුල් ගෙදරට ආපු හැමදෙනාටම ආයුබෝවන් කියලා එයාලට රස කැවිලි වලින් සංග්‍රහ කරන්න පටන් ගත්තා.  

ටිකක් වෙලා යනකොට මගුල් ගෙදර එක පැත්තකින් මහා කලබලයක් ඇහෙන්න වුනා.  එක පාරටම මේස පුටු පෙරලෙන හඩක් ඇහුනා.  මගුල් මඩුවේ පැත්තක් ගැලවුනා.  

ඕං ඕං අල්ලපල්ලා. ලනුවක් ගෙනෙල්ලා බදින්න ඔන්න ඔය විදියට කියමින් මගුල් ගෙදර අය කෑගහන්න පටන් ගත්තා.  මේ සද්දේ ඇහුන අන්දරේගේ අම්මා දුවගෙන ආවා.

“අපොයි දෙයියනේ මේ මොකද මේ..මේ අපේ අන්දරේ නේ...අම්මාට හයියෙන්ම කියවුනා.

මොකද දන්නවද වෙලා තියෙන්නේ. අන්දරේ ගොනෙක් කුලප්පු වෙලා දගලනවා වගේ තප්පුලන්නයි, මිනිසුන්ට අනින්නයි පටන් ගත්තා.  මනමාලයාගේ පැත්තේ උදවිය හිතුවේ අන්දරේට පිස්සු හැදිලා කියලයි.  

“මොනවද දරුවෝ උඹට වෙලා තියෙන්නේ.  අන්දරේගේ අම්මා බොහෝම කේන්තියෙන් ඇහුවා.  
“අම්මනේ මට ගොනා වගේ ඉන්න කිවුවේ.  ඉතිං මං මේ ඒ විදියට තමා ඉන්නේ. අන්දරේ කාරණාව පැහැදිලි කරලා දුන්නා.  

මොනවයින් මොනවා වුනත් කාරණාව දැනගත් කවුරුත් හිනාව නවත්ත ගත්තේ නම් බොහෝම අමාරුවෙන්. 
 

Saturday, September 24, 2011

පේලි පේලි....

පේලි පේලි පේලි සැදී ඇත්තු ඇදෙනවා
පේලි පේලි පේලි සැදී නැට්ටුවෝ එනවා...//
බෝල බෝල බෝල වගේ එළි කැරකෙනවා
පාර දිගේ විහාරයට පෙරහැර යනවා
අපේ ගමේ විහාරයට පෙරහැර යනවා....

සුදු පිරුවට ලෙද ළමාසාරි ඇද....//
චූටි චූටි චූටි ළමයි කොඩි ගෙනයනවා
සාධු සාධු සාධු කියා පෙරහැර යනවා
පේලි පේලි.....

සේසත් අරගෙන තෙල්මල් ඉසගෙන...//
චූටි චූටි චූටි ළමයි කොඩි ගෙනියනවා
සාදු සාදු සාදු කියා පෙරහැර යනවා
පේලි පේලි......//

ඵුස්ස දේව යෝධයා 10

ඵුස්ස දේව යෝදයාගේ උපන් ගම සිතුල් පව්ව විහාරය අසල ගොඩිගමුව නම් ගමයි.  ඔහුගේ පියාගේ නම උත්පලය. ඔහු ධනවත් වංශවත් පුද්ගලයෙකි.  

එක් දවසක් ගමේ පන්සලේ බෝධිය අසල සෙල්ලම් කරමින් සිටි ඵුස්සදේව එතැන තිබුණ හක්ගෙඩියක් දැක එය අතට ගෙන පිම්බා. එයින් නැගුණ හඩ බොහෝ ඈතට ඇසුනේ විශාල ගෝෂාවක් ලෙසයි.  ළමුන් , මිනිසුන් වගේම වනයේ විසූ සත්වයෝත් ඒ මහා හඩින් බියපත් වුනා.  මේ සිද්ධිය නිසා ඔහු කා අතරත් හුගාක් ප්‍රසිද්ධියට පත් වුණා.  එපමණක් නෙමෙයි.  ඵුස්සදේව දුන්නෙන් විදින්නත් මහා හපනෙක් බවයි ඉතිහාසය කියන්නේ.

විජිතපුර සටනේදී ඔහු සක්ගෙඩිය පිඹිමින් එළාර රජුගේ සේනාව බිය වැද්දුවා.

එළාර රජුගේ මරණින් පසුව එතුමාගේ බෑනා භල්ලුක දුටුගැමුණු රජු හා සටනට ආවා.  ඔහු දුටුගැමුණු රජුගේ මුවට දුන්නෙන් විදින්න උත්සාහ කර තියෙනවා.  නමුත් එය අසාර්ථක වුනා. ඵුස්සදේව භල්ලුකගේ කටට දුන්නෙන් විද්දා.  

මේ විජිත පුර පැවති සටනින් පස්සේ ඔහුත් පිං දහම් බොහෝමයක් කොට ජීවත් වුනා

ඔන්න ඉතිං ඒ එක්කම දසමහා යෝධයින් ගැන කියපු කතාව එයින් ඉවර වුනා

Monday, September 19, 2011

වේළුසුමන යෝධයා 9

ගිරි ජනපදයේ කුඩුම්බියන ගමේ නායකයා තමයි වසභ.  ඔහුගේ පුතාගේ නම වේළුසුමන.  වසභගේ මිතුරකු වන සුමන ජනපද පාලකයා ලග අශ්වයෙකු හිටියා.  මේ අශ්වයා මෙල්ල කරන්නට කාවටත් බැහැ.  වේළුසුමන ඌව මෙල්ල කර උගේ පිටේ නැගී වේගයෙන් ගමන් කලා.  මේ සිද්ධිය දුටු සුමන,  “පුතේ උඹ නම් කාවන්තිස්ස රජතුමාගේ සේවයට තමයි සුදුසු.....කියා එහි යැව්වා.


විහාර මහා දේවියට දොළදුකක් ඇති වුණා. එළාර රජුගේ යෝධයින්ගේ ප්‍රධානියා ගේ හිස සිදි කඩුව මත හිද තිසාවැවෙන් දිය නාන්නට.  අනුරාධපුරයට ගිය වේඵසුමන යෝධයා එළාරගේ රණමද්දව අසු උපායකින් රැගෙන එලාරගේ අගනුවරට  පැමිණ,


“කාවන්තිස්ස රජුගේ වේළුසුමන යෝධයා මමයි.  හැකිනම් අල්ලගනු. කියමින් කෑ ගැහුවා.  
එළාරගේ මහා යෝධයා වූ නන්ද සාරතී වේළුසුමන පසුපස පැන්නුවත් වේළුසුමන ඔහුගේ හිස කපා ඒ හිසත් රැගෙන කඩුවත් සමගින් විහාර මහා දේවිය හමුවුනා.


එළාර රජුට විරුද්ධ සටනේදී අති මහත් සේවයක් කල වේළුසුමන දුටුගැමුණු රජුට සිටි හොදස අසරුවා බව ජනප්‍රවාදයේ කියැවෙනවා.

Sunday, September 18, 2011

අන්දරේ සීනි කෑ වගයි

ඔන්න ඉතිං ඉස්සර කාලේ හිටපු කවටයෙක්නේ අන්දරේ කියන්නේ.  එයා තමයි රජ වාසල කවටයා. රජතුමාගේ හිතට කරදර වුන වෙලාවට ඒ දුක දුරුවෙන්න කියලා විහිළුවක් කරලා කවියක් කියන එක අන්දරේගේ රාජකාරියේ කොටසක්.  

ඉතිං ඔන්න දවසක් අන්දරේ  රජවාසලට ගිහින් රජතුමාට වැදලා පසෙකට වෙලා හිටියා.  රජතුමා වෙනදා වගේ අන්දරේ එක්ක සතුටු සාමීචියේ යෙදෙන්න පටන් ගත්තා.  රජගෙදර මිදුලේ මුරුසි රටෙන් ගෙනාපු සීනි ගොඩක් තිබුණා.  ඒක දැකපු අන්දරේ “දේවයන් වහන්ස, අර සුදු පාට මොනවාදැයි ඇසුවා.  රජතුමා කිවුවා “ආාාා ඒ රට පස් නොවැ.....කියලා...

ඉතිං අන්දරේ පහුවෙනිදා රාජ සභාවට එනකොට පුතාට කිව්වා “ මම රජසභාවට ගිහින් රජ්ජුරුවෝ එක්ක කතා කර කර ඉන්නකොට උඹ අඩාගෙන වරෙන්. ඇවිත් ආච්චි මැරුණයි කියලා මට කියාපන්.  ඉන්පස්සේ කරන්න ඕනෑ දේ මම කියන්නම්. පුතා ඉතිං ඔන්න පියා කියපු දේ ඒ විදියටම පිළිගත්තා.

පහුවෙනිදා අන්දරේ පුරුදු විදියට රජතුමා එක්ක සතුටු සාමීචි කතා බහක යෙදුනා.  ඈත ඉදන්ම පුතා අන්දරේ හිටි තැනට ආවේ අඩාගෙන.  මේ දර්ශනයෙන් රජතුමාගෙ හිතෙත් කුතුහලයක් ඇති වුනා.  
“මොකද පුතා අඩන්නේ? 
“අනේ තාත්තේ...තාත්තේ...ආච්චි මළා
“අනේ පුතේ , ඉතිං අපි ඉදලා ඕන්නෑ...උන්දෑ නැතිව. වරෙන් පුතේ වරෙන්. මේ රටපස් වත් කාලා මැරෙන්න. කියලා අන්දරේ පුතා එක්ක සීනි ගොඩ තිබූ තැනට ගිහින් පෙරළි පෙරළි සීනි කන්න වුණා.
රටපස් කා මිය යන බව කියමින් සීනි කන පිය පුතු දෙදෙනාගේ ප්‍රයෝගය තේරුම් ගත් රජතුමාටද සිනා පහළ වුනා. අන්දරේ ඇසූ පැනයට තමා දුන් පිළිතුරෙන් ඔහු ප්‍රයෝජන ගන්නා ආකාරය රජතුමාට පෙනී ගියා.  ඒත් රජතුමාට දැන් කරන්න දෙයක් නැහැ. අන්දරේගේ ප්‍රයෝගයට රජතුමා අසුවුනා. ඉතිං කාලයත් එක්ක මේ කතාව පදනම් කරගෙන අන්දරේ සීනි කෑවා වගෙයි කියලා පිරුළකුත් එකතු වුනා.

Saturday, September 17, 2011

මලක් නෙලා ගෙනැවිත්

මලක් නෙලා ගෙනැවිත් බුදු සාදුට පිදුවා
ඒ දැක බුදු සාදු මදෙස හෙමිහිට බැලුවා
බොරුවක් නොව මේ කියන්නේ ඇත්තම ඇත්තයි
මේ මල මම නෙලාගත්තෙ මගේ මල් වත්තෙන්

නොදැනෙන නොහැගෙන හින්දයි මේ විමසන්නේ
ඉතිං තවම ඇයි එබ මා දැක හිනැහෙන්නේ
ගිය ඉරිදා ඉස්කෝලේ එන්න බැරි වුනේ
ලොකු අම්මා එක්කල මම නුවර ගියානේ

සමාවෙන්න හිමියනි බොරු නොකියමි සිතකින්
නෙලාගත්තේ මේ මල නංගිගේ මල් වත්තෙන්
අමුතු හිනාවකි හිමි ඔබ මා දෙස හෙලුවේ
මා ගැන හොද හැටි දන්නා බවකි කියන්නේ

දරුවන් වෙත දෙනෙත් හෙලා ඔබ වැඩ ඉන්නේ
හොර බොරු කිසිදින නොකරනු මැනවි ළමයිනේ

Tuesday, September 13, 2011

ථේරපුත්තාභය යෝධයා 8

රුහුණු රටේ කොටගල ගම සමීපයේ ඇති ගමක් තමයි කත්ති ග්‍රාම කියන්නේ.  රෝහණ නම් ප්‍රභූවරයෙක් මේ ගමේ වාසය කලා.
ඔහුට අභය නමින් පුතෙකු සිටියා.  අවුරුදු දොළහේදී මේ 
අභයට ඇතෙකුගේ කාය ශක්තිය තිබුණේලු.  

ඔහුට විශාල යකඩ පොල්ලකින් ගසේ කදට ගසා බිම හෙලීමට හැකියාවක් තිබුණා.  පොල්, තල්, ආදී ගස්වල කදට ගසා මෙසේ බිම හෙලුවා.
රෝහණ ප්‍රභූවරයා සුමන භික්ෂුවගෙන් බණ අසා මහණ වූ පසුව අභයටද මහණ වෙන්නට සිතුනා.  පසුව ඔහු ථේරපුත්තාභය නමින් මහණ වුණා.

ගෝඨයිම්බරගේ අහඹු මුණ ගැසීම නිසා ගෝඨයිම්බර යෝධයා ථේරපුත්තාභය සාමනේරයන් වහන්සේ ගැන රජතුමාට දැන්වූවා. රජු 
රාජ සේවයට පැමිණෙන්නැයි උන්වහන්සේගෙන් කිහිප වාරයක්ම ඉල්ලා සිටියද ඒවා කාරුණිකව ප්‍රතික්ෂේප කලා.  

එනමුත් රට ජාතිය ආගම ගැන සිතා ඔහු සිවුරු හැර රාජ සේවයට බැදුනා.
විජිත පුර පැවති සටනේදී විශාල යගදාවකින් පහර දෙමින් ඔහු සටන් කලා.  සටනින් පසුව සියලුම තනතුරු හා තෑගි බෝග ප්‍රතික්ෂේප කල ථේරපුත්තාභය යෝධයා නැවත මහණ වී රහත් බවට පත්වුණා.

මහා භරණ යෝධයා 7

ඔහුගේ ගමේ නම කපුකදුරු ගමයි. ඔහුට භරණ යයි නම් තබන ලද්දේ ඔහුගේ උපන් දිනයේම පියාණන්ට නිධානයක් ලැබුණු නිසා යයි කියති.  හිතාගන්න බැරි තරමේ කායශක්තියක් ඉතා කුඩා කාලයේ සිටම මේ භරණ නැත්නම් මහා භරණට තිබුණා.  

සාවුන් පසුපස්සේ හඹා ගොස් පයින් ගසා මරා දැමීමට ඔහුට තිබුණේ අසීමිත හැකියාවක්.  මුවන්ගේ දෙකකුලින් ඔසවා පොළොවේ ගසන්නට තරම් ඔහු හපනෙක් වුණා.  ගමේ තිබුණ කුඹුරු වල් ඌරන්ගෙන් බේරා ගැනීම හිතන තරම් පහසු කටයුත්තක් නෙමෙයි.  අන්තිමේදී මහා භරණ යෝධයා තනිවම රැකගෙන සිට එන එන ඌරන් කරකවමින් පොළවේ ගසා මරන්නට වුණා.

රජතුමා ඔහුගේ කායශක්තිය කොපමණද කියා විමසා බලන්නට සිතුවා.  හීලෑ නොවූ දරුණු අශ්වයෙකු පෙන්වා ඌ බැද දමන්නැයි මහා භරණට අණ කලා.  අසු ඔහු ලංවෙත්ම ඉක්මනින් දිව ගියා.  මහා භරණ අශ්වයා පසුපස පන්නා ඌ මෙල්ල කොට ගස් බැන්දා.

විජිත පුර සටනේදී මහා භරණගෙන් වුන සේවය අතිමහත්.  සටනේදී ඔහු එළාර රජුගේ අශ්වයන් මරා දැම්මා.  ඔහුගේ අශ්ව ගාල විනාශ කර දැමුවා.  රජුගේ ජයග්‍රහණය පිටුපස මහා භරණද සුවිශේෂි ස්ථානයක් ගනු ලැබුවා.

Wednesday, September 7, 2011

කොටි බළල් වෛරය

 


අපේ ගෙදර ඉන්න බළලාට පුංචි දරුවන් බොහෝම ආදරෙයි.  බළලා කියන්නේ අපි කාගෙත් සුරතලෙක්නේ නේද?  ඉතින් ඔන්න ඉස්සර කාලේ මිනිසුන් ජීවත් වෙලා තියෙන්නේ  සතුන් දඩයම් කරලනේ.  ආන්න ඒ කාලේ තමයි බළලා කැලයේ වාසය කරන එක අතහැරලා මිනිස් වාසයක් තෝරා ගත්තේ.

මිනිස්සුන්ගේ ප්‍රධානම හතුරෙක් තමයි කොටියා කියන්නේ.  ඒ නිසාමලු මිනිස්සුන්ගේ උදව්වට බළලා ඇවිත් තියෙන්නේ.  ඒකට හේතුවක් තියෙනවා.  බළලාට කැලේ එපාවුනෙත් කොටියෙක් නිසා.  ඒ වුනාට ඉස්සර නම් මේ දෙන්නා බොහෝම ගජයාළුවෝ.  හරිම හිතවත් කමක් දෙන්නාගේ තිබිලා තියෙන්නේ. ඔය බළලාට දඩයම් කරන්න ඉගැන්නුවේ කොටියාය කියනවනේ.  මීයෙක් හරි වෙනත් පුංචි සතෙක් හරි දඩයම් කරන්න බළලා කුරුමානම් අල්ලනවා පුංචි ඔයාලා දැකලා ඇතිනේ.  එතකොට බළල් රාළ හැංගිලා ඉදලා වලිගෙ එහෙම නටවලා ඉලක්කයටම සතාගේ ඇගට පනිනවා.  කොටියා දඩයමේ යන්නෙත් ඒ විදියටමයි.

 ඉතින් මේ දෙන්නා හොද යාළුවෝ නිසා බළලා දන්න දේකුත් කොටියාට ඉගෙනගන්න ඕන වුණා.  ඒ නිසා කොටියා බළලාට කිවුවා එයාට ගස් නගින්න උගන්වන්නය කියලා.  කොයිතරම් හොද යාළුවෙක් උනත් කොටියා කෙළෙහිගුණ නොදන්න සතෙක් විත්තිය බළලා දැනගෙන හිටියා.  ගස් නැගීම කොටියාට ඉගැන්නුවාට පස්සේ කවදාම හරි දවසක තමන්ටත් කොටියා අනතුරක් කරන බව බළල්රාල දැනගෙන හිටියා. 
 
ඒ උනත් ඉතින් යාළුවා නිසා බැහැ කියන්නත් බැහැනේ.  බළලා ඉතින් කැමැත්ත පල කරලා කොටියා එක්ක ලොකු ගහක් ලගට ගියා.  ගස් නගින හැටි උගන්වන්න බළලා මුලින්ම ගහට නැග්ගා.  දැන් ගහෙන් බහින හැටි උගන්වන්න කියලා කොටියා කිවුවා
. 
“අනේ යාළුවේ ගහෙන් බහින්නේ මෙන්න මෙහෙමයි කියලා බළලා ගහෙන් බිමට පැන්නා.  

ඉතින් කොටියාට උනේ හරිම අකරතැබ්බයක්නේ.  ඒ නිසා කොටියාට හුගාක් කේන්ති ගියා.  ගහඋඩ ඉදගෙනම එයා බළලාට කතා කරලා කිවුවා

“උඹ මට කරපු වංචාවට මම උඹේ පරම්පරාවම නැති කරනවා කියලා......

බළලා හිනාවෙලා කිව්වා  “අනේ කොටියෝ ඔයා මගේ පරම්පරාවෙන් පළිගන්න හිතුවා මදි. උඹට මගේ අසූචිවත් පෙන්නන්නේ නැහැ කියලා. මේ වචන වලින් තවත් කොටියාට කේන්ති ගියා. ඉතින් වෙන කරන්න දෙයක් නැති හින්දා කොටියා ගහෙන් බිමට පැන්නා.  බිමට පැන්න කොටියාගේ අතපය කැඩිලා වේදනාවෙන් මැරිලා ගියා.

බළල් රාළ එදා කැලයෙන් දුවලා ඇවිත් නතර වුණේ කොටියාගේ හතුරා වන මිනිහාගේ ගෙදර.  එදා ඉදලා මිනිස්සුන්ට උදව් උපකාර කරමින් බළලා ගමේ ගෙවල් වල ජීවත් වෙන්න පටන් ගත්තා.  ඒත් හදිසියකදී ගහකට නැග්ගොත් බිමට ගහ දිගේ බහින්නේ නැතිව පනින්නේ කොටියා ගහෙන් බහින හැටි ඉගෙන ගනියි කියලා. මේ සිද්ධිය වෙලා දැන් අවුරුදු දහස් ගණනක් ගතවුනත් බළලා එදා කොටියාට කියපු වචනේ තවමත් කඩ කලේ නැහැ. වටපිට බලලා අත්දෙකෙන් පොළව හාරලා එයට මළපහ කරලා පස් වලින්  එය වසා දමන්නෙත් කොටියාට ඒක නොපෙනෙන්නයි.  පරපුරෙන් පරපුරට මේ පුරුද්ද අදටත් පැවතෙනවා.  අපිටත් හොද ආදර්ශයක් මේකෙන් ගන්න පුළුවන්.  කරන්න බැරි දේවල් නොකියා ඉන්නත් පුළුවන් දේවල් පමණක් කියන්නත්.

සුරනිමල යෝධයා 6

සංඝ පදිංචි වෙලා හිටියේ කොටසර, කීලවැව කඩවිට නම් ගමේ. ඔහු බොහෝම ධනවත් කෙනෙක්.  ඒ වගේම 
දරුවන් සත් දෙනෙකුගේ පියෙක්.  සංඝගේ දරුවන් හත්දෙනාගේ බඩපිස්සා තමයි
නිමල කියන්නේ.

ඉතින් මේ කියන වකවානුවේදී එළාර රජතුමාගෙන් මාගම්පුරයට නිතර නිතර කරදර තිබුණා.  ඒ 
නිසාම මහවැලි ගග අසබඩ කසාතොට සිංහලයන්ගේ
හමුදාවක් නිරන්තරයෙන්ම
මුර කිරීමේ කාර්යයට යොදවා තිබුණා.
මේ ඉසව්ව බාරව හිටියේ දීඝාභය කුමාරයා.

දවසක් මේ නිමල දීඝාභය කුමාරයා හමුවෙන්නට
ගියා.  “නුඹ කවදාද ගෙදරින් ආවේ.....
“අද උදේමයි.......
“මොනවා වෙන්ට බැහැ????? ඇරත් මෙච්චර දුරක්?
“ඔව්....නිමල පිළිතුරු දුන්නා.
ඉතින් නිමලගේ කතාව සැබෑවක්දැයි පරීක්ෂා කරන්නට දීඝාභය කුමාරයා උපායක් යෙදුවා.
“දරුවා මගේ මිත්‍රයෙක් ඉන්නවා කුණ්ඩල කියලා
මිහින්තලේ ද්වාර මණ්ඩල කියන ගමේ
නුඹට පුළුවන්ද එයාට ලියුමක් දීලා එන්ට....

ඉතින් නිමල වහාම කුණ්ඩල හමුවුණා.
“කවද්ද එන්ට පිටත් වුණේ? ඔහු ඇසුවා.
“අද උදෙන්මයි??? මේ පිළිතුරෙන් බමුණා පුදුමයට
පත්වුණා.  “මෙපමණ දුරක්??????
“එහෙනම් ගිහින් නාලා එන්ට කෑම ටිකක් කන්ට...

නිමල මිහින්තලේ වැව තියෙන තැන දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා ඔහු අනුරාධපුරයට ගොස් 
තිසා වැවෙන් දිය නාගෙන ජය ශ්‍රී මහා බෝධියත් 
වැදපුදා ගෙන ආපසු ආවා.
කුණ්ඩල ඔහු ගිය ගමන් අසා විමතියට පත් වී
දුටුගැමුණු රජුට ඔහුව බාර දුන්නා.
ඒ වනවිට නිමලගේ වයස කීයද දන්නවද?
අවුරුදු දොළහයි.

දුටුගැමුණු රජතුමා මසුරන් තිස්දහසක් වටිනා
බදුනක් හැදුවා. ඉන්පසුව කහවනු අමුණු 
තුනක් රැස්කර එහි බදුන තැබුවා.  රා දහසය
නැළියක් බදුනට පිරවූ රජතුමා “ මෙය බොන්නැයි
හැමටම අභියෝග කලා.  

එහෙත් කිසිකෙනෙක් මේ අභියෝගය බාර ගත්තේ නැහැ.  හැමෝම පසුබාන්නට වුණා. නමුත්
නිමල එය බිව්වා.  එදා සිට ඔහු
සුරනිමල වුණා.

විජිත පුර සටනේදී ගැමුණු රජුට මහත් සේවයක් කල සුරනිමල යෝධයා සටනින් පස්සේ 
බොහෝම පින් දහම් කරමින් කාලය ගත කලා.


 

Tuesday, September 6, 2011

චූටි කුරුල්ලනි...

චූටි කුරුල්ලනි චූටි බටිත්තනි
පියාසලා අහසේ
රංචු ගැසී පියඹන්න ඉතිං අර 
ලස්සන ආකාසේ
කන්ද උඩින් අර
ලස්සන හිරු නැග 
ලොවම අවදි කරනා
කුරුළු හඩින් මුළු ලොවම අවදි කර
දවස උදා වෙනවා......

චූටි කුරුල්ලනි.......
කීචි බීචි ගා චූටි කුරුල්ලෝ
චූටි ගීත ගයතෙයි
ගීත ගයාලා චූටි කුරුල්ලෝ
වන්නමකුත් නටතෙයි
ගීත ගයාලා වන්නම් නටලා
ලොවම අවදි කරතෙයි
චූටි බබාලා ඒවා බලාලා
සතුටු සිතින් නැලවෙයි
චූටි කුරුල්ලනි......

ගායනය . ප්‍රියංගා වීරසේකර

Monday, September 5, 2011

ගෝඨයිම්බර යෝධයා 05

නිසෙල්විටිය ගම පිහිටියේ ගිරි ජනපදයේ.  මේ ගමේ හිටියා මහානාග කියලා පුද්ගලයෙක්.
ඔහුට හිටියේ පුත්තුම හත්දෙනෙක්.  මේ හත් දෙනාගෙන් බාලම පුතා ඉතාම මිටියි.  ඒ නිසා 
ඔහුගේ අනෙක් සොයුරන්ගේ විහිළු තහළු වලට පවා ලක්වෙන්නට
ඔහුට සිදුවුණා.  උස ප්‍රමාණයෙන් අඩු පුද්ගලයෙක් වුනත්
කාය ශක්තිය අතින් නම් ‍ඔහු අනෙක් සය දෙනාම අභිබවා යන්නට
සමත් වුණා.  ඒ වුණාට ඔහුගේ එක් දුබල කමක් තිබුණා.  
මොකක්ද දන්නවද ඔහු නිකරුනේ කාලය ගතකරන්න තමයි
හුගක්ම කැමති.  ඔහුට තිබුණේ අලස ගතිගුණ.

එක දවසක් වැඩිමහල් සොහොයුරන් උදු වැපීරීම සදහා හේනක කොටසක් කොටා ඉතිරිය
ගෝඨට කරන්න කියලා පැවරුවා.  ඉතින් ඔහු ගස් උදුරා
පොළව සකසා ඉඩම වටා වැටක් බැන්දා.  ඔහු ගැන දැනගත් කාවන්තිස්ස රජු
ඔහුට තමා හමුවට එන්නැයි පණිවුඩයක් යැවුවා.

කප්පකන්දර නම් පන්සල අසලදී ගෝඨට තද කුසගින්නක් දැනෙන්නට 
පටන් ගත්තා.  පන්සලෙන් අවසර නොගෙනම පන්සල් වත්තේ තිබුණ
පොල්ගස් කිහිපයකින් ඇති තරම් කුරුම්බා කනු දුටුව පන්සලේ වාසය කල ථේරපුත්තාභය
සාමනේර හිමි මොහුට බැණ වැදුනා.  ගෝඨගේ කකුලේ මහපටැගිල්ලෙන් අල්ලා පන්සල වටේටම
ඇදගෙන ගියා.  ගෝඨයිම්බරගේත් ථේරපුත්තාභය හිමිගේත් පළමු හමුවීම සිද්ධවුනේ ඒ විදියටයි.
පසුව ථේරපුත්තාභය හිමි සිවුරු හැර , දසමහා යෝධයින්ගෙන් එක් අයෙක් බවට පත්වුණා.

විජිත පුර සටනේදී ගෝඨයිම්බර යෝධයා පොල් ගසක් උගුලුවාගෙන එයින් තම සතුරන්ට
පහර පිට පහර එල්ල කලා.  යුද්ධයෙන් පසුව ගෝඨයිම්බරට රජුගෙන් විශාල සම්පත් ප්‍රමාණයක් 
ලැබුණා.  පසු කාලයකදී ගෝඨයිම්බර යෝධයාගේ බිරිදට රිටිගල ජයසේන නම් යක්ෂයා 
ආරූඩ වුණා.  ඉන් කෝපයට පත්වුණ ගොඨයිම්බර ඔහුට සටනට අභියෝග කලා.
සටන පැවැත්වුණේ තම්බපන්නී සොහොන් පිටියේ.

ගෝඨයිම්බර අහසට පැන වම් කකුලේ සුළැගිල්ලෙන් ගැසූ පහරින් රිටිගල ජයසේනගේ හිස
කදින් වෙන්වී බිමට විසි වුණා.  ඉන් සතුටට පත්වූ ඔහු දින ගණනක් රා බී මත්ව
රජු හමුවීමට ගියා.  ඔහු රා බී ඇතිබව දැනගත් රජතුමා තමා හමුවන්නට ඔහුට ඉඩ දුන්නේ නැහැ.
එයින් කළකිරීමට පත්වුණ ගෝඨයිම්බර යෝධයා නාගදීපයට ගොස් සේනාසනයක පැවිදිව
රහත් බව ලබාගත්තා.

මහා සෝන යෝධයා 04

කරවිට නම් ගමේ තිස්ස කියන ගම් ප්‍රධානියාගේ පුතෙකු තමයි මේ මහා සෝන කියන්නේ. ඔහු පවුලේ අටවෙනියා.  අවුරුදු හතක් විතර වෙනකොට මේ මහා සෝනත් නන්දිමිත්‍ර වගේම බොහෝම දැඩි කාය ශක්තියක් පෙන්නුම් කල දරුවෙක් වුණා.

ඔහුට වඩා උසින් වැඩි තල් පැල පවා උගුලා දමන්නට හැකියාවක් තිබූ අයෙක් තමා මහාසෝන කියන්නේ.  තරුණ වියට එළැඹෙන විට පොල් ගස්, තල් ගස් වලට තම බාහුවෙන් ඇන පෙරළා දමන්නට තරම් ඔහු සමතෙක් වුනේලු.

කාවන්තිස්ස රජතුමාට ඔහු ගැන සැලවීමෙන් පසුව දෙමාපියන්ට බොහෝ තෑගි බෝග දී මහා සෝන රජවාසලට ගෙන්වා ගත්තා.

විජිතපුර සටනේදී බාහුවෙන් ඇන පව්ර බිද, තල් ගසක් උදුරාගෙන එයින් සතුරාට පහර දුන්නා.  ඔහු මෙසේ මව් රටට විශාල සේවයක් කලා.
 

ඛඤ්ජදේව යෝධයා 03

ගිරි ජනපදයේ පිහිටා ඇති මී ඔය තමයි මොහුගේ උපන් ගම වුනේ.  එහි වාසය කළ අභය නැමැත්තාගේ පුතා තමයි දේව හෙවත් ඛඤ්ජදේව කියන්නේ.

මොහුගේ එක කකුලක් කොරයි.  ඉතින් ඔහු ඇවිදින්නේ කොර ගසමින්.  කොර ගසමින් ඇවිද්දත් මොහු දුවන්න, වගේම පනින්නත් බොහෝම හපනෙක්.  දේව කලේ වල් මී හරක් කකුල් දෙකෙන් ඔසවා හිස වට කරකවා ඈතට විසි කිරීමයි.

ඔහු කඩු දුණු ශිල්පයටත් බොහෝම දක්ෂයෙක්.  රජතුමාගේ සේනාවට සූරයෝ, දක්ෂයෝ, වගේම යෝධයෝ සොයාගෙන ගම් දනව් සිසාරා යද්දී දේව ගැනත් රජතුමාට දැනගන්නට ලැබුණා.  ඉන්පසුව රජතුමා මොහුව රාජ සේවයට බදවා ගත්තේ දෙමාපියන්ට තෑගි බෝග එහෙමත් දීලයි.  විජිත පුර සටනේදී ඛඤ්ජදේව යෝධයා සතුරන්ගේ කකුල් දෙකින් අල්ලා හිස වට කරකවා ඈතට විසි කල බවට ඉතිහාසයේ සදහන් වෙනවා.

සටන අවසන් වීමෙන් පස්සේ පින් දහම් කරමින් බොහෝම දැහැමි දිවි පෙවෙතක් ගෙවූ ඛඤ්ජදේව යෝධයා මරණින් පසු දෙව්ලොව උපන් බව ජනප්‍රවාදයේ සදහන් වෙනවා.


Friday, September 2, 2011

ලභියවසභ යෝධයා 2

රුහුණු රටේ විහාරවාපී ගම්මානය බොහෝම ලස්සන ගමක්. ඒවගේම හරිම පිටිසරයි.  ලභියවසභගේ පියාගේ නම තමයි මත්ත කියන්නේ. ඔහු පෙර පින් කළ අයෙක් අයෙක් නිසා බොහෝම රූමත් වෙලා උපන්නා කියලා තමයි කවුරුත් කිවුවේ.

මෙම විහාරවාපී ගම මොනතරම් ලස්සන ගමක් වුනත් ජල හිගය බොහෝම උග්‍රව පැවති ප්‍රදේශයක්.  ගොවිතැනින් ජීවත් වූ ඒ ගම්මානයේ ජනතාව ඒ නිසා බොහෝම පීඩාවට පත් වුණා.  
මේකට පිළියමක් ලෙස වසභ ගමේ තරුණයන් කිහිප දෙනෙක්ම එකතු කරගෙන වැවක් කපන්නට පටන් ගත්තා.  අනෙක් තරුණයන් බොහෝම ඉක්මනින් වෙහෙසට පත්වුනත් ලභියට එසේ වුනේ නැහැ.  ඉතින් ඔහු තනිවම වැව කැපුවා.  විශාල පස් ගොඩවල් ඔහු තනිවම එසෙව්වා.  

වැව තැනීමෙන් පසු විශාල කුඹුරක් ද කරවූ ඔහු ඒ කුඹුරට “වසභෝද කවාර....යැයි නම් තැබුවා.  වැව වසභ යන නමින් නම් කලා.  
ඉතින් මේ වසභගේ හපන්කම් වටහාගත් රජතුමා ඔහුත් රාජ සේවයට බදවා ගත්තා.  ඔහුට කඩු ශිල්ප පුහුණු කරනු ලැබුවේ වේඵසුමනයන් විසිනුයි.



දසමහා යෝධයෝ

අප රට එක්සේසත් කළ දුටුගැමුණු රජතුමා ගැන පුංචි දරුවෝ අහලා ඇති.  ඒ තරමටම මේ චරිතය බොහෝම
ප්‍රසිද්ධයිනේ.  මේ දුටුගැමුණු කුමාරයාගේ
පිය රජතුමා තමයි කාවන්තිස්ස කියන්නේ.
මව විහාර මහා දේවිය. ඔහුගේ සොයුරා තිස්ස කුමාරයා.
ඉතින් මේ ගැමුණු කුමාරයා තමන්ගේ පියා
එක්ක උරණ වෙලා ඔහුට කාන්තාවකගේ 
ඇදුම්  යැවීමෙන් පසුව ඔහු දුටු ගැමුණු බවට පත්වුණා.
 එළාර රජු එක්ක යුධ වැදුනු දුටුගැමුණු රජතුමාට දසමහා යෝධයන්ගෙන් විශාල උදව් උපකාර ලැබුණා. මේ දසමහා යෝධයන් තමයි නන්දිමිත්‍ර යෝධයා, ලභියවසභ යෝධයා,ඛඤ්ජදේව යෝධයා, ථේරපුත්තාභය යෝධයා, මහාභරණ යෝධයා,වේළුසුමන යෝධයා, ඵුස්සදේව යෝධයා, සුරනිමල යෝධයා, ගෝඨයිම්භර යෝධයා, මහා සෝන යෝධයා
 ඔන්න ඉතින් මම දුටුගැමුණු රජතුමාගේ දසමහා යෝධයන් ගැන කියලා දෙන්නයි හදන්නේ...........
නන්දිමිත්‍ර යෝධයා  1

එළාර රජුගේ හමුදාවේ හිටපු මිත්ත සෙන්පතියාගේ නැගනියගේ පුතා තමයි නන්දිමිත්‍ර කියන්නේ. ඔහුගේ 
උපන් ගම අනුරාධපුර කඩදොර නම් ගමයි.

මේ නන්දිමිත්‍ර පුංචි කාලයේ ඉදලම බොහෝම දගයෙක් වුණා.  අනෙක් සමවයසේ දරුවන්ට නොකල හැකි  බොහෝ දේ මොහුට කිරීමට හැකියාවක් තිබුණා.
ඔහුගේ සමහර දග වැඩ නිසා මව්පියන් පවා අපහසු
තාවයට පත්වුණ වෙලාවල් තිබුණා.

දිනක් මේ නන්දිමිත්‍රගේ දගවැඩ ඉවසිය නොහැකි වූ 
ඔහුගේ මව හම් පටියකින් ඔහුව ඇඹරුම් ගලේ බැද තබා, දිය ගෙන එන්නට ගියා.  තමන්ගේ වෙර
යොදා ඇඹරුම් ගලට තබා බැදි හම් පටිය කඩා දැමු නන්දිමිත්‍ර මවගේ පිටුපස දිවගියා.
දිය ගෙන ආපසු ගෙදරට එමින් සිටි මව තම පුතු දැකීමෙන් ඉමහත් පුදුමයට පත් වුණා. දග වැඩ කෙසේ වෙතත් මේ පුංචි පුතුගේ කාය ශක්තිය ගැන මව මහත්සේ සතුටට පත්වුණා.

මේ නන්දිමිත්‍රගේ ගමේ පන්සලේ විශාල උණ පදුරක් තිබුණා.  ඉතින් මේ උණ පදුර හාමුදුරුවන්ට විශාල කරදරයක් වෙලයි තිබුණේ.  ඒ නිසා ගම්වැසියන් එකතු වෙලා මෙය ගලවන්නයි උත්සාහ කලේ.

“මේ තරම් මොනවට මහන්සි වෙනවද අපෙ හාමුදුරුවනේ...කියූ ගැටවර වියේ පසුවූ නන්දිමිත්‍ර මද සිනාවක් පෑවා. 
“මහන්සි නොවූ කොහොමද බොල මේක ගලවන්නේ...හාමුදුරුවෝ නන්දිමිත්‍රගෙන් ඇසුවා.
නන්දිමිත්‍ර ශක්තිමත් ලණුවක් රැගෙන එය උණ පදුරෙහි බැන්දා.  ඉන්පසු එය ඇද්දා. සියල්ලන් පුදුම කරවමින් මෙම පදුර ගැලවී ගියා.
දිනක් මේ නන්දිමිත්‍ර සිය මාමා හමුවෙන්නට අනුරාධපුරයට ගියා.  මේ අවස්ථාවේදී බුදු දහමටත් ජය ශ්‍රී මහා බෝධියටත් එළාර රජුගේ හමුදාවන් කරන විනාශය දැක්කා.  මෙය දුටු ඔහුට විශාල කෝපයක් ඇති වුණා. ඉන්පසු ඔහු දුටුගැමුණු රජ හමුවන්නට ගියා.

එක් දිනෙක දුටු ගැමුණු රජුගේ කණ්ඩුල නම් ඇත් රාජයා මද කිපුණා. ඌ මෙල්ල කරන්නට සමත් කෙනෙකු හිටියේ නැහැ. මේ නන්දිමිත්‍ර ඇතුගේ දළ දෙකින් අල්ලා ඌ දණ ගස්සවා මෙල්ල කරවූයේ සියල්ලන්ගේම විමතිය මැද්දේ.
විජිතපුර පැවති සටනේදී දුටුගැමුණු කුමාරයාට, අති මහත් සේවයක් නන්දිමිත්‍රගෙන් සිදුවුණා.  යුද්ධයෙන් දිනුවාට පසු පුත්තලමේ දැදුරු ඔය අසබඩ ගම්වරය ලැබූ මොහු බොහෝම කාලයක් ජීවත් වුණේ කාගේත් සිත් දිනාගෙන හැමෝටම උදව් උපකාර කරමිනුයි.
 

කොබෙයියාගේ විලාපය

ඔන්න හුගාක් ඉස්සර කාලෙක විශාල වනාන්තරයක් තිබුණා.
මේ වනාන්තරයේ එක එක විදියේ සත්තු හිටියා.
කුරුල්ලෝ පිරිලා......

 උදේ ඉදලා හවස් වෙනකන්ම ඇහුනේ කුරුල්ලන්ගේ
ලස්සන ගී හඩයි.  කොයි කුරුල්ලත් සන්තෝෂෙන්
එහාට මෙහාට ඉගිලුනා.  ඒ වුනාට කොබෙයි අම්මට නම්
එහෙම නිදහසක් තිබුණේ නැහැ.  මොකද දන්නවද කොබෙයි 
අම්මට කුරුලු පැටව් ගොඩයි.  කොබෙයි බබාලගේ තාත්තා ටිකක්
කම්මැලියි.  ඉතින් වැඩ ඔක්කොම කරන්න වුනේ අම්මට.


ඔන්න ඉතිං වැහි කාලේ ලග ලගම එනබව තේරුම් ගත්ත
කොබෙයි අම්මා කෑම එකතු කරන්න පටන් ගත්තා.  කොබෙයි
පවුල හිටපු ගහ ලග ලොකු ගලක් තිබුණා.  වැඩියෙන් එකතු කරගෙන
එන පළතුරු ටික මේ ගල උඩ තියලා කොබෙයි අම්මා ඒවා වේලන්න 
පටන් ගත්තා.  


ඉතිං දවසක් දා මේ කොබෙයි අම්මා ඈතට යන්න පිටත් වුණා.  
එකතු කරපු පළතුරු ටික ගල උඩ තියලා ළමයින්ට 
අඩගහලා කිව්වා ඒවා හොදට බලාගන්න කියලා.


“දරුවනේ මේවා කන්න එපා.  වැස්ස කාලෙට අපිට කෑම
නැති වෙනවා.  ඒ නිසා මේවා වේලලා තියාගෙන කමු.
හවසට එනකොට මම කන්න තව කෑම හොයාගෙන එන්නම්....කියලා
මෙහෙම කියපු කොබෙයි අම්මා ඈත කැලේට 
ඉගිල්ලිලා ගියා.  


දවල් අව්ව එන්න එන්නම සැර වුනා.  අව්වේ සැර වැඩි කමට
පලතුරු වේලිලා හැකිලෙන්න පටන් ගත්තා.  මෙහෙම පලතුරු
හැකිලෙන කොට අඩුවෙන්න පටන් ගත්තා.


අම්මා හවස ඉගිල්ලිලා ආවා.  උදේ යනකොට ගල පුරාම
තිබුණු පලතුරු දැන් අඩුවෙලා.  කොබෙයි අම්මට හොදටම 
කේන්ති ගියා.  ළමයි පලතුරු කන්න ඇති කියලයි අම්මා හිතුවේ.
මේ අම්මා මොනවද දන්නවද කලේ ළමයින්ට හොදටෝම බැනලා
ගැහුවා.  කේන්තිය නිවෙන කන්ම තැලුවා. (කතාවේ තියෙන්නේ මීට ටිකක් වෙනස් විදියට. දරුවන්ට එහෙම කියලා දෙන එක හොද මදි)


ඉතින් මේ දරුවෝ බොහෝම දුකෙන් යන්න ගියා අම්මාට හොරෙන්. ශක්‍ර දෙවියන් මේ කතාව දැක්කා. ඉතින් එයා මොනවද දන්නවද කලේ
එක පාරටම මහ වැස්සක් වැස්සුවා.  ඔන්න වැස්සට තෙමුන පලතුරු 
ආයෙත් දිග ඇරෙන්න පටන් ගත්තා.
මේ කොබෙයි අම්මා මේවා දිහා බලාගෙන හිටියා.
අම්මාට කාරණය වැටහුනේ එතකොටයි.


අනේ ඉතින් එයාට හරිම දුකයි. දරාගන්න බැරි තරම් දුකකින් එයා හඩන්න පටන් ගත්තා. ඒත් වැඩක් වුනේ නැහැ. කොබෙයි අම්මා
කෝ මගේ දරුවෝ කියමින් හඩ හඩා වනය පුරා පියාඹන්න පටන් ගත්තා. නමුත් කොබෙයි අම්මාට එයාගේ දරුවන්
නැවත කවදාවත් මුණ ගැහුණේ නැහැ.


අදටත් කොබෙයියා විලාප නගමින් ඉගිලෙනවා අපිට ඇහෙනවා.


ප.ලි. මේ කතාවේ පලතුරු වෙනුවට මීපුප් නැතිවීමක් ගැනත් කියවෙනවා. ඒ නිසා කුඩා කාලයේ අපේ අම්මලා අපට කියලා තියෙනවා 
කවියක් මෙන්න මෙහෙම
“මී පුප් ලදිම් - දරු නොලදිම්
රන්කැටි පුතා කෝ....කෝ.....

සාධු...සාධු....සාධු....!!!

පුංචි ළමුන් එකතු වෙලා
දාගැබ සදලා......
බෝ පැලයක් සිටුවාලා
බුදු රුව තනලා......
සාධු කියාලා වදින්න
වෙහෙරක් 
සැදුවා.........//

පොඩි තාරා


මගෙ පොඩි තාරා
පී පී ගෑවා
හොට රතු පාටයි
ඇග සුදු පාටයි
අර අර පේනා
සීතල පොකුණේ
අත්තටු සලලා
පීන පීන නෑවා